EMed
02/08/2022
02/08/2022
වඳුරු සරම්ප (Monkey Pox) රෝගය ගැන දැන ගනිමු 🦠🦠🦠..................................................
මොකක්ද මේ දවස් වල ලොකයේ හැමෝම කතා වෙන වඳුරු සරම්ප (Monkey Pox) රෝගය
ඔබ සියලු දෙනාම මාරාන්තික වසූරිය රෝගය ගැන අසා ඇති බව අපි සිතමු. 18 වන ශතවර්ෂයේදි යුරෝපයේ පමණක් මරණ ලක්ෂ 4 කට වඩා වසූරිය නිසා සිදු වූ බව වාර්තා වෙනවා. නමුත් වාසනාවකට බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයෙකු වන එඩ්වඩ් ජෙනර් විසින් වසූරිය එන්නත නිපදවීමත් සමඟ ලෝකය පුරා වසූරිය රෝගීන් ප්‍රමාණය සීග්‍රයෙන් පහළ බසින්න පටන් ගන්නවා. අවසානයේ වර්ෂ 1975 දි ලොකයේ අවසාන වසූරිය රෝගියා වාර්තා වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය නිළ වශයෙන් වඳ වී ගිය රෝගයක් ලෙස වසූරිය රෝගය නම් කරනවා.
Monkey Pox එහෙම නැත්නම් වඳුරු සරම්ප වෛරසය කියන්නේ වසුරිය වෛරසය අයත් පවුලේම තවත් වෛරසයක්. මේක මුලින්ම හදුනා ගත්තෙ වර්ෂ 1970 දි කොන්ගෝ ජනරජයෙන්. කොන්ගෝ ජනරජයේ අවසාන වසූරිය රෝගියා වාර්තා වන්නේ 1968 දී. එතනින් වසර දෙකකට පස්සේ තමයි Monkey Pox රෝගය මුලින්ම හදුනා ගන්නේ. එතනින් පස්සේ මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවල් වලින් දිගින් දිගටම Monkey Pox රෝගීන් වාර්තා වෙන්න පටන් ගත්තා. හැබැයි මෑතක ඉඳන් කලින් Monkey Pox රෝගය විශාල වශයෙන් වාර්තා නොවුණු උතුරු ඇමරිකාව සහ යුරෝපීය රටවල් වලින් වැඩි වශයෙන් Money Pox රෝගය වාර්තා වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩි අවධානයක් මේ වෛරසය වෙතට යොමු කරනවා. මේ ලිපිය ලියන මේ මොහොත වන විටත් අපේ ශ්‍රීලංකාවේ කිසිම රෝගියෙක් වාර්තා නොවුණත් අපේ අසල්වැසි ඉන්දියාවේ මේ වනවිට රෝගීන් 5 දෙනෙක් හදුනා ගෙන තියෙන අතර Monkey Pox වෛරසය නිසා එක් මරණයක් සිදු වෙලා තියෙනවා
මේ රෝගය වැඩි වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ කුඩා ළමුන් සහ විශේෂයෙන් සමලිංගික පිරිමි පුද්ගලයන් තුළින් නමුත් මෙම වෛරසය තවමත් ලිංගාශ්‍රිතව බෝවෙන රෝගයක් ලෙස හදුනා ගෙන නැහැ
*Monkey Pox රෝගය බෝවෙන්නේ කොහොමද
*
මේ Monkey Pox කියන රෝගය මිනිසාට බෝ වෙන්නේ සතුන්ගෙන්. විශේෂයෙන්ම නිවර්තන කලාපයේ වනාන්තර ආශ්‍රිත ලේනුන්, වඳුරු වර්ග සහ මීයන් ගෙන් මෙම වෛරසය මිනිසාට බෝ වෙන බවට හදුනා ගෙන තිබෙනවා. ආසාදිත සත්ත්වයෙක් ගෙ දේහ පටක (මස් අනුභවය), දේහ තරල (රුධිරය, කේඨය, මූත්‍රා) ආදියට නිරාවරණ වීම තුළින් මේ වෛරසය මිනිසාට බෝ වෙන බව මේ වන විට හඳුනාගෙන තියෙනවා.
ආසාධිත මිනිසෙක් ගෙන් තවත් මිනිසෙකුට රෝගය බෝ වෙන්න පුළුවන්. එහිදී ආසාධිත පුද්ගලයෙක් ගෙ ස්වසන මාර්ගයෙන් පිට වන කැටිති සහ බිදිති, ඔහුගෙ/ ඇයගේ දේහ තරල වලට නිරාවරණය වීම (කේඨය, රුධිරය වැනි), ආසාධිතව පුද්ගලයෙක් ගෙ තුවාල වලට නිරාවරණය වීම ආදිය මගින් මිනිසුන් අතර රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්. එ වගේම ගර්භනී කාන්තාවකට රෝගය ආසාදනය වුණහොත් ඇයගේ කුස තුළ සිටින දරුවාටත් රෝගය ආසාදනය වෙන්න පුළුවන්. මීට අමතරව ආසාධිත තරල තැවරුණු භාණ්ඩ මගිනුත් රෝගය ව්‍යාප්ත විය හැකිය
Monkey Pox රෝගයේ රෝග ලක්ෂණ මොනවාද
Monkey Pox රෝගය වසූරිය රෝගය තරමට අසාධ්‍ය රෝගයක් නොවේ. මේ වන විට වාර්තා වී ඇති අන්දමට Monkey Pox නිසා මරණය සිදු වීමේ සම්භාවිතාව 3% ත් 6% අතර වෙනවා.
