EXIT WAY OUT

EXIT WAY OUT

Share

06/04/2025

මේ කතුරු ඔංචිල්ලාවේ තවත් වටයකට මිළ කීයද?
=========================================

පසුගිය කාල වකවානුව යනු බොහෝ දේශපාලනික පක්ෂ , සංවිධාන සහ අංශයන් පරීක්ෂාවට ලක්වූ කාලයකි. එමෙන්ම ඉදිරියේදී එම පරීක්ශාවන්ගේ තවත් ප්‍රතිඵල පැමිණීමටද නියමිතය. පවතින අර්ථයෙන් දේශපාලනය තුල සිදුවූ එකම වෙනසනම් මෙතෙක් ආණ්ඩු බලය හුවමාරුවෙමින් පැවති පක්ෂ දෙක සෝදාපාලුවට ලක්වෙමින් වෙනත් සංධානයක් එනම් NPP ය බලයට පත්වීමයි. ඉතා පැහැදිළි ලෙසම කිවයුත්තේ, අපගේ දේශපාලනික (දේශපාලනය අවසන් කිරිමේ දේශපාලනය) කියවීමට අනුව ඉන් එහා කිසිදු සුවිශේෂීත්වයක් මෙම ආණ්ඩුවේ නැත.
විවිධ අය මෙහි ඇති සුවිශේෂීතා විවිධාකාරයෙන් සූත්‍රගතකරමින් සිටියද ඒවා ව්‍යාජ සූත්‍රගතකිරීම් ය. ඒවා ඒ ආකාරයෙන් සූත්‍රගත කිරීමට සිදුවීම යනුම දේශපාලන දෛවෝපගතභාවයේ සරදම්කාරී ස්වබාවය පිළිඹිඹු වීමක් ය . අවශ්‍යනම් අපට එම සූත්‍රගතකිරීම් ගැන එකින් එක කතාකල හැකිය. එනමුත් අපට ඒ ගැන එතරම් උනන්දුවක් නැත්තේ ඒ සූත්‍රගතකිරීම් යනු ඔවුන් තමාටම පුනරුච්චාරනය කරගන්නා ප්‍රලාපයන් විනා, වෙනත් කිසිදු දේශපාලනික වැදගත්කමක් ඒවායේ නොමැති නිසාය. එවැනි ප්‍රලාප තොරොම්බොල් කරගන්නට සිදු වූයේ ඇයිද යන්න සිතීමනම් දේශපාලනිකව වැදගත් ය.

කෙසේවෙතත් සිදුවී ඇති විපර්යාසය , එනම් මෙතෙක් බලය පැවති දේශපාලනික පක්ෂ දෙකට වෙනස්ව වෙනත් තෙවැනි පාර්ශවයකට බලය ලැබී ඇති තත්වයක් තුළ , පවතින රාජ්‍යබලය කේන්ද්‍රකරගත් දේශපාලනයේ නියැලෙන පක්ෂ හා සංවිධානවලටනම් අලුත් තත්වයක්, ඉරනමක් උරුමකර දී ඇත. එය මෙතෙක් බලයේ සිටි එහෙත් දැන් සිය බලය ගිලිහී ඇති අයට අනුව npp ය කෙසේ හෝ බිඳවට්ටවා බලයට පැමිණිය යුතුය. ඒ සඳහා පාර්ලිමේන්තුව තුලත් විපක්ෂය ශක්තිමත් කරමින්, ඉන් පිටතත් භූමිය සකස්කල යුතුය. එළඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණය ඔවුන්ට අභියෝගාත්මකය. එමෙන්ම ඔවුන්ගේ චන්ද මට්ටම මැන බැලීමටද අවස්තාවකි.

