Chanaka D Amarakoon
18/02/2025
2025 අයවැය කොලේ වහලා ගැහිල්ලක්
👇👇👇
🔴 ඉදිරියටත් මෙවැනි ලිපි හා සම්බන්ධවීමට පහත සබැදියෙන් මාගේ Whats App පොදු නාලිකාව (Public Channel ) යට සම්බන්ධවිය හැකි අතර පහත QR ඛේතය පරිලෝකනය ( Scan ) කිරීම මගින් ක්ෂනිකව නාලිකාව හා සම්බන්ධව විය හැක.
👇👇👇
https://whatsapp.com/channel/0029VazRGba84Om8gbNIHb3m
2025 අය වැය කොලේ වහලා ගැහිල්ලක් ?
,
,
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ පලමු අය වැය ගැන මාලිම පාක්ෂිකයා ඉතා ඉහල බලාපොරොත්තු තබාගෙන සිටියේ එය රටේ මහා විප්ලවීය අය වැය වෙනු ඇතැයී කියාය. මාලිමා පාක්ෂිකයන් නොවන බයි, සජබයි අයත් සිතා සිටියෙ පසුගිය 76 වසර තුළ දී තමන්ගේ කඳවුර වෙතින් වූ දේ ඉක්මවා යන සහ තමන්ට තව අවුරුදු ගානකට ඔළුව උස්සගන්න බැරි වෙන බරපතල අය වැයක් අනුර කුමාර ජනාධිපතිවරයා ඉදිරිපත් කරනු ඇතැයි කියාය.
නමුත් සුපුරුදු පරිදි අනුර කුමාර මහතා ලස්සන වදන් සහිතව වැඩ කන්දරාවක් යෝජනා කරමින් ඉදිරිපත් කළ අය වැය නිකම්ම පුස්සක් විය. පුස්සක් වුයේ යැයි මූලිකව කියන්නේ ජාතික ජන බලවේගය විදිහට ජනතා විමුක්ති පෙරමුණ විදිහට ජනාධිපතිවරණයට පෙර ඔවුන් ඉදිරිපත් කළ ජාතික ජන බලවේගයෙ මැතිවරණ ප්‍රතිපත්ති ලේඛනයට සහ ඔවුන් වේදිකාවේ දි මොර දුන් කරුණු කරනා සමඟය.
ඔවුන් 76 වසරක් මුළුල්ලේ මේ රටේ සිදුවුනා වූ සංවර්ධනාත්මක දේ සියල්ලත් තුච්ඡ ලෙස බැහැර කරනු ලැබුවේ රට විනාශ කළ බවට චෝදනා කරමින්ය. තමන්ගේ ආණ්ඩුවක් යටතේ රට කනපිට ගසා සුද්ද බුද්ද කර මහ සංවර්ධන යුගයකට ගෙන යන බවට ප්‍රතිඥා දී තිබිණි. ජනතාවට වැඩිම සහනයන් ලැබෙන, වැඩිම වාසියක් අත්පත් වන, වැඩිම ප්‍රතිලාබ හිමිවන ජනතාවාදී ජනතාවගේ ආණ්ඩුවක් හදන බවට ප්‍රතිඥා දී තිබිණි. නමුත් පැය 24 න්, 48 න්, 72 න් සතියෙන් දෙකෙන්, මාස තුනෙන්, එක පෑන් පහරින් කරනවා කිව් කිසිවක් මෙතෙක් සිදු වූයේ නැත. අනුර ජනධිපතිවරයා පත්ව දැන් මාස 4 කි. ආණ්ඩුවට මාස 3 කි. පොරොන්දු වූ කිසිවක් සිදු වූයේ නැත. ජනප්‍රිය සිල්ලර කතා වලින් දවස ගෙවා ගන්නාවා විනා මැතිවරණ පොරොන්දු ඉටුකිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමකට උත්සාහයක්ද නැත.
2025 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අය වැය සම්ප්‍රදායික අය වැයක්ම විය. විප්ලවීස සමාජ ආර්ථික වෙනස එහි තිබුණේ නැත. පුනරුදය එහි තිබුණේ නැත. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් එහි තිබුණේ නැත. කොටින්ම පසුගිය රනිල් පාලනයේ අයවැයේම අංග විකල දිගුවක් විය. එය රනිල්ගේ අය වැය යෝජනා වලිය සැකසූ මුදල් අමත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ එම නිලධාරීන් පිරිසම මෙවර අය වැය යෝජනා ලේඛනයද සැකසීම නිසා සිදු වූවක් ම නොවේ.
