Kasun Rajapaksha

Kasun Rajapaksha

Share

16/06/2026

මම දන්නවා එයා මට ගැලපෙන කෙනා නෙවෙයි කියල...

උපදේශනය සදහා පැමිණි එයා එහෙම කිව්වේ ඇස් දෙකේ කඳුළු පුරවගෙන.

එයා මාව ගොඩක් රිද්දලා තියෙනවා.

එයා වෙනස් වෙයි කියලා මම අවුරුදු ගාණක් බලන් හිටියා...

ඒත් තාමත් එයා වෙනස් වෙලා නැහැ...

මම ඇයගෙන් ඇහුවා.

එහෙනම් ඇයි තාමත් යන්නේ නැත්තේ?

ඇය ටික වෙලාවක් නිහඬ වුණා...

ඊට පස්සේ හෙමින් කිව්වා.

මම දන්නේ නැහැ…

Counselling room එකක මට මේ පිළිතුර අහන්න ලැබෙන්නේ එක වතාවක් නෙවෙයි.

මම දන්නෙ නැහැ මට තේරෙන්නේ නැහැ කියලා ඕන තරම් අය මමත් එක්ක කියලා තියනවා..

සමහර අය toxic relationships වල ඉන්නවා.

සමහර අය තමන්ව නොසලකා හරින මිනිස්සු පස්සේ දුවනවා.

සමහර අය නැවත නැවතත් එකම විදියේ සම්බන්ධතා තෝරනවා.

ඒත් ඔවුන් බොහෝ දෙනෙක් දන්නවා ඒවා තමන්ට රිදවන බව.

එහෙනම් ඇයි ඔවුන් නැවත නැවතත් එකම දේ කරන්නේ... ?

🧠ලැකාන් කියපු දෙයක් මෙතන අපිට උදව් වෙනවා.

ඔහු කියනවා අපි ආදරය කරන්නේ අනෙකාට විතරක් නෙවෙයි කියලා.

සමහර වෙලාවට අපි ආදරය කරන්නේ අනෙකා තුළ අපි සොයන දෙයකට.

කෙනෙක් ආදරය තුළ ආරක්ෂාව සොයනවා.

තවත් කෙනෙක් පිළිගැනීම සොයනවා.

තවත් කෙනෙක් තමන්ව අත් නොහරින කෙනෙක් සොයනවා.

තවත් කෙනෙක් ජීවිතය පුරාම හිතේ හිර කරන් හිටපු එකම ප්‍රශ්නයට උත්තරයක් සොයනවා.

🤔කවුරු හරි මට ඇත්තටම ආදරය කරයිද?

සමහරවිට අපි හැමෝම ජීවිතයේ යම් තැනකදී මේ ප්‍රශ්නය අහලා ඇති.

සමහර අය ඒ ප්‍රශ්නය අහන්නේ වචන වලින්.

සමහර අය ඒක අහන්නේ නිහඬව.

සමහර අය අවුරුදු ගණනාවක් තිස්සේ එකම සම්බන්ධතාවයක් අත් නොහැර ඉන්නෙත් ඒ ප්‍රශ්නයට උත්තරයක් බලාගෙන.

තව ටිකක් ඉවසුවොත් එයා වෙනස් වෙයි.

තව ටිකක් ආදරය කළොත් එයා මාව තේරුම් ගනීවි.

තව ටිකක් ඉඳලා බලමු…

කියලා අපි බලාගෙන ඉන්නවා.

ඇත්තටම අපි බලාගෙන ඉන්නේ පුද්ගලයා වෙනස් වෙනකම්ද?

නැත්නම් අපි අවුරුදු ගාණක් තිස්සේ හොයපු ආදරය ලැබෙනකම්ද?

ඒ නිසා සමහර වෙලාවට අපි සම්බන්ධතාවයක රැඳී ඉන්නේ එම පුද්ගලයා නිසාම නෙවෙයි.

අපි ඔහු හෝ ඇය තුළ දකින බලාපොරොත්තුව නිසා.

බලාපොරොත්තු වෙන දේ නිසා..

අපි විශ්වාස කරන කතාව නිසා.