අනෙක් පසින් සිටින්නේ NPP ආණ්ඩුවයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ පෙරකී පිරිස, එනම් එතෙක් බලයේ සිටි පිරිසෙහි අවම හෝ බලයක් තිබේනම් එයද යටපත් කරමින්, එමපිරිස් පෙරලන බාල්දි ඔලුවේ හලා නොගනිමින්, ඊනියා ජනතාවද තෘප්ත කරමින් (මෙය කල නොහැක්කකි) යාන්ත්‍රනයේ පවතින ගැටලු යටපත් කරමින්, එහිම ඇති ප්‍රතිවිරෝධතා අභිමුඛ වීම වලක්වාලමින්, සිදුරු කපරාරු කරමින් ආණ්ඩුව ඇදගෙන යාමය.( මැවැනි අයට රෝහණ විජේවීර කිව්වේ " හුචක්කු තල්ලු කරන්නන් කියාය ) විපක්ෂයේඔ පිරිස් වලට නීතිමය පසුබිමක තර්ජනයන් කිරීමද එහිම කොටසකි. (එවැනිදෑ තර්ජනද, නීතිය පසිඳලීමද යන්න අපට එතරම් අදාල නොවන්නේ. නීතිය පසඳලීම තබා නීතියවත් අපට අදාල නැති නිසාය)

කටයුතු මෙසේ වන විට මෙරට වාමාංශයේ ප්‍රභල නියෝජිතයා බවට පත්ව ඇති පෙසපෙට සිදුව ඇත්තේ අන්තෝ ජටා බහි ජටා තත්වයකි. විටෙක ඔවුනට ආණ්ඩුව විවේචනය කරමින් තමාව සලකුනු කරගත යුතුය. තවත් විටෙක ආණ්ඩුවට ටොක්කක් ඇන හරිපාරේ යැවිය යුතුය. එසේම ආණ්ඩුව පෙරලා පැරණි තන්ත්‍රයන් නැවත බලයට ඒමද වැළැක්විය යුතුය. අනෙක් අතට NPP ය නොව තමන් සැබෑ වම යැයි දේශපාලන මතු මහල තුළ තහවුරු කිරීමටද අවශ්‍යය. NPP ය යන්නේ චීන මාවතේද. චීනය සමාජවාදීද වැනි ප්‍රශ්න ඔවුන් අසන්නේ එනිසාය.

ඉහත කී පාර්ශවයන්ට අමතරව තවත් පාර්ශවයක් සිටී. එනම් දිනපතා අපට ආතල් දෙන ඊනියා සිවිල් බුද්ධිමතුන්ගේ කවයයි. මැවැනි සිවිල් කල්ලි රෙජීමයට සමාන්තරව බිහි වීම නූතන රාජ්‍ය ( Modern State ) යාන්ත්‍රණයේ නිසග ලක්ෂණයකි. එහි ඇතමෙකුට අනුව මලිමාණ්ඩුව රනිල් ගිය ලිබරල් පාරේම යාම එතරම් හද දවන දෙයක් නොවේ. එක්තරා විදියකට ඔවුන්ගේ ඉල්ලීම පළමුව ලිබරල් දක්ශිනාංශයක් ස්ථාපනය කලයුතු යැන හැගවුමකි. එහෙත් " බණ ජලය " වැනි ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් කැස පොට ගසා සිටින සිවිල් චණ්ඩින්ට නම්, මාලිමාණ්ඩුව රනිල්ගෙ පාරේම යාම තමන්ව ආතතියට පත් කරන්නකි. ඔවුන්ට අවශ්‍ය වන්නේ වේවැලෙන් පස්ස පැත්තට තලා මාලිමාණ්ඩුව හරිපාරේ දක්කාගෙන යාමය. එහෙත් වේවැල බුරුලට අල්ලා ගැනීමට ඔවුන් වග බලා ගනී.මන්දයත් තදින් පහර දීමට ගොස් ආණ්ඩුව පෙරලුනහොත් මුලින්ම නිකමුන් බවට පත් වන්නේ තමන් බව ඔවුන් හොදින් දන්නා නිසාය. ඔවුන් මේ දිනවල ආණ්ඩුවේ පලාපල කියමින් සිටී. ඊට අනුව අනුව මාලිමාණ්ඩුව වමෙත් නොව දකුණෙත් නොව මධ්‍ය වාමාංශයකි. සැබවින්ම අප මේවා තේරුමගත යුත්තේ කෙසේද? වඩාත් සංකීර්ණ ඊනියා ජනතා අභිලාශ සියල්ල එකවර නියෝජනය කිරීමේ සාරසංග්‍රහවාදයක් සදහා ඔවුන් තමන්ටම කියා ගන්නා ප්‍රලාප හැටියට ය... මාලිමාව මුල සිටම කලේ සියලුම විවිධාංගීකරනයනන්ට ආමන්ත්‍රනය කිරීමට, සියල්ල තම මල්ලේ දමාගැනීමේ එසේත් නැතිනම් එමසියල්ලෙහි නියොජිතයා වීමට වෙර දැරීමයි.... දන් මීට අමතරව ධනවාදී කතිකාවට එරෙහි කතිකාව ගොඩනැගීමට මාලිමාණ්ඩු නිමේෂය කදිම නිමේෂය යැයි හගින පකිස් බූරුවෙකුත් මොවුන්ගේ අඩු වැඩියට සිටීම උත්ප්‍රාසජනකබාවය ත්‍රීව කරයි.