ආණ්ඩුවකට සිය දේශපාලන ප්ර්තිපත්ති සහ වැඩපිළිවෙල අනුව අය වැය තුළින් කළ හැකි විශාල වෙනස් කම් තිබේ. නමුත් මෙම අය වැයෙන් ප්‍රකාශයට පත් වන්නෙ රනිල්ගේ අය වැයෙහි වූ ප්‍රතිපත්තිමය පදනම මතුපිටින් හෝ එලෙසම ආරක්ෂා කරගෙන ඉදිරියට යෑමට ගන්නා අමාරු උත්සාහයක් ලෙසය. ඒ වත්මන් ආණ්ඩුව සතුව තමන්ගේ යනුවෙන් ප්‍රතිපත්තිමය වැඩ සටහනක් හෝ නොතිබීම නිසාය.
එහි වරදක් නැත. මන්ද රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රනිල්ගේ ප්‍රතිපත්තිමය පදනම මත සිට යෑම වැරදි නොවන නිසාය. රට බංකොලොත් භාවයෙන් මුදවා නැවත කෙලින් කටින් සිටවීමට හැකි වූයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ සහිතව රනිල් ඉදිරිපත් කළ වැඩපිළිවෙල අනුවය. නමුත් අනුරලා හිටියේ ඒ ප්‍රතිපත්තිමය පදනමට සපුරා වෙනස් දේවල් කියවමිනි. මුල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරන බවට පවා පොරොන්දු විය.
ඒ කවරක් වුණත් අනුරට තිබු එකම මගඟ රනිල් ගිය මඟයි. ඒ අනුව රනිල්ගේ ප්‍රතිපත්ති තුළ අය වැය කරකවා තිබුණත් රනිල්ගේ වේගය හෝ වැඩ පිළිවෙල අනුරගේ අය වැය තුළ නැත. පසුගිය මාස 4 තුළ අනුරට, රනිල්ගේ වේගය හෝ වැඩ සමස්ථය අත්පත් කර ගැනිමට නොහැකි වූ අතර වරද්දා ගැනීම්, අඩුපාඩු සහ ප්‍රමාදයන් ඇති විය. ඒ අතරින් විදේශ සංචිත අඩු කරගැනීම සහ රජයේ ආදායම් වියදම් හොඳින් කළමණා කරණය කරගැනීමේ නොහැකියාව පෙන්වා තිබිණි. විදේශ ආයෝජන ගනනාවක් රටෙන් ඉවත් විය. ඒ අඩුව මෙම අයවැය තුළින්ද පෙන්වා ඇත.
රජය ආදායම් ගිය වසරට වඩා බිලියන 900 කින් පමණ මෙවර වැඩි කර ගන්නා බව අය වැයෙහි සඳහන් අතර එසේම රජයේ වියදම ද ඒ අනුවම වැඩි කරගෙන ඇත. අය වැය පරතරය ද ගිය වසරට වඩා වැඩිකරගෙන තිබේ. රනිල් පසුගිය වසරේ අතිශය අසීරු තත්තවයන් යටතේ රාජ්‍ය ණයද විශාල පංගුවක් ගෙවා දමමින් අය වැය පරතරයත් ඊට පෙර වසරටත් වඩා අඩුකර ගැනීමට සමත්ව තිබිණි. නමුත් අනුර මෙවර අය වැය පරතරය වැඩි කරගෙන තිබෙන්නේ මෙම වසරේදී ගෙවීමට ඇති රජයේ ණය ප්‍රමාණයද සුළු වශයෙන් තිබෙන තත්වයක් යටතේය.
