Demian Rohitha
03/12/2025
03/12/2025
ආපදා තත්වයෙන් හානියට පත් ගිරිඋල්ල නගරය පිරිසිදු කිරීම අද(03) දින, සහන සේවා කණ්ඩායමේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
02/12/2025
‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව පත් කෙරේ
ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විතය.
කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.
සෙසු සාමාජිකයන් ලෙස,
විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්,
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,
ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව,
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණවර්ධන,
හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ,
ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්,
එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක,
බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්,
LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර යන මහත්වරු කටයුතු කරති
අරමුදල ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ බලය කළමනාකරණ කමිටුවට හිමි වන අතර, අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම එහි වගකීම් අතර වේ.
මෙම කමිටුව විසින් අරමුදලට අදාළ මූල්‍ය කළමනාකරණය, විගණනය සහ සියලුම අරමුදල් ක්‍රියාකාරකම්වල පූර්ණ විනිවිදභාවය සහතික කරනු ඇත.
මේ අනුව පරිත්‍යාගශීලීන්ට තම මුදල් ආධාර දේශීය හෝ විදේශීය ඕනෑම පුද්ගලයෙකුට, ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ ඕනෑම මුදල් ඒකකයකින් පහත සඳහන් ලංකා බැංකු ගිණුම වෙත බැර කළ හැකිය.
01. Account Name: Deputy Secretary to the Treasury
Account Number: 2026450
Bank: Bank of Ceylon
Taprobane branch
Swift code : BCEYLKLX
ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් ගිණුම්වලට සෘජුවම මුදල් බැර කරන පරිත්‍යාගශීලීන්ට පහත සඳහන් ගිණුම් ඔස්සේ මුදල් බැර කිරීමේ අවස්ථාව හිමි වේ.
30/11/2025
බිංදුවෙන් පටන් ගමු.
සිටියාට වඩා හොද රටක් ගොඩනගමු.
ගෞරවනීය ස්වාමීන්වහන්ස, පූජකතුමනි, දෙමාපියනි,
සහෝදර සහෝදරියනි, දූ දරුවනි,
අපි රටක් ලෙස මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට බව අපි දන්නවා. ඒ වගේම අපි දියත් කොට ඇත්තේ මෙරට ඉතිහාසයේ අභියෝගාත්මකම ගලවා ගැනීමේ මෙහෙයුම බවත් අපි දන්නවා. මෙය ඉතිහාසයේ එකවර රටම ව්‍යසනයට ලක් කිරීමේ පළමු අත්දැකීම වෙනවා. රටම සතර දිග් භාගයෙන් යට වූ සහ ආපදාවට ලක් වූ තත්ත්වයක් තුළ මේ අතිශය දුෂ්කර ව්‍යයාමය ජයගත යුතුව තිබෙනවා. මේ අකාරුණික ස්වභාවික ව්‍යසනයට අපේ කුඩා දූපතම සසල කළ හැකි වුවත්, මේ දූපතේ මිනිසුන්ගේ මනුෂ්‍යත්වය සහ අධිෂ්ඨානශීලිත්වය කිසි ලෙසකින් සසල කළ නොහැකි බව නැවත නැවතත් පසක් කොට තිබෙනවා.
මගේ රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසැළෙන ධෛර්යය සමග එක්ව නැවත මේ රට ප්‍රතිනිර්මාණය කළ හැකි බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරනවා. දයාබර දෙමාපියනි, සහෝදර සහෝදරියනි, මේ ව්‍යසනයෙන් මිය ගිය සියලු දෙනාට නැවත ජීවිතය ලබා දිය හැකි නම් ඕනෑම කොන්දේසියකට යටත්ව එය ඉටු කිරීමට අපි දෙවරක් කල්පනා කරන්නේ නැහැ. නමුත් අපි යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දිය යුතුයි. අහිමි වූවන් පිළිබඳ වේදනාව සදාකාලිකව අප අතර පවතිනවා. මිය ගිය සියලුදෙනා අපිට අංකයක් නොවෙයි. සෑම ජීවිතයක් සමඟම නමක්, මුහුණක් සහ කතාවක් තිබෙනවා. මියගිය සියලු දෙනාගේ පවුල් වෙනුවෙන් හදවතින්ම අපගේ සාතිශය සංවේගය පිරිනමනවා. එය සංවේගයකට සීමා වන්නේ නැහැ.