අපි තවමත් අත් නොහැරපු සිහිනය නිසා.

ඒකයි සමහර වෙලාවට සම්බන්ධතාවයක් අවසන් වීම හිතන තරම් පහසු නොවෙන්නේ.

මොකද එතනින් යන්න වෙන්නේ තවත් පුද්ගලයෙකුගෙන් විතරක් නෙවෙයි.

අපි අවුරුදු ගාණක් අල්ලාගෙන හිටපු බලාපොරොත්තුවකින්.

ඒ නිසා healing කියන්නේ හැම වෙලාවෙම කෙනෙක්ව අතහැරීම නෙවෙයි.

සමහර වෙලාවට healing කියන්නේ…

අපි අනෙකා තුළ සොයමින් හිටපු දේ හඳුනාගැනීම.

ඒක ආදරයද?

පිළිගැනීමද?

ආරක්ෂාවද?

නැත්නම්…

කවුරු හරි මාව සම්පූර්ණ කරයි කියන පැරණි බලාපොරොත්තුවක්ද?

සමහර වෙලාවට නිදහස පටන් ගන්නේ සම්බන්ධතාවය වෙනස් වුණාම නෙවෙයි.

අපි සොයමින් හිටියේ ඇත්තටම මොකක්ද කියලා තේරුණාම.

සමහර වෙලාවට අපි අතහැරිය යුත්තේ මිනිස්සුන්ව නෙවෙයි.

ඔවුන් කවදා හරි අපිව සම්පූර්ණ කරයි කියන බලාපොරොත්තුව.

මොකද එතනින් යන්න වෙන්නේ තවත් පුද්ගලයෙකුගෙන් විතරක් නෙවෙයි.

අපි අවුරුදු ගාණක් අල්ලාගෙන හිටපු බලාපොරොත්තුවකින්..

Psychological Counselor
Kasun Rajapaksha

13/06/2026

මගේ ගාවට ආවා ගැහැණු ළමයෙක්, මනෝ උපදේශනය ලබා ගැනීම සදහා..

ඇයගේ ප්‍රධාන පැමිණිල්ල වුණේ මෙන්න මෙහෙම දෙයක්..

මගේ husband මාව තේරුම් ගන්නේ නැහැ....

ඇය ඒක කිව්වේ එක වතාවක් නෙවෙයි.

කතාව පටන් ගත්තු විනාඩි දහයක් ඇතුළත ඇය ඒ වාක්‍යය කිහිප වතාවක්ම කිව්වා.

එයා මාව තේරුම් ගන්නේ නැහැ....

Counselor කෙනෙක් විදියට මට පුළුවන්කම තිබුණා ඒ වෙලාවේ husband ගැන ප්‍රශ්න අහන්න.

එයා කොහොමද ඔබව තේරුම් නොගන්නේ?

මොන අවස්ථාවලද ඒක වෙන්නේ?

ඔබට ඒකෙන් දැනෙන්නේ කොහොමද?

ඒ ප්‍රශ්නත් වැදගත් තමයි...

හැබැයි මම ඇගෙන් වෙන ප්‍රශ්නයක් ඇහුවා.

අද සැසිය පුරාම ඔබ මාව තේරුම් ගන්නේ නැහැ කියන වාක්‍යය කිහිප වතාවක්ම භාවිතා කළා.

ඔබට මතකද ජීවිතයේ මුලින්ම ඔබට මෙහෙම දැනුණේ කවදාද කියලා?

ඇය ටික වෙලාවක් නිහඬ වුණා.

ඊට පස්සේ හෙමින් කිව්වා.

අම්මා…

මගේ අම්මා මාව තේරුම් ගත්තේ නැහැ.

ටික වේලාවකට පස්සේ තවත් කතාවක් එළියට ආවා.

පාසලේදීත් මට මෙහෙම දැනුණා.

මගේ යාළුවොත් මාව තේරුම් ගත්තේ නැහැ.

එතකොට මට තේරෙන්න පටන් ගත්තා, අපි මේ කතා කරමින් ඉන්නේ husband ගැන විතරක් නෙවෙයි කියලා.