එදා රජයේ වියදම් ආදායමට වඩා වැඩි වන විට, රජය ණය ගන්නා විට අනුරලා කිව්වේ ආණ්ඩුවේ හොරකම් නිසා එසේ වන බවය. දුෂණය වංචාව නාස්තිය අකාර්යක්ෂමතාවය නිසා රජයේ වියදම් වැඩි වෙන බවය. අනුරගේ ආණ්ඩුව තුළ මේ කියන දුෂණ වංචා නාස්තිය අකාර්යක්ෂමතා අඩු තරමින් පාලනය කිරීමක්වත් සිදුව තිබේ නම් රාජ්‍ය වියදම් අඩු විය යුතුව තිබිණි. නමුත් එය වැඩි වී ඇත. එවිට රජයේ වියදම් වැඩි වන්නේ හොරකම නතර කර ගැනීමට නොහැකි නිසාය. නැතිනම් අලුත් වියදම් වැඩි වී ඇති නිසාය. අලුතෙන් වියදම් වැඩි වුණා නම් ඒ මොනවාටද? ඒ වියදම් වැඩි කිරීමෙන් මේ රටේ ආර්ථිකයට ජනතාවට අත් වෙන ප්‍රතිලාභයන් මොනවාද? අය වැය තුළ ඒ පිලිබදව පැහැදිලි කිරීම නැත.
අය වැය අනුව මේ වියදම් වෙනුවෙන් තවත් රුපියල් බිලියන 2200 ක් අවම වශයෙන් ණය ගැනීමට සිදුව තිබේ. රජයේ වියදම බිලියන 7190 ක් ලෙස පෙන්වා ඇත. රාජ්‍ය ආදායම බිලියන 4990 කි. ඒ සිදුකර ගන්නා ආකාරය ගැන ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් නැත. "ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි දළ ජාතික නිශ්පාදනයෙන් 15.1% රාජ්‍ය ආදායම වර්ධනය කරගත යුතු නිසා එය අව වැයේ ඉලක්කම විජ්ජාවකින් පෙන්වීමේ උත්සාහයක් පමණක්ද විය හැකිය." (මෙය උපකල්පනයක් පමණි)
මේ ආදායම රජය ලබා ගන්නේ කොහොමද? රජය ආදායම වැඩි කර ගැනීමට නම් අලුතෙන් බදු පැනවීමක් විය යුතුය. බදු පදනම පුළුල් වීමක් විය යුතුය. ඒ සඳහා රජය බදු ආදායම ගිය වසරට වඩා 25% කින් පමණ වර්ධනය කර ගත යුතුව ඇත. අය වැය අනුව, ආදායම් බදු වලින් බිලියන 150 ක් පමණ, භාණ්ඩ හා සේවා වලින් බිලියන 570 ක් පමණ සහ අනෙක් බදුවලින් බිලියන 200ක් පමණ නව බදු ආදායම් ලෙස ලබා ගැනීමට නියමිත. මේ අනුව තවත් අලුත් බදු බරක් ජනතාව මත පැටවෙනු ඇත.
රජය වාහන ආනයනය කිරීමේදී ලබා ගන්නා බදු ආදායම් වලින් රාජ්‍ය ආදායමේ අඩුපාඩුව පියවා ගන්නා බව අනෙක් තැනක පවසා තිබිණි. නමුත් මේ විට වාහන සඳහා අලුතෙන් එකතු වෙන බදු ආදීය ගෙවීම් වල වැඩි වීම මත රජය බලාපොරොත්තු වන තරමෙන් වාහන ආනයනයක් සිදු වීමේ ඉඩකඩ සීමිතය. දැනටමත් වාහන ආනයන කරුවන් ලැබෙන ඇණවුම් අනුව පමණක් වාහන ආනයනය කරන තීන්දුවක සිටින්නේ වාහන මිල දෙගුණයකින් පමණ වැඩි වීම තුළ ලොකු අළෙවියක් නොවෙන බව දැන ගෙනය. මේ නිසා රජය බලාපොරොත්තු වන බදු ආදායම් නොලැබෙනු ඇත. එමෙන්ම ඒ අවිනිශ්චිත බදු ආදායමකි. මේ නිසා අයවැයෙහි පොරොන්දු ඉටු කිරීමත් අවිනිශ්චිතය. කොහොමත් මේ රටේ අය වැය යෝජනා කිසිදා මුළුමනින් ඉටු කිරීමක් වී නොමැත. 50 % ඉක්මවා ගිය අවස්ථා ඇත්තේ දෙක තුනක් පමණි.
