Peace In Buddha - Buddhism

Peace In Buddha - Buddhism

Share

16/05/2026

පින යනු සතුටයි. ධර්මය තුළ පිනායාම ම පින ලෙස අර්ථවත් වේ. හදවත සිත සතුටුවේ නම් එය පිනකි. ඔබ සිත සතුටු කරගන්න ඕනෑ කෙනෙක් නම් ඔබ පින් කරපු කෙනෙක් වෙන්න ඕනෙ පින තුළින් සිත සතුටු වනවා. ලෝභ, ද්වේශ, මෝහ වලින් තමන්ගේ මනස නිදහස් කරගැනීම සහ නිදහස් කරගෙන හෝ යටපත් කරගෙන සිද්ධ කරන ක්‍රියාවන් හෝ කර්මයන් තුළින් ඉක්බිතිව උදාවන ඵලය සතුට වෙයි.

පින යනු සිත පිරිසිදු කරන, ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරන ක්‍රියාවන් වන අතර, එමගින් මෙලොව සහ පරලොව වශයෙන් ජීවිතයට සැබෑ සතුට, සොම්නස සහ සැපත ළඟා කර දෙනු ලබයි.පින මගින් සිතේ පවතින කෙලෙස් යටපත් කර, මනස නිරවුල් කර සතුට ඇති කරයි. පිනෙන් සිත කය පිනවා, මෙලොව මෙන්ම පරලොව සුගති සැප ලබා දෙයි. පින් කරන විට කල්‍යාණ මිත්‍රයන් සමීප වන අතර, එය ජීවිතයේ සතුටට හේතු වේ.සාර්ථක ජීවිතය: පින මගින් දුක් කරදර නැති, සතුට පිරුණු ලස්සන ජීවිතයක් ගොඩනගා ගත හැකිය.කරපු හොඳ දේවල් නිතර මතක් කර සතුටු වීම පින් සිතිවිලි වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

කෙටිකාලීනව මෙන්ම දීර්ඝ කාලීනව සතුට ඇතිවන ක්‍රියා සිදු කිරීමට සෑම විටම බුද්ධිමතා කටයුතු කරයි. සුමනමාලාකරුට බොහෝ සම්පත් ලැබෙනුයේ මේ පින තුළිනි. බුදුරදුන්ට මල් පිදීම නිසා සතුටු වනුයේ උන්වහන්සේ නොව පුදන ඇත්තන්. එහෙයින් සතුට සොම්නස පවතිනුයේ මල් තුළ නොව සිත් තුළය. කුමන ඉන්ද්‍රිය වෙහෙසවා ක්‍රියා කළද සතුට දැනෙනුයේ සිතටය. පින්කමක් සිදුකිරීමෙන් පසු එසේ සොම්නසට පත්නොවන්නේ නම් මල් හෝ වෙනත් පූජාවකින් ඵලයක් නැත.

මල් පිදීමේ දී එය පිනක් කුසල කර්මයක් වනුයේ තමන් සතු දෙයක්ම පිදිය යුතුය. එම චේතනාව ධර්මයෙහි විස්තර කරනුයේ ‘අත්තූපකරණ පරිච්චාය චේතනාව‘ වශයෙනි. නාගවිමාන වස්තුවෙන් පවා පැහැදිලි වන්නේ එම තත්ත්වයයි. මුගලන් හිමියන් දිව්‍යලෝකයේ දී දකින දෙවියන් මහේශාක්‍ය වීමට හේතුව වූයේ මල්කරුවාගෙන් මිලදී මල් ගෙන පිදීමයි. පෙර භවයක ඔහු විසින් පිදු මල් අටකි. එහෙත් අනුසස් මහතය. හේතුව චේතනාව පිරිසුදුය. නෙළුම්මල්, පිච්චමල්, කූඩගණන් පිදුවද සිත අපිරිසුදු නම් වංචනික, වංක නම් එය යහපත් කර්මයක් කුසල කර්මයක් නොවේ.

බොහෝ මල් වර්ග බොහෝ සෙයින් පිදුව ද ඇතැම්විට බලාපොරොත්තු අනුසස් නොලැබෙනුයේ චේතනාව අපිරිසුදු බැවිනි. අනුන් පැරදවීම, ඊර්ෂ්‍යාව, ලෝභය, සහිතව මල් පිදීම යහපත් කර්මයක් නොවේ. එසේම අතුබිඳ, මල් පොහොට්ටු විනාශ කරමින්, අන්‍ය වතුවලින් හොරාට නම් නෙළන්නේ එය යහපත් නොවේ.