වෛරසය ශරීර ගත වී දවස් 6 ත්13 අතර ප්‍රමාණයක් රෝග ලක්ෂණ මතු වීමට ගත වෙන්න පුළුවන්.
එහිදී පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා
1)තද උණ ගතිය
2) තද හිසරදය
3) මස් පිඩූ වේදනාව
4) හන්දි වේදනාව
5) නාසයේ අවහිරතාව
6) උගුර වේදනාව
7) කැස්ස
8)තෙහෙට්ටුව
9) බෙල්ලේ වසා ගැටිති ඉදිමීම
උණ වැළඳී දින තුනක් ඇතුළත ශරීරයේ ලප (Rash) එන්නට පටන් ගනියි. එහිදී මුහුණ, ඇස්, මූඛය, අත්ල, පතුල සහ ලිංගේන්ද්‍රිය ප්‍රදේශ වැඩි වශයෙන් Rash එකට ගොදුරු වෙයි.
ලප සමේ පාට වෙනස් වීමකින් ආරම්භ වී සැරව ගෙඩි දක්වා වර්ධනය වී සැරව ගෙඩි පුපුරා කැළල් ඇතීවීම දක්‌වා පරාසයක දක්නට ලැබේ.
Monkey Pox රෝගය සති 2 ක් හෝ 4 ක් ඇතුළත ඉබේ සුව වෙන රෝගයක් වුවද ඇතැම් පුද්ගලයන් හට නිව්මෝනියා තත්වයන් සහ මොලයේ උණ (Encephalitis) දක්වා ව්‍යාප්ත විය හැකිය. කුඩා දරුවන් සහ දේහයේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් මේ තත්ත්වයට පත් වන්න අවදානමක් පවතින බව වෛද්‍ය මතයයි
Monkey Pox රෝගය හදුනා ගන්නේ කෙසේද
හමේ එන ලප (Rash) වලින් කොටසක් ගෙන PCR පරීක්ෂණය සදහා යොමු කිරීම මගින් අපට රෝගය පහසුවෙන් හදුනා ගන්න පුළුවන්
Monkey Pox රෝගය සඳහා පවතින ප්‍රතිකාර මොනවාද
Monkey Pox රෝගය සදහා නිශ්චිත ප්‍රතිකාර නොමැති අතර එය ඉබේම සුව වෙන රෝගයක්. වේදනා නාශක, නිසි පෝෂනය, විජලනය වළක්වා ගැනීම, ශරීරයේ ලප මත ඇතිවිය හැකි බැක්ටීරියා ආසාදන පාලනය කිරීම, නිව්මෝනියා තත්වයේදී ශ්වසනය පවත්වා ගැනීම සහ ඔක්සිජන් ලබා දීම ආදිය සිදු කරණු ලබනවා. මීට අමතරව වසූරිය සදහා භාවිතා කරන ලද Tecovirimat නම් බෙහෙතද මේ සදහාද යොදා ගත හැකියි
Monkey Pox රෝගය වළක්වා ගැනීමට එන්නත් තිබෙනවාද
වසූරිය සඳහා ලබා දුන් එන්නත මේ Monkey Pox රෝගය සදහාද සාර්ථකව ක්‍රියා කරන බව සොයාගෙන තිබෙනවා. එමනිසා පෙර වසූරිය සදහා එන්නත් ලබා ගත් අයට මේ රෝගයෙන් ආරක්ෂාවක් පවතිනවා. එලෙස එන්නත් ලබා නොගත් අයටත් Monkey Pox සදහා නිපදවන ලද එන්නතක් මේ වනවිට පවතිනවා
Monkey Pox රෝගය වළක්වා ගන්නේ කෙසේද
Monkey Pox රෝගය වළක්වා ගැනීමට හැකි රෝගයක්. විශේෂයෙන්ම ආරක්ෂක මුව ආවරණ පැළඳීම, ආසාධිතව රෝගීන් හෝ සැක සහිත රෝගීන්ගේ දේහ තරල හා පටක පරිහරනය කිරිමේදී ආරක්ෂාකාරීව කටයුතු කිරීම මගින් මෙම රෝගය වළක්වා ගත හැකිය
මූලාශ්‍ර
1)World Health Organization
2)CDC
DM for more information 📩💊🩺💉
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Website
Address
Kandy