මේ අනුව මෙවර රාජ්‍ය ආදායම යනු ජනප්‍රිය අය වැය යෝජනා ඉටු කරන බව පෙන්වීමට අවශ්‍යය රාජ්‍ය ආදායමක් අත්පත්කර ගත හැකි බව පෙන්වීමට කළ ඉලක්කම් විජ්ජාවක් පමණක් වීමේ ඉඩ කඩ ඉතා ඉහළය. සමහර විට අය වැයෙහි ජනප්‍රිය යෝජනා රැසක් ඉදිරිපත් කිරීමේ වුවමනාව ද ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන දුන් හුදු පොරොන්දු පත්‍රයක් පමණක් විය හැකිය.
මේ අතර මෙවර වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන කර තිබෙන්නේ වැඩි වන රාජ්‍ය සේවක වැටුප් ගෙවීමටය. නමුත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සිදු කරන ආකාරය සහ වැඩිවන මුදල ගැන බරපතල විවේචන එල්ල වී ඇත. රාජ්‍ය සේවා ක්ෂේතු ගනනාවකින විරෝධය පලවී ඇත. විශේෂයෙන්ම ගුරු විදුහල්පති වරුන්ගේ විරෝධය බරපතල වී ඇත. ඒ අතර දීමනා අතිකාල කැපීම ආදිය නිසා ඉහළ ශ්‍රේණිවල වැටුප් අඩු වීමක් ගැනද විවේචන මතුව තිබේ.
එසේම වැඩි කළා කියන කීය හෝ වැඩි වීම 2027 වන තෙක් සිදුවන ක්‍රියාවලියකි. එනම් වර්තමාන ආණ්ඩුව තුළින් යළි වැටුප් වැඩි වීමක් බලාපොරොත්තු නොවිය යුතු බවය නොකියා කියයි. මෙවරත් සාමාජ ආරක්ෂණය වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර තිබීම ගැන විරුද්ධ විය නොහැක. නමුත් විය යුතු දේ නම් මේ රටේ ජනතාව හැමදාමත් රජයේ සහනාධාර මත යැපෙන තත්වයෙන් ගැලවා ආර්ථිකයේ සක්‍රීය කොටස් කරුවන් කිරීමට වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමය. ඒ වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති සැකසිය යුතුය.
කොහොම නමුත් රජයේ අයවැය යෝජනාවලියකින් බලාපොරොත්තු වන්නේ රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිය සහ එය යථාර්ථයක් කිරීමට ගන්නා පියවරයන් අය වැය යෝජනා වලින් මූර්තිමත් වීමය. නමුත් මෙවර අය වැයෙන් ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක් ද යන්න පැහැදිලි නැත. ගන්නා ක්‍රියා මාර්ගද ඒ අනුවම අපැහැදිලිය.
මේ නිසා මෙවර අය වැය සාම්ප්‍රදායික ලෙස ජනතාවට මොන මොනවා හෝ සහන කිහිපයක් ලබා දී අයවැයක් ඉදිරිපත් කළේ කරන්නන් වාලේ කෙරුවා මෙන් වැඩක් බව පෙනෙන්නට තිබේ. අඩුම තරමින් තමන්ට ඡන්දය දුන් පාක්ෂිකයා පිනවන්නට තරම්වත් දෙයක් පෙන්වන්නට තරම් ආණ්ඩුව අසමත්ව තිබේ.
🔴 ඉදිරියටත් මෙවැනි ලිපි හා සම්බන්ධවීමට පහත සබැදියෙන් මාගේ Whats App පොදු නාලිකාව (Public Channel ) යට සම්බන්ධවිය හැකි අතර පහත QR ඛේතය පරිලෝකනය ( Scan ) කිරීම මගින් ක්ෂනිකව නාලිකාව හා සම්බන්ධව විය හැක.