එම පවුල්වලට නැවත එම ජීවිත ලබා දිය නොහැකි වුවත්, සෙසු සියල්ල ලබා දීම වෙනුවෙන් අපි කැපවීමෙන් කටයුතු කරනවා.
ඒ වගේම දැනටමත් අතුරුදන් වූවන් සියලුදෙනා නිරුපද්‍රිතව සිටිනවා කියන ප්‍රාර්ථනය අප තුළ තිබෙනවා. ජීවිත ව්‍යසනයට ලක්ව ඇති බොහෝ දෙනෙක්ගේ දුක්, වේදනා සමනය කිරීමට සහ බලපෑමට ලක් වූ වින්දිතයන්ට ශක්තියක් වීමට ඉදිරියට පැමිණි සියලු දෙනාගේ දෑත් උණුසුම්ව වැළද ගන්නවා.
ස්වභාවික විපත් සහ ආපදා ඇති වීම පාලනය කිරීමට නොහැකි වූ විට ඇතිවන විපත් සහ හදිසි ආපදා නිසි අයුරින් කළමනාකරණය කිරිම, නැවත යථා තත්ත්වයට හෝ පෙර තත්ත්වයට වඩා දියුණු තත්ත්වයකට ගොඩනැඟීම යන ත්‍රිවිධ ක්‍රියාවලියේම වැදගත්කම ආණ්ඩුව සතු වෙනවා. ඒ වෙනුවෙන් ගත යුතු සහ ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග මොන තරම් දුෂ්කර තත්ත්වයකදී වුවත් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යසනයට මුහුණ දීමේදී පහසුකම් සහ මෙවලම් සීමිත රටක, අප සතුව ඇති අයෝමය මානව සම්පත සියල්ලටම වඩා වටිනා බව නැවත නැවතත් පසක් කොට තිබෙනවා. විපතකදී හැර නොයන, සෑම විටම පිහිටවන ආත්ම විශ්වාසයෙන් පිරුණු අපේ රටේ පුරවැසියන් පිළිබඳව අප ආඩම්බර වෙනවා.
අපිට ඉදිරියට මුහුණ දීමට සිදු වන්නේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට බව අපි සිහිපත් කළ යුතුව තිබෙනවා. විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතලයි. එහෙත් අපේ රටේ ජනතාව ගංවතුරෙන්, කුණාටුවෙන් හෝ ඕනෑම ව්‍යසනයකින් පසුව අධිෂ්ඨානශීලිව නැවත ගොඩනැගී තිබෙනවා.
අපේ පළමු කාර්යභාරය වූයේ ව්‍යසනයට මැදී වූ අයගේ ජීවිත බේරා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය ක්ෂණික සහන සැපයීමයි. ඒ සඳහා අපේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඉතා කාර්යක්ෂමව මෙහෙයවීමට අපි උත්සාහ කළා. විශේෂයෙන්ම අපේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ජීවිත අවදානම නොතකා, ජීවිත පරිත්‍යාගයෙන් යුතුව මෙම කාර්යයයේදී වීරෝධාර ක්‍රියාදමයක නිරත වුණා. ඔවුන් පිළිබද අපි ආඩම්බර විය යුතුයි. ඔවුන්ට ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුයි.
ඒ වගේම අපේ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට පහළ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී දක්වා සියලු රාජ්‍ය යාන්ත්‍රණය යුහුසුළුව මැදිහත් වෙමින් ආපදාවට ලක් වූ ජනතාව මුදා ගැනීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. එය රාජකාරියෙන් ඔබ්බට යන ලද මානුෂීය කාර්යයක් ලෙස තේරුම් ගනිමින් ඒ කාර්යයට හෘදයාංගම බැඳීමකින් යුතුව ඔවුන් කටයුතු කළා. ඔවුන්ට අපි ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම ව්‍යසනයට පත් වූ ජනතාව මුදා ගැනීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් විශාල ජනතාවක් මැදිහත් වී තිබෙනවා. තමන් ව්‍යසනයට පත් නොවුවත්, තමන්ගේ අසල්වැසියා ව්‍යසනයට පත් වීම, තමන්ගේ ගම්වැසියා ව්‍යසනයට පත්වීම තමන්ගේ ව්‍යසනයක් ලෙස සලකා පුරවැසියන් එම ව්‍යසනයට පත් වූ ජනතාව මුදා ගැනීම සඳහා විශාල මානුෂීය කාර්යභාරයක් ඉටු කළා. ඉටු කරමින් තිබෙනවා. ඒ පිළිබඳ අපි මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි.
