madu madu
16/12/2023
2009දී ඉතාලියේ කඳුකර ප්‍රදේශෙකින් අරුම පුදුම මමියක් හොයාගත්තා. ඒ මමිය උඩුබැලි අතට නිදාගෙන ඉන්න තරුණියකගේ. වැඩේ කියන්නේ කොච්චර පරණ වුණත් ඇගේ පෙනුම කිසිම විදියකට වෙනස් වෙලා තිබුණේ නෑ. ඒ තරම් ජීවමානයි. ඒ නිසාම මේ මමියට තියාපු නම තමයි ‘නිදි කුමරිය. ලෝකේ ලස්සනම මමිය විදියට හඳුන්වන මේ මමිය ආරක්ෂා වෙන්න, මිනිය තිබුණු ඉරියව්වත් බලපෑවා කියලයි පරීක්ෂණ කරාපු මහත්තුරු කිව්වේ.
නිදි කුමාරි කිව්වාම සුරංගනා කතාවකුත් මතක් වුණා. ඕන් එකෝමත් එක කාලෙක හොඳට සැපසම්පත් පිරුණු ලස්සන රටක් තිබුණා. කාලයක් යද්දි රටේ රජතුමාට ලස්සන දූ කුමාරිකාවක් ලැබුණා. ඒ සතුට සමරන්න රජතුමා රටේ ඉන්න හැමෝටම කෑමකට ආරාධනා කළා. හැබැයි ඒ පළාතේ ජීවත්වෙච්චි නපුරු මායාකාරිට මේ වැඩේට එන්න කිව්වේ නෑ. කොහොමහරි උන්දා කරාපු වැඩේට මායාකාරිට නහුතෙට තරහා ගියා. ඒ නිසා උන්දා බලෙන්ම වගේ පාර්ටියට ගිහින් සාපයක් කළා. අවුරුදු 16දී අර කුමාරිකාවට ඉඳිකටුවක් ඇනිලා දිග නින්දකට වැටෙනවය, ඇත්තටම ආදරේ කරන කුමාරයෙක්ගෙන් හාදුවක් ලැබුණොතින් විතරක් කුමරිය අවදි වෙනවා කියන එකයි ඇගේ සාපේ.
සාපෙට අනුව කුමාරිකාව අවුරුදු 16දී ඉඳිකට්ටක් ඇනගෙන දීර්ඝ නින්දකට වැටුණා. අවුරුදු ගාණක් ගතවුණත් කුමාරිව බේරගන්න කාටවත් බැරි වුණා. ඔහොම කාලයක් යද්දි පිලිප් කියන කුමාරයට මේ නිදිකුමාරි ගැන දැනගන්න ලැබුණා. පස්සේ ඕන් එඋන්දා කුමාරිකාව හොයාගෙන ගිහින් සැබෑ ආදරණීය හාදුවක් දීලා ඇයව නින්දෙන් මුදව ගත්තා. හොඳම වැඩේ අවුරුදු 100ක් විතර ගතවෙලා තිබ්බත් නිදිකුමාරිගේ පෙනුම නෙමේ වෙනස් වෙලා තිබුණේ.
ඉතාලියෙන් හොයාගත්තු නිදිකුමාරි වගේම ඔය සුරංගනා කතාවේ හිටපු නිදිකුමාරිත් නිදාගෙන හිටියේ උඩුබැලි අතට. බාගදා නිදිකුමාරි වයසට නොයන්න ඇත්තේත් ඒකයි. ඒ කතාව කිව්වේ විහිළුවට වුණාට වයසට යන්න නිදාගන්න ඉරියව්ව බලපානවා කියන එක නම් විහිළුවක් නෙමෙයි.
අපේ නිදි කුමාරියෝ නිදාගන්නේම වැරදියට. එතකොට ඉතින් හම රැළි ගැහිලා වයසට යන එක ඉක්මන් වෙනවා. සම රැළි වැටීම ප්‍රමාද කරගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ මේ ලිපිය කියවලා ඒ විදියට වැඩේ කරන එක.
ලස්සනට ඉන්න කැමති කාන්තාවෝ දැන් හරියටවත් නින්ද ගැන හිතනවා. මොකද හරි නින්දක් නැතිකම රූපේ අවලස්සන වෙන්න මූලිකම හේතුවක්. හැබැයි ඉතින් හරි ඉරියව්වට නිදාගන්නේ නැත්තම් වෙලාවට කලාවට නිදාගන්න එක වුණත් ගඟට ඉනි කපන්නා වගේ නිෂ්පලයි.
පිරිමින්ට සාපේක්ෂව බලාපුවාම ගෑනු අයගේ මූණු ඉක්මනින්ම රැලි වැටෙනෙවා. ඒකට හේතුව එයාලා නිදාගන්න ඉරියව්ව.
ඔහොම කියන්නේ බ්‍රිතාන්‍යයේ සුප්‍රකට චර්මරෝග වෛද්‍යවරියක්. නම කාරා කැප්‍රියොට්. කාරා ඇතුළු බ්‍රිතාන්‍ය චර්මරෝග වෛද්‍ය කණ්ඩායමක් 2011දී කාන්තාවන්ගේ නිදි ඉරියව් ගැන පරීක්ෂණයක් කළා. 51%ක් ගෑනු උදවිය නිදාගන්නේ පැති ඇලයට. ඒ කියන්නේ වම් පැත්තට නැත්නම් දකුණු පැත්තට හැරිලා කියලයි එතැනදී සහතික වෙලා තිබුණේ. ඊට අමතරව තවත් වැඩි පිරිසක් මුනින් අතට නිදාගන්න රුචියි කියලා පැහැදිලි වුණා. අර කුමාරිකාවෝ දෙන්නා වගේ උඩුබැලි අතට නිදාගන්න කුමාරිකාවෝ ඉඳලා තියෙන්නේ බොහොම සුළු ප්‍රතිශතයක්.