👇👇👇
https://whatsapp.com/channel/0029VazRGba84Om8gbNIHb3m
✍️
චානක අමරකෝන්
04/02/2025
ලේනාගේ ලව් එකට මැදිවූ රටේ වී මිල
කුමක් හෝ හේතුවකට ලේනයි ලේනිගෙයි ලව් එකට ගලකින් ගැසු කොල්ලා ගැන කතාවක් කෘෂිකර්ම ඇමැති නාමල් කරුණාරත්න කාන්තාවන් පිරිසක් ඉදිරියේ කියා තිබිණි. නමුත් මේ කතාව ගැලපෙන්නේ වී ගොවිය සහ පාරිභෝගිකයා අතර තිබිය යුතු අනුලෝම සම්බන්ධතාවය කාටවත් හානියක් නොකර සුරැකීමට ආණ්ඩුව අසමත් වෙමින් පැවැතීම ගැනය. මේ ගැටුම උග්‍ර වීම ඉදිරි මාස කිහිපය තුළදී සිදු වීමට නියමිතය. මහ කන්නයේ අස්වනු කැපෙමින් පවතින නිසා මේ දිනවල ආණ්ඩුව චූන් එකේ ලව් කතා කිය කියා සිටියාට ලව් ඉලව් වීමට සහ ගොවියා නාමල්ගේ ලේනාට ගලකින් ගසන කාලය වැඩි ඇතක නොමැති බවනම් මොනවට පැහැදිලිය.
රටේ හාල් ප්‍රශ්නයක් නැති ගානට ආණ්ඩුව හැසිරෙමින් තිබෙන විදිහට නම් ආණ්ඩුවට ජනතා ප්‍රශ්න අදාල නැත. හාල් හිඟය විසඳී නැත. හාල් මිළ ඉහළ යාම පාලන තත්වයේ නැත. රතු කැකුළු හාල් බේතකටවත් සොයා ගැනීම අපහසුව තිබේ. කොහොම නමුත් මහ කන්නයේ අස්වනු දැන් කැපෙමින් පවතින නිසා හාල් ප්‍රශ්නය විසඳෙනු ඇති බව ආණ්ඩුවේ ගනන් බැලීම විය.
එහෙත් ඉදිරියේ පැමිණිමට නියමිත හාල් ප්‍රශ්නය පැත්තකින් තැබුවත්, වී මිළ ගැන ප්‍රශ්නය වැළැක්වීමට නොහැකිව තිබේ. මෙවර මහ කන්නයේ වී අස්වනු සඳහා සහතික මිලක් දීම මේ මොහොත දක්වා සිදුව නොමැත. වටින් ගොඩින් ආරංචි ලැබෙන විදිහට නම් ආණ්ඩුව වී සඳහා සහතික මිළ මීට සති තුනකට පමණ තීරණය කර ඇත. එහෙත් ප්‍රකාශයට පත් කිරීම කල් දමමින් තිබේ. එයට හේතුව ගොවියන් අතින් පාඩු කරගෙන හෝ ලාබ තියන් හෝ පෞද්ගලික අංශයට අස්වනු විකුණා දැමීම සිදු වීමෙන් අනතුරුව ආණ්ඩුවට කර ගහන්නට වන ප්‍රශ්නයෙන් කොටසක් අඩුවන නිසා විය හැකිය.
වී අස්වනු වැඩි පංගුව ලැබෙන, උතුරු මැද සහ නැගෙනහිර දෙපළාත් වල ඇතිවූ අධික වර්ෂාව සහ ජලගැලීම් ආදිය නිසා වී ගොවියා අනපේක්ෂිත ගැටළුවකට මෙවර මුහුණදී තිබේ. ඒ අනුව අස්වනු විශාල ප්‍රමාණයක්ද විනාශවී යෑමට ලක්ව තිබේ. එසේම වී තෙත් වීම නිසා බලාපොරොත්තුවූ මිළ ගන්න වලට විකුණා ගැනීමේ ගැටළුවටද මුහුණදී ඇත. ඒ අතර රජය සහතික මිලක් තීරණය නොකිරීම නිසා මේවනවිට වී ගොවියා අසරණව සිටී.
වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරු තමන්ගේ වාසියට ලේසියට ප්‍රශ්න වලින් පැනයාම තෝරාගෙන තිබුණද ගොවියාට එසේ කළ නොහැක. ඔවුන් ජීවත් වන්නේ තමන් දහඩිය මහන්සියෙන් හම්බ කරගත් අස්වැන්න විකිණීමෙන් ලබන මුදලින් මිසක් රජයේ බදු මුදලින් ගෙවන වැටුපකින් දීමනාවකින් වරප්‍රසාදයකින් නොවේ.