සමහරවිට මේ ගැහැණියගේ ජීවිතයේ ලොකුම වේදනාව husband කෙනෙක් ගැන කතාවක් නොවෙන්න පුළුවන්.

සමහරවිට ඇය අවුරුදු ගණනාවක් තිස්සේ අරගෙන යන ප්‍රශ්නය වෙන එකක් වෙන්න පුළුවන්.

මාව ඇත්තටම තේරුම් ගන්න කෙනෙක් කවදා හරි හමුවෙයිද?

කියන නිහඬ ප්‍රශ්නය.

අපි බොහෝවිට හිතන්නේ අපේ දුක ඇති කරන්නේ මිනිස්සු කියලා.

නමුත් සමහර වෙලාවට අපේ දුක ඇති කරන්නේ මිනිස්සු නෙවෙයි.

අපි නැවත නැවතත් ඔවුන් තුළ සොයන එකම දෙය.

සමහර කෙනෙක් ආදරය සොයනවා.

තවත් කෙනෙක් ආරක්ෂාව සොයනවා.

තවත් කෙනෙක් පිළිගැනීම සොයනවා.

තවත් කෙනෙක් තමන්ව තේරුම් ගන්න කෙනෙක් සොයනවා.

ඒ නිසා සමහර වෙලාවට counselling room එකක
Counselling Session එකක ඇත්ත ප්‍රශ්නය පෙනෙන දේ නෙවෙයි.

මගේ husband මාව තේරුම් ගන්නේ නැහැ.

කියන වාක්‍යය ඇතුළේ සැඟවී තිබෙන,

කවුරු හරි මාව ඇත්තටම තේරුම් ගන්නවද?

කියන ගැඹුරු ප්‍රශ්නයයි.

සමහර වෙලාවට healing පටන් ගන්නේ උත්තර හොයාගත්තාම නෙවෙයි.

අපි අවුරුදු ගණනාවක් තිස්සේ අහගෙන හිටපු ප්‍රශ්නය හඳුනාගත්තාම.

Psychological Counselor
Kasun Rajapaksha

08/06/2026

හැන්දෑවට කොපි එකක් හදන් උඩු මහලේ බැල්කනියට වෙලා ඈත බලාගෙන කොපි එක බොන එක මේ නිවස ඉදි කරපු දවසේ ඉදන් මගේ පුරුද්දක් වෙලා..

ඇත්තටම කිව්වොත් මම ගෙයක් හදා ගත්තේ මේ විදියට හැන්දෑවට කෝපි එකක් බිබී නිදහසේ ඉන්න.

හැබැයි මගේ ජීවිතයට ආපු කෙනෙක් මේ හැන්දෑව කෝපි එක්ක තවත් රසවත් කරන්න මට තවත් දෙයක් පුරුදු කරා..

හැන්දෑවට කෝපි බීලා රෑ වෙනකම් කියවන්න නම් එන්න එපා මට අදනම් නිදා ගන්න ඕන කියලා ඔහු මට ඕන තරම් හිනා වෙවී කියලා ඇති.

එයත් එහෙම තමයි මට වඩා කෝපි බොනවා..

ඉතින් ඔයත් මම කියවන ඒවා අහන් රෑ ඇහැරගෙන ඉන්නෙ ඔයාත් කෝපී බීලා නිදිමත කඩා ගන්න නිසානේ.

මෙතන කෝපි බොන එකේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ මට හිතෙන විදියට...

මේ අන්තිමට අපි එකට හිටපු දවසේ ඇති වෙච්ච සැහැල්ලු සංවාදයයි..

අපි එදත් රෑ වෙනකම් ගොඩාක් දේවල් කතා කර කර ඉදලා පාන්දර තමයි නිදා ගත්තේ. එහෙම රැයවල් අපි ආදරය කරන්න ගත් දවසේ ඉදලා කොච්චර නම් ගෙවා ඇතිද..

නමුත් පහුවදා ඔහුගේ දුරකථනයට ගැහැණු ළමයකු එවාපු කෙටි පණිවිඩයක් නිසා කලබල කරපු මට ඔහු ඉතාමත් අමානුෂික ලෙස අතින් පයින් පහර දීලා ගෙදරින් යන්න ගියේ

තෝ වගේ එකෙක් එක්ක ඉන්න බැහැ..