ඉහත කී තත්වයන්ට අමතරව මෙතෙක් නොපැවති අමුතු සංකීර්ණ තත්වයක් හෝ වෙනසක් හෝ වාව්මය මැජික් එකක් නැත. රාජ්‍ය නම් අදිකාරීම ව්‍යුහයේ ධාවකයා (Agent ) පමණක් වෙනස් වී ඇත. ඒ අනුව ආණ්ඩුවක් ඇත. විපක්ෂයක් ඇත. වමක් ඇත දකුණක් ඇත. ඒ ඒ පාර්ශවයන්ට තමන්ගේ රුචි අරුචිය මත කඩේ හෝ සුපර් මාකට් යන ඊනියා සිවිල් බුද්ධිමතුන් ඇත. නැවතත් සියල්ල දෙගොඩ බෙදී සක්ස් වී ඇත. ආණ්ඩුව - විපක්ෂය , වම - දකුණ , ක්‍රමය - ක්‍රම විරෝධය, දේශපාලනය යනු මෙයයි. මෙම බයිනරීන් සමස්ථය හෝ ස්වබාවික ලෙස සැලකීම දෘෂ්ටිවාදයයි. පසුගිය කාලයේ ව්‍යාජ ,මතුපිට කැළඹීම් පහවගොස් යළි පැහැදිළි වීමට යම් කලක් ගතවූවා පමණි. ඒ කාලය සහ සිදුවීම් යනු කතුරු ඔංචිල්ලාවේ රවුමකට ගෙවීමට සිදුවූ මිලයි.
ඉදිරියේදී දේවල් තව තවත් සුපැහැදිළි වනු ඇත. නැවත නැවතත් මෙම බයිනරි සුසාදිතයන් සුසර වනු ඇත. වඩ වඩා පිරියම් කෙරෙනු ඇත. එහි නව භූමිකාවන් බිහිවනු ඇත. ඒවා හොබවන දෑත්ද වෙනස් වනු ඇත. එහෙත් සියල්ල සිදුවී අවසන් නැත. නැතහොත් දෘෂ්ටිවාදය යනු සියල්ල නොවේ. සියල්ලට ගත නොහැකි, ඊට ඔබ්බෙන් පවතින ශක්‍යතාවයක් ගැන අපි හැමදාම විශ්වාස කරමු. "විමුක්ති දේශපාලනය" යැයි අප නම් කරන්නේ එම ශක්‍යතාවයයි. එනම් දේශපාලනය අවසන් කිරීමේ දේශපාලනයයි. එම විමුක්ති දේශපාලනික අවකාශයේ විභවය තවමත් දැල්වෙමින් තිබේ.
ඉතින් මහත්වරුනී, මේ කතුරු ඔංචිල්ලාවේ තවත් රවුමකට මිළ කීයද ?