වම් පැත්තට නැත්නම් දකුණු පැත්තට නිදාගනිපුවාම සමට වෙන්න පුළුවන් අලාභහානි ගැන අපි මුලින්ම කතා කරමු. අපි රෑට නිදාගත්තට අපේ සම රෑට නිදාගන්නේ නෑ. උන්දට වැඩිපුරම වැඩ තියෙන්නේ රෑට. ඒ කියන්නේ රෑට අපේ සම ඉන්නේ රෙපෙයාර් මොඩ් එකේ. වම් පැත්තට හරි දකුණු පැත්තට හරි වැඩි වෙලාවක් නිදාගෙන ඉන්නකොට අපේ සම කොට්ටයට තද වෙනවා. එතකොට රුධිර සංසරණය අක්‍රමවත්වෙලා කොලැජන් පුනර්ජනනයට සමට අවශ්‍ය ඔක්සිජන් සැපයෙන්නේ නැහැ. ඉතින් උන්දා රෑ තිස්සේ ඇහැරන් කොලැජන් හදන්න හැදුවට වැඩක් නෑ. අපේ මේ වැරදි පුරුද්ද නිසා තියෙන කොලැජන් ටිකත් බිඳිලා යන එකයි වෙන්නේ. ආන් එතකොට තමයි මූණේ ඉක්මනට රැලි (Wrinkle) හැදෙන්නේ.
ඕන් ඊගාවට විද්‍යාව පාඩමක්. ස්කන්ධයක් සහිත ඕනම වස්තුවක් පෘථිවියේ කේන්ද්‍රය දෙසට ඇදගන්නවා කියලා ඇල්බට් අයින්ස්ටයින් මහත්තයා කිව්වා මතකද? එකදිගට පැය ගාණක් එක පැත්තකට හැරිලා සැතපෙන්න ගියාපුවාමත් වෙන්නේ ඕකමයි. ගුරුත්වාකර්ෂණය නිසා රෑට අපේ සම පොළොව දිහාවට ඇදෙනවා කියලයි වෛද්‍යවරු කියන්නේ. එතකොට ඉතින් සම එල්ලා වැටෙන එක නතර කරන්න සමීකරණ හදන්න අයින්ස්ටයින් මහත්තයාටවත් බැහැ ආයේ.
මුනින් අතට හැරිලා නිදාගන්න ගොඩක් කාන්තාවෝ හරි රුසියි. මුනින් අතට වැටිලා නිදාගන්න එක හරි සනීපයි. ඒක ඇත්ත. හැබැයි ඉතින් එහෙම නිදාගනිපුවාම අපේ ඇඟ ඇතුළේ හැම අවයවයක්ම එකට කැලතිලා බඩ පපුවේ වේදනා, බෙල්ලේ සහ අස්ථි වේදනා ඇතිවෙන්න පුළුවන්. රූපෙ ගැන හිතන කෙනෙක් නම් නිදාගන්න නරකම පැත්ත මුනින් පැත්ත. එක පැත්තකට හැරිලා නිදාගත්තාම වයසට යන්නේ එක පැත්තයි. මුනින් අතට නිදාගත්තහම මුළු මූණම එල්ලා වැටෙනවා. ඒ වගේම ඇස් යට රැලි වැටීම, තොල් අවට රින්කල් ඇතිවීමටත් මේ පුරුද්ද බලපානවා.
මනුස්සයෙක් වුණාම නිදාගන්න ඕනේ අන්දරේ මැරිච්ච තාලෙට. ඒ මොකක්ද බොලේ ඒ තාලේ... මේන් මේකයි... 1781දී ලංකාවේ රජකම් කරාපු රාජාධිරාජසිංහ රජ්ජුරුවන්ගේ වාසල කවටයා තමයි අන්දරේ. මැරෙන්න කලින් උන්දගේ අවසාන ඉල්ලීම මොකක්ද කියලා රජතුමා අන්දරේගෙන් ඇහැව්වලු. “මම මැරුණු දාක මැරුණු තැන මැරිච්චි විදියටම පිළිමයක් හදන්න රජතුමනි” ඕන් අන්දරේගේ ඉල්ලීම. කොහොමහරි අන්දරේ මැරුණේ හතරගාතේ දාලා. හරියට ගෙම්බා පොළේ ගැහැව්වා වගේ. තිස්සමහාමරාම පැත්තේ ඔය හදන්න කියලා ඉල්ලපු පිළිමය ඒ විදියටම හදලා තියෙනවා. පුළුවන් නම් අන්දරේ වගේ උඩුබැලි අතට නිදාගන්න. එතකොට රාත්‍රියට හමට අවශ්‍ය ඔක්සිජන් ලබාගන්න ලේසියි. සම තද වෙන්නෙත් නැති නිසා කොලැජන්වලට හානි කරගන්නේ නැතිව නිදිකුමාරියක් වාගේ සැපට නිදාගන්නත් පුළුවන්.
සෙව්වන්දි හෙට්ටිආරච්චි
www.dharanee.lk
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Trincomalee