උඹ මහා මුස්පේත්තු කාලකන්නි ගෑණියෙක් උඹට හිටපු අනික් මිනිස්සුත් උඹව දාලා ගියේ උඹේ ඔය මූසලකම නිසා..

බලපන් තෝ මගේ අද දවසත් කෑවා..

ඊයේ රෑත් රටේ නැති මඟුල් විකා කියව කියවා ඉදලා මට හරියට නිදා ගන්න දුන්නෙත් නැහැ..

මම යනවා යන්න තෝ ඕන මඟුලක් කර ගනින්..

තොට මිනිස්සු ඕන උන් එක්ක සතුටින් ඉන්න නෙවෙයි, උන්ගෙ ඔලු කන්න.

මම උගත් බුද්ධිමත් විධායක මට්ටමේ රැකියාවක් කරන කෙනෙක්, ස්වාධීන කාන්තාවක්. එහෙම කෙනෙක් වෙලත් ඇයි මම වගේ ගැහැණු කෙනෙක් මෙතරම් පිරිමියකු ළඟ අසරණ වෙන්නේ, පිරිමියකුගේ ප්‍රචණ්ඩත්වයට ලක් වෙන්නේ කියලා ඔබ සිතයි. මොකද සමාජයේ තියන මතයක් තමයි ගැහැණු අතවරයට ප්‍රචණ්ඩත්වයට ලක්වෙන්නෙ දුප්පත් අසරණ යැපෙන මට්ටමක ඉන්නකොට විතරයි කියලා.

මමත් ඉස්සර හිතුවේ එහෙමයි. නමුත් දැන් මම ඉන්න තත්ත්වය අනුව මගේ කතාව අනුව ඒ මතය සම්පූර්ණයෙන්ම බිදී වැටෙනවා.

මට මේ දේවල් වෙන කාටවත් කියන්න ලැජ්ජයි.

අදට ඔහු මට පහරදීලා මේ ගෙදරින් ගිහින් දවස් තුනක් වෙනවා..

ඇත්තටම මෙතන මම වැරදිද..

මම එයාගෙන් ඒ කෙටි පණිවිඩය ගැන අහපු එකද වැරැද්ද...

මට එහෙම වෙන්න හේතු නැතුවද..

උදේ පාන්දර මම එක්ක එකට ඉන්න මනුස්සයගේ පෝන් එකට ගැහැණු ළමයකු good morning කියලා මැසේජ් එකක් එවන එක ගැන මම එයාගෙන් අහන්න නැතුව ඉන්න ඕනද..

එහෙම කරන්න පුළුවන් ඒක ගණන් නොගෙන ඉන්න පුළුවන්, මම එහෙම ඉදලා එහෙම ගණන් නොගෙන ඉන්න කාලේ එයා මට වෙන ගැහැණු අය එක්ක වංචා කරපු අතීතයක් නොතිබුණානම්..

නමුත් එයාගේ අතීතය එහෙම එකක්..

ඉතින් මට නිකන් උඩ බලන් ඉන්න පුළුවන් ද ?

එයා කියපු විදිහට ඇත්තටම මම මූසල ද? මගේ තියෙන වැරැද්දක් නිසාද හැමෝම මාව දාලා යන්නේ? මගේම හිත මගෙන් ප්‍රශ්න කරද්දී මට මං ගැනම ඇති වුණේ මහා පිළිකුලක්...

එයා එන්නේ නැතුව දැන් දවස් තුනක් ගෙවිලා. වෙනදා පුරුද්දට කෝපි එකක් හදන් බැල්කනියට ආවාට මට වෙනදා එහෙම කරද්දී දැණුන සතුට සැහැල්ලුව අද සම්පූර්ණයෙන්ම නැති වෙලා. ඊයේ හැන්දෑව⁣ට වඩා අද හැන්දෑව මට ගොඩාක්ම වේදනාකාරීයි. දැණෙනවා වැඩියි, දේවල් මතක් වෙනවා වැඩියි..