#තැන_තැන_බෝවෙන_කසුකුසුවක් #දේශපාලනය #ආණ්ඩුව #වම #පෙරටුගාමී

21/11/2024

පුනරුදයට පෙරවදනක්...
======================

මාලිමාවේ ජයග්‍රහණයත් සමග " ත්‍රාඩ ප්‍රබූ කල්ලිය " පිළිබඳ ප්‍රවාදයද අවසන් විය. එහි තේරුම සතුරා මිය ගොස් ඇත යන්නයි. නැතහොත් අනේකත්වය ( Otherness ) අවසන් වී ඇති බවයි. දැන් අලුත් සතුරෙකු සොයා ගත යුතුව ඇත. එය රාජපක්ෂ රෙජීමයට තරම් මාලිමා රෙජීමයට පහසු නැත.

රාජපක්ෂවරුන්ට හැමදාම අතිශය තීරණාත්මක සතුරෙකු සිටියේය. එය එක්කෝ දෙමළ ත්‍රස්තවාදය ය. නැතහොත් මුස්ලිම් අන්තවාදයය. මෙකී ප්‍රවාද රාජපක්ෂවරුන්ගේ අඛණ්ඩ මැතිවරණ ජයග්‍රහණයෙහිලා අතිශය තීරණාත්මක විය. ඔවුන්ට " රට බේරා ගැනීමට ඇති අවසන් අවස්තාවක් " හැමදාම තිබුණි. මෙම මනරම් ටැග් ලයිනය ටොයියන් විසින් කෙතරම් ජෝක් කලද ගෝඨාගේ ජයග්‍රහණයෙන් පසු කොවිඩ් වසංගතය තෙක්ම එය දකුණේ ජන මනස කිති කවන්නට සමත් විය.

එවැනි බලගතු සතුරෙකු මාලිමා රෙජීමයට සොයා ගැනීම අතිශය දුෂ්කරය. ඒ මාලිමා ජයග්‍රහණය එතරම්ම " පරිපූර්ණ " එකක් නිසාය. ඔවුන්ගේ ජයග්‍රහණය කිසිවක් බැහැර කර නැත. සියල්ල අවශෝෂණය කර ඇත. ( මෙය ලැකැනීයානු Not All සමග පටලවා නොගන්න ) එහෙයින් තවදුරටත් සතුරෙකු පිළිබඳ ප්‍රවාද ගොඩනැගීම එතරම් පහසු නැත.

එනිසා දැන් ඔවුන්ට ඉතිරිව ඇති එකම මග " ජනතා අබිලාශ " ඉටු කිරීමේ මගයි. කෙටි කලකින් ආපසු ගෙදර යනවාද නැතහොත් දිගටම රැදී සිටිනවාද යන්න තීරණය වන්නේ මෙම ඊනියා ජනතා අබිලාශ ඉටු කිරීමේ අබියෝගය ජය ගන්නා ප්‍රමාණයටය. එහි කූටප්‍රාප්තිය අතිශය දියුණු සංවර්ධිත රටකි. එය ජනාධිපතිවරයාගේ වචනෙන් කියනවානම් රටේ දියුණුව එයාර්පෝට් එකෙන් මැනිය හැකි රටක් නිර්මාණය කිරීමය. මාලිමාවියානු පුනරුදයේ සැබෑ අරුත එයයි.