ඒ වගේම මේ මුදා ගැනීමේ ක්‍රියාදාමයේදී අපේ අසල්වැසි රටවල්, මිතුරු රටවල් අපිට විශාල ලෙස උපකාර සපයා තිබෙනවා. දැනටමත් හෙලිකොප්ටර් යානා ලබා දෙමින්, සහන ගලවා ගැනීමේ හමුදාවන් ලබා දෙමින් විදේශ රාජ්‍යයන් අප වෙත මිත්‍රත්වයේ හස්තය දිගු කොට තිබෙනවා. අපේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ මුදා ගැනීමේ කාර්යභාරයේ සැලකිය යුතු කොටසක් දැන් ඉටු කොට අවසන් කර තිබෙනවා. විශේෂයෙන්ම මුදාගත් ජනතාව කණ්ඩායම් 03ක් ලෙස ජීවත් වෙනවා. එක් කණ්ඩායමක් වන්නේ තමන්ගේ නිවස තුළම අවතැන්භාවයට පත්ව තිබෙන අයයි. දෙවැනි කණ්ඩායම වන්නේ තමන්ගේ, මිතුරන්, ඥාතීන්ගේ නිවෙස් තුළ අවතැන්භාවයට පත්ව සිටින අයයි. තුන්වන කණ්ඩායම වන්නේ අවතැන් මධ්‍යස්ථානවල සිටින පිරිසයි.
අපේ රටේ තිබු ඇතැම් චක්‍රලේඛ මේ ප්‍රජාවන් තුනටම සහන සැලසීම සඳහා බාධා ඇති කර තිබෙනවා. අපි ඒ සියලු චක්‍රලේඛ වෙනස්කොට අවතැන් වී සිටින්නේ කොතැනද, ඉන්නේ කොතැනද කියන බේදයකින් තොරව සියලු දෙනාටම රජයේ සහන ලබා දීමට අවශ්‍ය වන වැඩපිළිවෙළ සකස් කොට තිබෙනවා. ඒ වගේම අපේ ඇතැම් චක්‍රලේඛ අපේ නිලධාරීන්ට අවශ්‍ය ලෙස මුදල් පරිහරණය කිරීම සඳහා බාධාවක් ඇති කොට තිබුණා. එම චක්‍රලේඛ අපි වෙනස් කොට තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ලක්ෂ 500 දක්වා මුදලක් වියදම් කිරීම සඳහා අපි අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව මුදල් ප්‍රතිපාදන ලබා දීම සහ එම කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය අපේ රාජ්‍ය යාන්ත්‍රණයට ලබා දී තිබෙනවා.
ඒ වගේම පසුගිය අයවැයෙන් සම්මත කරන ලද ප්‍රතිපාදනවලින් රුපියල් කෝටි 3,000කට ආසන්න ප්‍රමාණයක් අපි සතුව තිබෙනවා. එම මුදල් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව වියදම් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සියලු ප්‍රතිපාදන අප මේ සඳහා වෙන් කොට තිබෙනවා. අපි දිසාපතිවරුන්ට දැනුම් දී තිබෙනවා ඔබට කොපමණ මුදල් ප්‍රමාණයක් අවශ්‍යයද, කොපමණ කාර්යයන් කිරීම සඳහා ඔබට වැය බරක් දැරීමට සිදුවී තිබෙනවද කියා දැනුම් දෙන ලෙස. ඒ සියල්ල ලබා දීමට අපි අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා.