සහල් සඳහා පාලන මිළක් ගැසට් කර තිබෙන විට වී සඳහා මිලක් තීරණය කිරීම සාමාන්‍යයෙන් කරන්නේ සහල් වල පාලන මිලට සාපේක්ෂවය. මේ වන විට රු 230 නාඩු සහල් පාලන මිළ අනුව එම වී කිලෝවක මිළ 115 ක ආසන්න මිළක් විය යුතුය. සාමාන්‍ය ගනනය කිරීමේ ක්‍රමවේදය අනුව ගොවියා වී කිලෝවක් විකුණන මිළ මෙන් දෙගුණයකට ආසන්නතම මිළක් වෙළඳපොළේ සහල් මිල වෙයි.
දැනට පෞද්ගලික මෝල් හිමියන් වී මිලදී ගන්නේ රුපියල් 80-90ත් අතර උපරිමය 100 ක් යැයි පැවැසේ. වී ගොවියන් පෙන්වා දෙන්නේ තමන්ගේ පිරිවැය රු. 105 ත් 120 ත් අතර වෙනස් මිළ ගනන්ය. මෙම පිරිවැය ප්‍රදේශය අනුව, යෙදවුම් අනුව සහ අස්වනු ප්‍රමාණය ආදී සාධක මත වෙනස් වේ. අඩුම පිරිවැය ඇත්තේ නැගෙනහිර පළාතේ බවද පැවැසේ.
වඩා සාධාරණ ක්‍රමවේදය නම් පිරිවැයට සාපේක්ෂව ලාබ ප්‍රතිශතයක් නියම කිරීමය. පසුගිය කාලය තුළ ජවිපෙ නිරන්තරයෙන් සටන් කළේ ඒ වෙනුවෙනි. ඒ සටනේ පෙරමුණ ගත් වත්මන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මෑතක පැවැති ජනහමුවකට එක්වෙමින් සඳහන් කළේ,
"වීවලට අදළාව අපි සටන් පඨයක් ගෙනවා පසුගිය කාලයේ. වී කිලෝ එකක නිෂ්පාදන වියදමට 30%ක් එකතුකරලා වී කිලෝ එකට මිලක් දෙන්න කියන එක තමයි සටන් පාඨය. ඉතිහාසයේ පළවෙනි වතාවට තව දවස් කිහිපයකින් ඒ සටන් පාඨයට අපි පණපොවනවා. ඒ නිසා මේ වෙනකොට අපේ අමාත්‍යාංශයෙන් ආයතන 05ක් වී කිලෝ එකේ නිෂ්පාදන වියදම ගණන් බලලා තියෙනවා. අපි උපදෙස් දුන්නා ගොවියට දුන්න පොහොර සහනාධාරය ඉවත්කරන්න. නිෂ්පාදන වියදම ගණන් හැදීම සඳහා. ඔබ තනිකරම ඕබේ සල්ලිවලින් පොහොර ගත්තා සේ සලකලා තමයි නිෂ්පාදන වියදම ගණන් බලලා තියෙන්නේ. අන්න ඒ නිෂ්පාදන වියදමට 30%ක් අපි එකතු කරනවා. එකතුකරලා ගොවියාගේ වී කිලෝ එකේ අවම මිල තව දවස් කිහිපයකින් අපි ප්‍රකාශයට පත්කරනවා විතරක් නෙමයි රජයේ ගබඩා විවෘත කරනවා." යනුවෙනි.
වී ගොවියාගේ පිරිවැයට 30 %ක් එකතු කර වී කිලෝවක මිළ තීරණය කරන්නේ නම් යථා තත්වය අනුව වී කිලෝවක් රු 135 සිට 150 අතර වන මිළක් නියම විය යුතුය. නමුත් එවැනි මිළක් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැක.