දිනෙන් දින ගුණාකාර ක්‍රමයට සාමාජික සංඛ්‍යාව වැඩිවන, මාලිමාවට උපදෙස් දෙන්නන්ගේ සංගමයේ , " කුඩා විකල්පයක් වෙනුවෙන් මාලිමාවියෝ " කැටගරියේ බුද්ධිමතුන්ට තමන්ගෙ කෝවට දා සාදාගත් පුනරුද අච්චු කොතෙක් තිබුණත් මාලිමා රෙජීමයට අනුව පුනරුදය නම් පුනරුදයයි. එය නිශ්චිත හැගවුමකි. මෙහි අග්‍ර ඵලය තාර්කික සාමාජයකි ( Rationalized society ).තාර්කික සමාජයක මිනිසා යනු විශාල දැනුමක් දරාගත් තාර්කික මිනිසෙකි.එනම් ඊනියා දියුණු මිනිසායි. එවිට ඈත තඹුත්තේගම ගැමියෙකුට පවා බුලත් විටක් කා පොළවට කෙල ගැසීමට පෙර දෙවරක් සිතා බලන්නට සිදුවනු ඇත. මේ මිනිසා යනු කිසිලෙසකින්වත් මාක්ස්ගේ මිනිසාවන " වාර්ගික ජීවියා " (Species Being ) නොව එහි ව්‍යුක්තකරණයකි.

මාලිමාව මහජන අනුමැතිය ඉල්ලුවේ මෙකී ඊනියා දියුණු මිනිසා ගොඩනැගීමටය. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ මුක්‍ය ටැග් ලයිනය " පුනරුද යුගයක් " වන්නේ එනිසාය. එයට දැන් මහජන අනුමැතිය ඕනෑවටත් වඩා ලැබී ඇත. දැන් එළඹ ඇත්තේ එම මහජන අබිලාශ ඉටු කිරීමේ මොහොතයි. මාලිමාව තමන්ගේ කෝවට දමා ගැනීමට හෝ තමන්ට ඕනෑ තැනට හීලෑ කරගැනීමට කවුරු කොහොම අහිංසක හීන දුටුවත්, මෙම " මහ ජනතාව " නමැති බූත බලවේගයේ දැක්මට ( Gaze ) පිටින් වැඩ කිරීම මාලිමාවට කල නොහැක. මන්දයත් එහි පලවිපාකය පහත ජායාරූපයේ උඩ යට මාරු වීම බව ඔවුන් හොදින් දන්නා නිසාය.

පුනරුද යුගය ගොඩනැගීමෙහිලා මාලිමා රෙජීමයට ඇති පහසුම ක්‍රමවේදය අපට අනුවනම් ඉවෙන්ට් පොලිටික්ස්‍ ය. ඒ සදහා දැනටමත් ඔවුන්ට ආකර්ශනීය ඉවෙන්ට් කීපයක් ඇත. හොරු ඇල්ලීම, රටම ඩිජිටල්කරණය කිරීම ( තාර්කික සමාජයක් ගොඩනැගීමෙහිලා ඩිජිටල්කරණය කදිම ව්‍යාපෘතියකි. මෙයට අදාල අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා යටතේම තබා ගැනීමෙන් ඔවුන් එයට තබන බර මොනවට තේරුම්ගත හැක ) , ජාතික සමගිය ගොඩනැගීම ඉන් කැපී පෙණෙන ඒවාය. මේ සදහා අති දක්ෂ ඉවෙන්ට් මැනේජර්ස්ලා ඔවුන් සතුව සිටී. මේ ඉවෙන්ට්ස් සදහා මනරම් ටැග් ලයින දැමීමට ඔවුන් දනී." Clean Sri Lanka " දැනටමත් ඇති සිත් කාවදිනසුලු ටැග් ලයිනයකි.

මධ්‍යම පංතිය චූන් කිරීමට මේවා බෙහෙවින් ඉවහල් වේ. ආර්ථික ක්ෂෙත්‍රයේදී IMF සමග ඉදිරියට යාම ආදී රනිල් කැපූ පාර අත් නොහරින නිසා හදිසියේ ඊනියා ආර්ථික කඩාවැටීම් ගැනද එතරම් බිය විය යුතු නැත. හිසරදයක් වීමට නියමිතව ඇත්තේ උපදෙස් දෙන්නන්ගේ සංගමයේ අනවරත මෝඩ මැදිහත්වීම් ය. එහෙත් මාලිමා රෙජීමය මෙහෙයනු ලබන්නේ ජවිපෙ සී සී එක ( මධ්‍යම කාරක සබාව ) නිසා ,එවැනි අනවශ්‍ය කරදර සීමාව ඉක්මවා පැමිණෙන්නේනම් ඒවා විසදා ගැනීමට අදාල ඔවුන්ටම ආවේනික ක්‍රම ඔවුන් සතුව පවතී.