අද රැයත් මම මේ ගේ ඇතුළේ තට්ට තනියම රැය පහන් කරන්නද.. ?

මගේ හිත මගෙන් ඇහුවා..

කරුවල වේගෙන එන බැල්කනියේ ඉඳන් මම ආයෙත් පෝන් එක අතට ගත්තා. ලොක් ස්ක්‍රීන් එකේ එයාගේ පින්තූරය දිලිසෙද්දී මගේ ඇඟිලි ස්වයංක්‍රීයවම එයාගේ නම්බර් එක උඩ නතර වුණා...

මම නැවත පෝන් එක ඇද උඩට විසි කරලා දැම්මා..

රෑට කන්න මොනවා හරි හදා ගන්නවද..

කුස්සිය පැත්ත පලාතට යන්න බැහැ එතකොට මතකයන් එක්ක එන වේදනාව තවත් වැඩියි.. වෙනදා එයා ආස කෑමයි මගෙත් ආසම කෑම උනේ..

මම දැන් පැටලිලා.. මම ආස කෑම මොනවද කියලා කල්පනා කරනවා..

දවස් තුනම එළියෙන් කෑවා. නැත්නම් යාලුවෙක් ගේන මොනවා හරි කෑවා, ඒවත් බඩගින්නකට කාපු කෑම නෙවෙයි.

ජීවිතයේ මට දැණුන මොන ගින්නත් ආදරය නිසා හට ගන්න ගින්න ඉදිරියේ පරාදයි.

ඉතින් ඇයි තවත් වේදනා විද විද ඉන්නෙ, එක කෝල් එකකින් ඔය මුලු වේදනාවම නැති කර ගන්න පුළුවන් නේද කියලා හිත කියන්න ගත්තා..

එක පාරම මහ වැස්සක පෙර නිමිති, අහස කලු කරන් ආවා අකුණකුත් පුපුරගෙන.

අනිවාර්යයෙන් අකුණු ගහද්දි මෙයා පෝන් එක off කරනවා. ඊට කලින් එයාට කතා කරලා අද ගෙදර එන්න මට ඔයා නැතුව ඉන්න බැහැ, ඔයා එනකම් මම පෙර මග බලන් ඉන්නවා කියලා අඩලා වැලපිලා හරි කියලා එයාව ගෙන්න ගන්න ඕන.. නැත්නම් මට අදත් එළිවෙනකම් මේ වැස්සේ අකුණු ගහද්දී තනියම ඇහැරලා තමයි ඉන්න වෙන්නෙ..

මම එයාට කතා කරා..

වෙලාවට පෝන් එක වැඩ..

මට මහා සතුටක් ආරක්ෂිත බවක් සැහැල්ලුවක් මුලින්ම දැණුනා....

🧠 මනෝවිද්‍යාත්මක කියවීම...

අපි ආදරය කරන්නේ පුද්ගලයාට නොව හිස්තැන පිරවූ හැඟීමටයි..

ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව, අපිට කෙනෙක්ව අමතක කරන්න බැරි වෙන්නේ ඒ පුද්ගලයා සර්වසම්පූර්ණ නිසාවත්, එයා ලෝකෙම නැති කෙනෙක් නිසාවත් නෙවෙයි.

අපේ ජීවිතවල තියෙන තනිකම, පාලුව හෝ ආදරය අඩුකම කියන මහා හිස්තැන පුරවන්න ඒ පුද්ගලයා සමත් වුණු නිසයි. ඔබ අමාරුවෙන් අල්ලාගෙන ඉන්නේ ඒ පුද්ගලයාව නෙවෙයි, ඔහු හරහා ඔබට දැනුණු ඒ ආරක්ෂිත හැඟීමයි...

Psychological Counselor
Kasun Rajapaksha..

05/06/2026

ඇය මගෙන් මෙහෙම ඇහුවා..

මම හැමදේම එකින් එක එයාට ඇඟිල්ලෙන ඇන ඇන කියලා කර ගන්න ඕනද ?

එයාටත් බැරිද දේවල් හිතලා කරන්න..?