ඒ අතර ඇමැති නාමල්ම වරක් කීවේ ගොවියා වී මිලට බුලත් විටේ ගානත් එකතු කර වී මිල තීරණය කරන බවත් එසේ කිරීමට ඉඩ නොදෙන කතාවකි. මෙය අසාධාරණ ප්‍රකාශයකි. ගොවියාට වී නිශ්පාදන පිරිවැයටම වී විකිණිය නොහැක. ඔවුන් ජීවත් වන්නේ පවුලක් නඩත්තු කරන්නේ වී වලින් ලැබෙන ලාබයෙනි. මහ කන්නයේ පමණක් වී වවන ගොවියාට මීළග මහ කන්නය වන තෙක් ජීවත් වන්න සිදු වන්නේ වී වල ලාබයෙනි. එසේ නොහැකි නම් නැවත වී වගා කර තේරුමක් නැත. ඒ නිසා ඔවුන්ට ජීවත්වීමට සරිලන මිලක් තීරණය විය යුතුය.
මේ අනුව ඇමැති නාමල් පිරිවැය අනුව වී මිළ තීරණය කරනවා කියා මෙවර ලබන ජයග්‍රහණය අංගවිකල ජයග්‍රහණයකි. කොළේ වහලා ගැසිල්ලකි. පිරිවැය ආණ්ඩුවේ කැමැත්ත පරිදි කපා කොටා සැකසෙනු ඇත. 115 කියන්නේ ඒ උපරිම අගය විය හැකිය. ගොවියාට සිදු වන්නේ අතින් වියදම් කරගෙන අනුන්ගේ හරක් බලා ගත්තා වගේ වැඩකි.
එසේම පොහොර සහනාධාරය, ජලය, ණය ආදිය ලබා දුන් නිසා ගොවියා අඩු මිළට රජයට වී ලබා දිය යුතුයැයි මතයක් ආණ්ඩුව ගෙන යමින් තිබේ. බැලු බැල්මට මෙය සාධාරණ යැයි සිතේ. නමුත් රජය පොහොර ජලය ආදි පහසුකම් ලබා දෙන්නේ ඒ නිශ්පාදන පිරිවැය අඩු කර ජිවත් වීම සඳහා ප්‍රමාණවත් මුදලක් ගොවියා අත තැබීමටය. එසේම වී ගොවිතැන රටේ ඉතිහාසය හා සංස්කෘතිය සමඟ තිබෙන බැඳීම අනුව අත්හළ නොහැකි වගාවකි. ඒ සියල්ලට වඩා ගොවියා තව දුරටත් ගොවිතැනෙහි තබා ගැනීම මෙරට ආහාර සුරක්ෂිතතාවය පැත්තෙන් විය යුතුම නිසාය. රජය බදු මුදල් වැය කරන්නේ ආහාර සුරක්ෂිතතාවය ජාතික වුවමණාවක් වන නිසා මිසක ගොවියාගේ බඩ පිරවීමටම නොවේ. ඒ නිසා පිරිවැයට වඩා අඩු මිළට වී රජයට ලබා දෙන්නැයි ඉල්ලීම සාධාරණ නැත.
එසේම රජයට වී ටොන් ලක්ෂ 3 කට වඩා මිළදී ගැනීමේ හැකියාවක් නොමැති අතර එම ලක්ෂ තුන ගබඩා කර ගැනීම මඟින් ඉදිරියට පැමිණිමට නියමිත සහල් හිඟයට දිය හැකි විසඳුමක්ද නැත. අපේක්ෂිත අස්වනු නොලැබීම නිසා සහල් හිඟයක් ඇති වීම අනිවාර්යය. ඒ අතරම මෙවර මහ කන්නයේ අස්වැන්න ප්‍රමාණය අඩුවීම මත වී මිළ තීරණ විය හැකි තත්වයද බරපතලය.
කෘෂි දෙපාර්තමේන්තුවේ ජනවාරි 15 පුරෝකතනය අනුව මහ කන්නයේ ටොන් ලක්ෂ 25.5 ක අස්වැන්නක් අපේක්ෂා කරයි. 2019/20, 2020/21 / මහ කන්න වල ටෝන් ලක්ෂ 30 ක් අස්වනු නෙලාගෙන තිබුණු අතර එය මෙවර ටොන් ලක්ෂ 4 කින් පමණ අඩුවීමක් වී ඇත. මෙම ගනනය කිරීමත් වියළි කලාපය තුළවූ කාලගුණික ආපදා නිසාවූ හානිය ඇතුළත් නොකර කළ ගනනය කිරීමකි. ඒ අනුව තව දුරටත් වී අස්වැන්න අඩු වීමක් විය හැකිය.