රාජපක්ෂ රෙජීමයට සතුරන් මෙන්ම මිතුරන්ද සිටියේය. ඒ රාජපක්ෂවරුන්ගේ කක්කත් සුවදයි කීමට පවා නොපැකිලුනු සිවිල් සමාජ බුද්ධිමතුන්ගෙන් සැදුනු චෞර වළල්ලයි. නලින්ද සිල්වාගේ සිට මොහාන් සමරනායක දක්වා මේ නාමාවලිය දිගු විය.ඉදිරියේදී මාලිමා රෙජීමයටද විශාලතම ශක්තිය වීමට නියමිතව ඇත්තේ ඉහත කී සිවිල් සමාජ ක්‍රියාකාරී වළල්ලට වඩා බලගතු සිවිල් බුද්ධිමතුන්ගේ ක්‍රියාකාරී වළල්ලක් මාලිමා රෙජීමය වටා නිර්මාණය වීමේ පෙරනිමිති පහළ වී තිබීමයි.

මොවුන් දැනටමත් මාලිමාවට එරෙහිව නැගෙන විවේචන කිච කිරීම අරඹා ඇත. මොවුන්ට අනුව දැන් ලෝකය කැරකෙන්නේ මාලිමාව වටාය. එනිසා සියල්ලෝම එක්කෝ මාලිමාව වැළදගත යුතුය. නැතහොත් තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ සිටිය යුතුය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජන්දය නොඉල්ලිය යුතු යැයි කරලියට ආ දාර්ශනික අණතුරු ඇගවීමෙන් හා කිච කිරීමෙන් මෙය හොදින් තේරුම්ගත හැක. ඒ අනුව මාලිමාව විවේචනය කිරීම යනු තමන් ලැජ්ජාවට පත්වීම හෝ කිච වීමට නියමිත දෙයක් දක්වා විරුද්ධ මත දැරීම පිරිහෙලෙනු ඇත.

අතිශය ලිබරල් බුද්ධිමතුන් පවා දැන් දැන් මාලිමාව තොරොම්බල් කිරීමට පටන්ගෙන ඇත. ඇතැම්හු දැනටමත් සංවිධාන පවා ගොඩනගාගෙන ඇත. මේ සිවිල් බුද්ධිමතුන්ට අනුව " රට ගොඩනැගීමට " අදාල ඉතිහාසයේ ස්වර්ණමය අවස්තාව දැන් එළඹ ඇත. රාජපක්ෂවරු බලයට ඒමත් නලින්ද සිල්වාට අනුව " රට ගොඩනැගීමට " ( මේ සදහා ඔවුට වෙනම අර්ථයක් තිබුණි ) ඇති ඉතිහාසයේ ස්වර්ණමය හා අවසන් අවස්ථාව විය. එනිසා රාජපක්ෂ රෙජීමය කෙතරම් නීච වුවත් එය රැක ගැනීම ඔහුගේ පළමු කාර්ය විය.

දැන් එළඹ ඇත්තේ එකී ඉතිහාසය රිපීට් වීමේ මොහොතයි. මාලිමාව මොන කුණු හරුපය කලත්, එය ඉවසා සිටීම හෝ එහි නිරවද්‍යතාවය දාර්ශනිකව පෙන්වා දීමට ( මහින්ද පතිරණ සිහියට නගා ගන්න ) ඔවුන්ට සිදුවනු ඇත . ඒ කිනම් තත්වයක් යටතේ වුව මාලිමා රෙජිමය රැක ගැනීම මෙම සිවිල් බුද්ධිමතුන්ගේ පළමු කාර්ය වන නිසාය.