මට ඕන දේවල් මොනවාද කියලා මම හැමදාම මතක් කරන්න ඕනද.. ?

මම හැමදේම කියලා කරවා ගන්න ඕනද.. ?

අපි රෑට s*x කරලා ඉවර උනාම මම එයාට කියනවා අනේ යන්න එපා තව ටිකක් වෙලා ඉන්න මමත් එක්ක කියලා. එයා හිතන්නේ මම එහෙම කියන්නේ මට තව පාරක් ඕන වෙලා ඇති කියලා..

මට ඕන තව පාරක් s*x කරන්න නෙවෙයි, එයාට ⁣ටිකක් තුරුළු වෙලා ආදරෙන් ඉන්න..

ඒත් හැමදාම එයා කරන්නේ වැඩිපුර වෙලාවක් මමත් එක්ක එකතු වෙන්න කාලය අරන් අනෙක් පැත්ත හැරිලා නිදා ගන්න එක..

මම එයාගෙන් ඉල්ලන්නේ එකක්, එයා මට දෙන්න උත්සාහ කරන්නේ වෙන දෙයක්..

ඇය මා ඉදිරියේ හඬන්නට වූවාය. ඒ හඬ ඇතුළේ තිබුණේ වසර ගණනාවක විවාහ ජීවිතයක එකතු වුණු දැඩි විඩාව සහ තනියම සටන් කිරීමේ නිසා හට ගත් කලකිරීමයි..

මට වැඩිය ඕන නැහැ අඩුම තරමේ විනාඩි දහයක් මාව තුරුළු කරන් ඉන්නවා නම් මට ඒ හොදටම ඇති..

ඇයි මෙයාට ඒ විනාඩි දහයවත් මට දෙන්න බැරි.

මම wash එකක් දාගෙන එද්දී මෙයා හොදට නිදි..

මට එහෙම වෙන හැම රැයකම ජීවිතය ගැන මහා කලිකිරීමක් දැනෙනවා..

ඔබ වසර ගණනක් විවාහ ජීවිතය තුළ ඔබ බලාපොරොත්තු වෙන ඔය විනාඩි දහය නොලැබීම නිසා හට ගත් මානසික පීඩනයෙන් කාලයක් ගත කරා..

විනාඩි දහයක සුවය වෙනුවෙන් වසර ගණනක් අරගල කරා..

පීඩා වින්දා..

ඔබ කියන විදියට ඔබ හැමදාම ඔබේ සැමියාට කියලා තියෙන්නේ අනේ තව ටිකක් ඉන්න කියලා විතරයි ඔබ කියන විදියට..

ඔබ වසර ගණනාවක් මේ පීඩනය වින්දා, ඒක මට තේරෙනවා. හැබැයි ඔබ කල්පනා කරලා බැලුවද තව ටිකක් ඉන්න කියන වචනවලින් ඔබ බලාපොරොත්තු වෙන දේ සහ ඔහු තේරුම් ගන්න දේ අතර ලොකු වෙනසක් තියෙන්න පුළුවන් නේද කියලා?

මට ඔයාගෙන් ඕන මෙන්න මේ දේ කියලා..

මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේ කියලා..

ඉතින් මම කියන්නේ හැමදාම ටිකක් ඉන්න මමත් එක්ක කියලා..

ඇය ටිකක් උස් ස්වරයෙන් මෙහෙම කිව්වා..

ඒ කියන්නේ මොකක්ද කියලා එයාට නොතේරෙන්න එයා බබෙක්ද ?

ඔව්, ඔහු බබෙක් නෙවෙයි තමයි.

මේ වගේ සරල දෙයක් වසර ගණනාවක් තිස්සේ ඔහුට තේරුම් නොයද්දී ඔබට දැනෙන කේන්තිය සහ කලකිරීම සාධාරණයි.

හැබැයි සමහර පිරිමින්ට තමන්ගේ සහකාරියගේ චිත්තවේගීය අවශ්‍යතා ගැන තේරුම් ගන්න තියෙන හැකියාව ඉතාම අඩුයි. ඒ නිසයි බබෙකුට වගේ සරලවම ඒක කියන්න වෙන්නේ.