එය සමස්තයක් ලෙස තවත් ටොන් ලක්ෂ 3 ක 4 ක ප්‍රමාණයක් අඩු වීමක් විය හැකි බව කියැවේ. ඒ අනුව අස්වනු අඩුවීමෙන් වන පාඩුව, ලැබුණු අස්වනු ප්‍රමාණයෙන් පියවා ගැනීමේදී ගොවියාට වී මිළ ඉහළ දැමීමට සිදු වෙනු ඇත.
එමෙන්ම රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය පියවා ගැනීමේ අර්බුදයක්ද මෙම වසර තුළ ඇතිවෙනු ඇත. ඒ අනුව පසුගියදා ආනයනය කළ සහල් ප්‍රමාණයට වඩා තුන් හතරගුණයක සහල් ප්‍රමාණයක් මෙම වසර තුළදී ආනයනය කිරීමට සිදු වෙනු ඇත. ඉදිරි යල කන්නයේ අස්වනු අපේක්ෂාව ඉටු නොවුණහොත් සහල් ආනයනයන් තවත් ඉහළ යනු ඇත.
මේ වන විට වී සඳහා රු 135 -150 ක අතර මිළක් ගොවියන් බලාපොරොත්තු වෙයි. රු.150 ක සහතික මිලක් වී වලට නොදුන්නොත් පාරට බසින බව දැනටමත් ඇතැම් ගොවි සංවිධාන ප්‍රකාශ කරමින් තිබේ. නමුත් එසේ වුවහොත් සහල් මිල රු 270 - 300 අතර මිළ ඉහළ යෑමක් විය හැකිය. ඒ අතර වෙළඳපොළ තුළ සහල් හිඟයක් ඇති වුවහොත් මිළ ඉහළ යාම තව දුරටත් සිදු විය හැකිය.
ගොවියාත් පාරිභෝගිකයාත් බේරාගෙන මෙම ගැටළුව විසඳා ගැනීමට ආණ්ඩුව සමත් වීම ගැනද ඇත්තේ සැකයකි. පසුගිය මාස කිහිපයක සිට පවතින සහල් අර්බුදය ප්‍රශස්ත ලෙස විසඳා ගැනීමට ආණ්ඩුව අසමත් වීම එම සැකය තිව්ර කරයි.
ජනතාවට අඩු මිලට සහල් ලබා ගැනීමේ හැකියාව සලසා දීම විය යුතුයි. රටෙන් හරි අඩක් පමණ දරිද්‍රතාවයට පත්ව සිටින මොහොතක මේ ප්‍රශ්නය බරපතලය. හාල් ආනයනය කිරීම කොහොමත් කිරීමට සිදු වන අතර සහල් සුලභතාවය සහ තෝරාගැනීමේ අවස්ථා ජනතාවට සලසා දිය යුතුය. පුරෝකතන අනුව රටට අවශ්‍ය සහල් හිඟය මේ වසර මධ්‍යයේදී ඇති විය හැකිය. මේ වෙනුවෙන් සහල් තොග කළමනාකරණය විය යුතුයි. ආනයනයන් නියමිත කාලයට නියමිත ප්‍රමාණයන්ගෙන් සිදු විය යුතුය. මිළ අඩුවට තබා ගැනීමත් විය යුතුය. මේ සියල්ලෙන්ම අවසානයේ සිදුවිය යුත්තේ අතර මැදියන් සහ මෝල් හිමියන් සතුටු කිරීම නොව අසරණ ගොවියා සහ පාරිභෝගිකයා සතුටු කිරීම පමණක්මය.
🔴 ඔබට ඉදිරියටත් මෙවැනි ලිපි හා සම්බන්ධවීමට කැමතිනම් පහත සබැදියෙන් මාගේ Whats App පොදු නාලිකාව (Public Channel ) යට සම්බන්ධවිය හැකි අතර පහත QR ඛේතය පරිලෝකනය ( Scan ) කිරීම මගින් ක්ෂනිකව නාලිකාව හා සම්බන්ධව විය හැක.
👇👇👇
https://whatsapp.com/channel/0029VazRGba84Om8gbNIHb3m
✍️
චානක අමරකෝන්
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Mawathgama
Homagama
10200