2025 අයවැය ලේඛනයෙන් වෙන් කොට තිබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන්නේ නම් පරිපූරක ඇස්තමේන්තු හරහා, පාර්ලිමේන්තුව හරහා නව ප්‍රතිපාදන ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ මගින් අවතැන් වූ ජනතාවගේ ආහාර පාන, සෞඛ්‍ය, සනීපාරක්ෂක කටයුතු ඉටුකරගත හැකි වනු ඇතැයි අපිට විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම මේ ආපදා තත්ත්වය හේතු කොටගෙන අත්‍යාවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් බිඳ වැටී තිබෙනවා. බොහෝ ප්‍රදේශවල විදුලිය බිඳ වැටී තිබෙනවා. ඒ වගේම ජල පහසුකම්, සන්නිවේදන පහසුකම් බිඳ වැටී තිබුණා. ප්‍රවිශ්ට මාර්ග කඩා වැටී තිබුණා. මේ ආදී යටිතල පහසුකම් සහ සේවා විශාල ප්‍රමාණයක් බිඳ වැටී තිබෙනවා. අප ඒ සෑම ක්ෂේත්‍රයක්ම වේගවත් සහ කාර්යක්ෂම යටිතල පහසුකම් සහ සේවා යළි ස්ථාපනය කිරිම සඳහා වන මෙහෙයුම් කාර්යයන් ගොඩනඟා තිබෙනවා. ආපදාවට ලක් නොවූ ප්‍රදේශ තිබෙනවා නම් ඒ ප්‍රදේශවල කාර්ය මණ්ඩල මුළුමනින්ම ආපදාවට ලක් වූ මෙම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදවා තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශ සහ ආයතනවල වෙනස් කාර්යභාරයක් තිබුණා නම්, ඒ සියලු දේ අත්හිටුවා මෙය ප්‍රමුඛ කාර්යභාරයක් ලෙස සලකා මෙම යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා අපි දැනටමත් වැඩපිළිවෙළක් සකස් කොට තිබෙනවා.
විදුලිබල මණ්ඩලය, ජලාපවහන මණ්ඩලය, ඒ වගේම සන්නිවේදන ආයතන සහ මාර්ග සංවර්ධන අධිකාරිය ආදී අත්‍යවශ්‍ය ආයතන සමග සමීපව කටයුතු කරමින් ඒ සඳහා අවශ්‍ය දායකත්වය සහ මෙහෙයවීම
අපි ලබා දෙමින් සිටිනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මේ යටිතල පහසුකම් සහ සේවාවන් අපිට මුළුමනින්ම සපුරා ගැනීමට හැකියාව තිබෙනවා කියලා.
අපගේ ඊළග ප්‍රධාන ප්‍රමුඛතාව වන්නේ මේ ව්‍යසනයට ලක් වූ රට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝකාලීන ලෙස ගොඩනැගීමයි. මිල කළ නොහැකි ජීවිත අපිට අහිමි වුණා. තවමත් ගණනය කළ නොහැකි භෞතික සම්පත් අපිට අහිමි වුණා. මාර්ග සහ පාලම්වල සිට පාසල් සහ ජල පද්ධති දක්වා ආපදා කලාපයේ පොදු යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමේ දැවැන්ත මෙහෙයුමක් කළ යුතුව තිබෙනවා.
සීරුවෙන් සහ ක්‍රමානුකූලව හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි. කුඩා ස්වයං රැකියාවේ සිට මහා පරිමාණ කර්මාන්ත දක්වාද, සුළු පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වාද මේ සියලු ක්ෂේත්‍ර තමන්ගේ ආදායම් අහිමි වීම්, තමන්ගේ කර්මාන්ත කඩා වැටීමේ අනතුරකට මුහුණ දී සිටිනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය, පශු සම්පත් ක්ෂේත්‍රය මේ ආදී ක්ෂේත්‍ර විශාල බිඳ වැටීමකට ලක් වී තිබෙනවා. ඒ නිසා මෙම ක්ෂේත්‍ර ඉතා වේගයෙන් නඟාසිටුවීමට අපිට වේගවත් සැලැස්මක් අවශ්‍යයි.