මොකද ටිකක් ඉන්න කියන එකෙන් ඔයා බලාපොරොත්තු වෙන්න මෙන්න මේ දේ අර දේ කියලා ඔහු හිතා ගත්තා වෙන්න පුළුවන්. ඒ තේරුම් ගැනීම ඔබේ බලාපොරොත්තු බිද වැටීමට හේතුව වෙන්න පුළුවන්..

මෙම කතාවේ ප්‍රධාන අදහස වන්නේ සබඳතා තුළ පවතින අසම්පූර්ණ සන්නිවේදනය සහ මනස කියවීමේ මිථ්‍යාවයි..

මම නොකිව්වත් එයාට ඒක තේරෙන්න ඕනේ..

කියන වැරදි මතය නිසා ඇතිවන බලාපොරොත්තු බිඳවැටීම, කලකිරීම සහ පවුල් ජීවිතයක නිහඬ විසිරී යාම මෙතැනදී පැහැදිලි වෙනවා. සැමියා බබෙක් නොවුණත් බිරිඳ ටිකක් ඉන්න යැයි පවසද්දී එය පිරිමි මොළයෙන් ග්‍රහණය කරගන්නා ආකාරය සහ කාන්තා මොළයෙන් අපේක්ෂා කරන ආකාරය අතර පවතින සැබෑ පරතරය ⁣මෙම කතාවේදී නිරූපණය වෙනවා.

තව ටිකක් ඉන්න වැනි නොපැහැදිලි වචනවලින් සහකරු එය ලිංගික ආරාධනාවක් ලෙස වරදවා වටහා ගත හැකියි.

නමුත් කාන්තාවකට ලිංගික සබඳතාවයකින් පසුවත් චිත්තවේගීය උත්තේජනය තවදුරටත් අවශ්‍ය වෙනවා. ඇයට ලිංගික එක්වීමක් පමණක් ප්‍රමාණවත් නැහැ. ඉන් පසුව ලැබෙන වැළඳ ගැනීම, සිපගැනීම සහ ලෙන්ගතු කතාබහ මඟින් තමයි තමන් ආදරය ලබන කාන්තාවක් කියන ආරක්ෂිත හැඟීම ඇයට ලැබෙන්නේ.

මනස කියවීමේ සන්නිවේදන ගැටලුව

මෙහිදී බිරිඳ තව ටිකක් ඉන්න යැයි පවසද්දී, සැමියා එය ලිංගික අවශ්‍යතාවක් ලෙස වරදවා වටහා ගන්නේ ඔවුන් අතර පවතින අසම්පූර්ණ සන්නිවේදනය නිසයි. අනෙක් අතට මම නොකිව්වත් එයාට මේක තේරෙන්න ඕනේ කියා බිරිඳ සිතීම නිසා ඇය යටිහිතින් තවත් රිදවා ගන්නවා.

මේ හේතුව නිසා ඇය වසර ගණනාවක් පීඩා වින්දා..

අවසාන වශයෙන්...

සාර්ථක සම්බන්ධතාවයක් සඳහා අවශ්‍ය වන්නේ අනෙකාගේ මනස කියවීමට යාම නොව, තමන්ගේ මනස අනෙකාට පැහැදිලිව කියවා තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීමට ඇති හැකියාව බව වටහා ගන්න.

ටිකක් ඉන්න වැනි නොපැහැදිලි වචන වෙනුවට, මට ඕනෙ ඔයා මාව විනාඩි 10ක් තුරුළු කරන් ඉන්න එක විතරයි කියා සරලව සහ කෙළින්ම පවසන්නට පුහුණු වීමයි.

අපි බොහෝවිට ඉගෙනගෙන තියෙන්නේ ආදරය වෙනුවෙන් දේවල් කරාම ඇති කියලා..

නමුත් අපි තේරුම් ගන්න ඕන ආදරය වෙනුවෙන් ආදරෙන් ඉන්න ඕන අවස්ථාත් ඇති බව..

Psychological Counselor
Kasun Rajapaksha

Want your practice to be the top-listed Clinic in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Matara