මල් පූජාවක සැබෑ ආනිසංස ලැබීමට නම් සුමණ මාලාකරුමෙන්ද නාගවිමාන වස්තුවේ දෙවියන් මෙන් කටයුතු කළ යුතු ය. එසේම ලංකාවේ සිටි සුළුගුණ උපාසක මෙන් දිව්‍ය ලෝකයේ දී, දකින ලද රක්තවර්ණ දිව්‍යරාජයාමෙන් මල් පිදීම කළ යුතුමය. එවිට යසස පැතිරේ. සතුට ඇතිවේ. එමෙන්ම දෙලොව ජයගත හැකිය. ඒ සඳහා සැවොම වීර්ය වඩත්වා.

🌻 මල් පූජාවේ අනුසස් :

තිඋප්පලමාලිය හිමි විපස්සී බුදුරජුට උපුල් මල් තුනක් පුදා කල්ප අනූ එකක් දුගතියකට නො යන ලදී. මේ පිනෙන් තුන්සිය වතාවක් සක් දෙව් රජ වී ඉපදුනා. පන්සිය වතාවක් සක්විති රජ වුණා. අවසානයේ නිවන් දැකීමට ද මේ පින උපනිශ්‍රය වුණා. බලන්න සත්පුරුෂයෙනි, හැදුනු සිතකින් පින්කම් කිරීමේ අගය.

(අපදාන පාලිය 342 අපදානය)

සත්තුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිඛී බුදුරජාණන් වහන්සේට මානෙල් මල් සතක් එකඟ සිතින් නුවණ යොදා පිදූ පිනෙන් වාර හැත්තෑ හතක් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු ගේ බිරිඳ වී උපන්නා ය. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම දිවියකදී ම ලැබුණු අතර අවසානයේ නිවනට ද මේ උතුම් පින උපනිශ්‍රය විය.

(ථේරි අපදානය 8)

පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පුමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජා කළ පිනෙන් මල්පෙති ගණනට සක්විති රජව ඉපදුනා. හත්සිය වතාවක් පෘථුවි රාජ්‍ය කලා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වූ බව පෙන්වා ඇත.

(අපදාන පාලි බු:ව: 193 පිට)

තිකණිකාර පුප්ථිය හිමි සුමේධ බුදු රජාණන් වහන්සේට කිණිහිරියා මල් තුනක් පැහැදුන සිතින් නුවණ යොදා පූජා කල පිනෙන් තුන්සිය වතාවක් සක්විති රජවිය. පන්සිය වතාවක් සක් දෙව් තනතුර ද හැම ජීවිතයකදී ම පහත සදහන් විපාක ද ලැබුණා හ.

මහත් භෝග සම්පත් ඇත්තෙකු වුණා.
පහත් කුලවල නො ඉපිද උසස් කුලවල ම ඉපදුනා.
කැමති කැමති යාන වාහන ලැබුණා.
බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසි දස්සන් ලැබුණා.
බොහෝ අගනා වස්ත්‍රාභරණයන්ට ලාභී වුණා.
සෑම කල් හි අන් අය ගේ ගෞරවයට පාත්‍ර වුණා.
උසස් කීර්තියක් ඇත්තෙක් වුණා.
සෑම කල් හි බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වුණා.
තම පිරිස කිසිවෙකුට භේද කළ නො හැකි වුණා.
ඥාතීන් අතර උසස් (උතුම්) ශ්‍රේෂ්ඨයෙකු වුණා.
ශීත උෂ්ණ වලින් පීඩාවක් නො වුණි.
කායික හා මානසික දාහ නැති උතුමෙක් වුණා.
(අපදාන පාලි: 501 වන අපදානය)

අවසානයේ නිවන් සුව අවබෝධයට ද ඒ උතුම් පින උපනිශ්‍රය වුණා.

photo credit : jinaloka podi hamuduruwo

Want your university to be the top-listed University in Kandy?
Click here to claim your Sponsored Listing.

Address


Kandy