අපි මේ වන විට මේ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගනිමින් වේගවත්, කාර්යක්ෂම යළි ගොඩනැගීමක් සඳහා අවශ්‍ය නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාව වෙනුවෙන් හදිසි නීතිය පනවා තිබෙනවා. මා මේ රටේ පුරවැසිටන් එක සහතිකයක් ලබා දෙන්න කැමතියි. මෙම ආපදාව කළමනාකරණය කර ගැනීම සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීමට ඉවහල් කර ගන්නවා හැරණු කොට වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් මෙම හදිසි නීතිය අපි උපයෝගී කර ගන්නේ නැහැ. මෙම හදිසි නීතියට අනුකූල වන පරිදි මේ වන විටත් අපි අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කර තිබෙනවා. සියලු සේවාවන් අපි එක් තැනකට කේන්ද්‍ර ගත කොට තිබෙනවා. පැය 24 පුරාම අත්‍යාවශ්‍ය සේවා කාර්යාලය විවෘත කොට තිබෙනවා. සියලු වැදගත් ආයතනවල නිලධාරීන් පැය 24 ම සේවයේ නිරත වෙනවා. ඒ නිසා ඉතා කාර්යක්ෂම මධ්‍යගත මෙහෙයුමක් මේ අත්‍යවශ්‍ය සේවා කාර්යලය මගින් ඉටු කර ගැනීමට අපි සැලැස්මක් සකස් කර තිබෙනවා.
ඒ වගේම අපගේ මීළග කාර්යභාරය බවට පත්වී තිබෙන්නේ නැවත අපේ රට තිබු තත්ත්වයට වඩා දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කර ගැනීමේ අවශ්‍යතාවයයි. ඒ අපේක්ෂාව වෙනුවෙන් මේ වන විටත් අපි නැවත ගොඩනැංවීම සඳහා අවශ්‍ය වන අරමුදල් සම්පාදනය කර ගැනීමට අරමුදලක් පිහිටුවීමට අපේක්ෂා කරමින් තිබෙනවා. ඒ වගේම එම අරමුදල කළමනාකරණය කර ගැනීම සඳහා පෞද්ගලික අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් පත් කර තිබෙනවා. අපි ඔවුන්ට විශාල කාර්යභාරයක් පවරා තිබෙනවා.
අපේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වන අරමුදල් ආකාර ගණනාවක් සම්පාදනය කරගත හැකියි. අපි හා මිතුරු රාජ්‍යයන් සමග ඉතා සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ආධාර ලබා ගැනීම. ඒ වගේම විවිධ ජාත්‍යන්තර සංවිධාන ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ ආධාර ලබා ගැනීම. ඒ වගේම දේශීය ව්‍යාපරිකයන්, කර්මාන්තකරුවන් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ ආධාර ලබා ගැනීම.
විශේෂයෙන් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වෙන ශ්‍රී ලාංකික පුරවැසියන් මේ ආධාර ලබා දීම සඳහා විශාල වෙහෙසක් සහ විශාල කැමැත්තකින් යුතුව කටයුතු කරමින් තිබෙනවා. අපි ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ නිසා මේ ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා අපි ශක්තිමත් අරමුදලක් ගොඩනැගිය යුතුයි. ඒ අරමුදල සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය වන කටයුතු අපි සකස් කර තිබෙනවා.
ඒ වගේම අපි සියලු ආයතන වෙත දැනුම් දී තිබෙනවා, ඔබගේ ක්ෂේත්‍රය මුහුණ දී සිටින අභියෝගයේ ප්‍රමාණය, නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන පිළිබඳ ශක්තිමත් ලැයිස්තුවක් සකස් කරන ලෙස. මොකද, බොහෝ විට අපේ රට මුහුණ දී තිබෙන තත්ත්වය වන්නේ නිවැරදි දත්ත සහ නිවැරදි තොරතුරු නොමැති වීමයි. එහි ප්‍රතිවිපාකවලට අපි මුහුණ දී තිබෙනවා. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපිට නිවැරදි දත්ත සහ තොරතුරු අවශ්‍යයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව, තමන්ගේ දෙපාර්තමේන්තුවට අයත් වාරිමාර්ග පද්ධතිවල ඇති වී තිබෙන හානිය සහ එය නැවත ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය අරමුදල් ඉදිරිපත් කළ යුතුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගේ කෘෂිකර්මාන්තයට අත් වී තිබෙන විනාශය, එය නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය වන අරමුදල් ප්‍රමාණය ඉදිරිපත් කළ යුතුයි. මේ ආදී සෑම ක්ෂේත්‍රයකටම අපි දැනුම් දී තිබෙනවා ඔබේ ක්ෂේත්‍රය නැවත ගොඩනැගීමේ වැඩපිළිවෙළ සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපිට ඉතා ඉක්මණින් දැනුම් දෙන්න කියලා.
ඒ අනුව අපිට ඉතා වේගවත් සංවර්ධන සැලැස්මක් ඔස්සේ අපේ රට යළි ගොඩනැගිය හැකිව තිබෙනවා. අපට රටක් ලෙස දීර්ඝකාලින ඉලක්ක ජය ගැනීමට, එකට ජීවත්වීමට බලකල අවස්ථා ඉතිහාසය විසින් මගහැර ඇති අතර මෙවර එය මග නොහැරෙන තැනට පත් කිරීමේ අධිෂ්ඨානය අපි තුළ තිබෙනවා. මෙම අසීරු අවස්ථාවේ අපි වෙනුවෙන් දැනටමත් ඉදිරිපත් වූ, අපිට සහයෝගය දුන් සියලු හිත මිතුරු රටවලට, ඒවායේ නායකයන්ට, පුරවැසියන්ට සහ ජාත්‍යන්තර සංවිධානවලට අපේ ස්තූතිය පුද කරනවා. අපේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් ලබා දෙන ඔවුන්ගේ අඛණ්ඩ සහාය වෙනුවෙන් විධිමත් යාන්ත්‍රණයක් අපි දැනටමත් ස්ථාපිත කොට තිබෙනවා.
මේ තීරණාමක ව්‍යසනකාරී මොහොතේ සියලු දේශපාලන මති මතාන්තර රට වෙනුවෙන් අමතක කරමු. ජාති, ආගම්, පක්ෂ, පාට බේදවලින් තොරව එකට එක් වෙමු. දේශපාලනය කිරීමට ඕනෑතරම් කාලය ඇති අතර, ව්‍යසනයට මුහුණ දීමට විශාල කාලයක් නැහැ. අපි එක්ව රට ගොඩනගමු. රට ගොඩනැගිමෙන් පසු වෙන් වෙන්ව දේශපාලනය කිරීමට අපිට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන් මට විශාල විශ්වාසයක් තිබෙනවා. මා මේ රට ගොඩනැගීම පිළිබඳ අචල විශ්වාසයකින් කටයුතු කරනවා. මා අපේ රටේ පුරවැසියන් කෙරෙහි විශ්වාස තබනවා. මම අපේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය සේවය කෙරෙහි විශ්වාස තබනවා.
මම මේ රටේ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයින්, බුද්ධිමතුන්, නව නිපැයුම්කරුවන් කෙරෙහි විශ්වාස තබනවා. ඒ වගේම අපේ රටින් පිටත ජීවත් වෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් කෙරෙහි විශ්වාස තබනවා. ඒ වගේම මම අපිට හිත මිතුරු රාජ්‍යයන් කෙරෙහි අපේ විශ්වාසය තබනවා. ඒ විශ්වාසය ඇතිව මේ රට ගොඩනැගිය හැකිය යන දැඩි විශ්වාසයෙන් යුතුව අපි මේ කාර්යභාරයට මැදිහත් වී තිබෙනවා. නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොද රටක් ගොඩනඟනවා. මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා.
ඒ වෙනුවෙන් වූ මෙම සාමුහික ප්‍රයත්නය සඳහා පටු වාද බේදවලින් තොරව එක්වන ලෙස මම සියලුදෙනාට ආරාධනා කරනවා. ජාතික සහ ජාත්‍යන්තර වැඩපිළිවෙළක් ඔස්සේ, මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමින් හෘද සාක්ෂියට අනුවම අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට කැපවෙමු කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ඕනෑම අන්ධකාරයක ආලෝකය ඇති බව අප විශ්වාස කරනවා. මේ අඳුරු දිනයන් පහව යන බවත් අප විශ්වාස කරනවා. ඒ නිසා අපි ඒකාවන්ව නැගී සිටිමු. මේ කදුළු සළන පාරාදීසය සුවපත් කරමු. දීප්තිමත් දිවයිනක් ගොඩනගමු.
සියලු දෙනාට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025.11.30
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Hettirippuwa
Pannala