රටම එකම දෘෂ්ටිවාදයකට ගෙන ඒම මොවුන්ගේ කාර්යභාරය වනු ඇත. මොවුන්ගෙන් සාතිශය බහුතරයක් දෙනා තවමත් නම කිලිටිකර නොගත්, යම් සංකේත බලයක් හිමි විශ්වවිද්‍යාල බුද්ධිමතුන් බැවින් මෙම සිවිල් ක්‍රියාකාරී වළල්ල ඉදිරියේදී මාලිමා රෙජීමය රැකගැනීමේ විශාල බලයක් බවට පත්වෙනු ඇත. 14-15 සියවස්වල මතුව ආ නූතනත්ව ව්‍යාපෘතියේ මූලික ලක්ෂණයක් නම් රාජ්‍ය හා සිවිල් සමාජය යනුවෙන් එකිනෙක අන්තර්පෝෂණය වෙමින් වැඩෙන බලාධිකාරි ව්‍යුහයන් දෙකක් ගොඩනැගීමය.මාලිමාවේ ජයග්‍රහණයත් සමග ඉදිරියේදී නිර්මාණය වීමට නියමිතව ඇත්තේ එහි ලාංකීය මොඩලයයි.

අප ඉහත කී පරිදි මාලිමා රෙජීමය මෙහෙයවනු ලබන්නේ ජවිපෙ සීසී එක නිසා බොහෝ දුරට මෙය චීන ආභාශය සහිත ලාංකීය මොඩලයකි. ලෝකයේ කිසිම අණ්ඩුවකට නැති බලගතු අමතර වාසියක් මහජන චීන සමූහාණ්ඩුවට තිබේ. ඒ චීන කොමියුනිස්ට් පකෂය චීන ආණ්ඩුව පිටුපස බලගතු හස්තයක් ලෙස සිටීමයි.විරුද්ධ මතදාරීන් යනුවෙන් හැගවුම්කාරකයක් චීන බාෂාවේ නැත්තේ එබැවිණි.

දෘෂ්ටිවාදය රජයන සමාජයක පහළ පන්තීන් යනු මධ්‍යම පංතියේ ආශාව රගදක්වන්නන් බැවින්, අමතර බාහිර කරදරයකින් ( කොරෝනා හෝ ත්‍රස්ත ප්‍රහාර ) තොරව මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් එහි කූටප්‍රාප්තිය වනු ඇත්තේ රටම සිවිල් සමාජයක් වී ඊනියා ජනවරම රැකගැනීම වෙනුවෙන් මාලිමා රෙජීමය මෙහෙයවීම හා එය රැක ගැනීමේ තත්වයක් නිර්මාණය වීමයි. එවැනි තතු යටතේ මාලිමා නොවන වාමාංශිකයින්ට දේශපාලනය කියා කරන්නට දෙයක් ඉතිරි වන්නේ නැත. ඊට ප්‍රධාන හේතුව මෙම ඊනියා ජනවරමේ අන්තර්ගතය යනු වාමාංශිකයින්ට ප්‍රතික්ෂේප කල නොහැකි එකක් නිසාය.

කෙසේ හෝ සියල්ලට පසුත් එක් දෙයක් දෙයක් ඉතිරිවන බවනම් අපි දනිමු. අපේ පෙනී සිටීම ඒ ඉතිරිවන එක් දෙය වෙනුවෙනි. මිනිස්සුන්ට තමන් ගොඩ නගා ගත් පැවැත්ම පිළිබඳව සන් සුන් සිතින් සිතීමට දිනයක් උදාවනු ඇත. අප මේ කතා කරනා එක් දෙයෙහි අර්තාන්විතභාවය පසක් වන්නේ එදිනය. අනාවැකි කීමට අප දෛවක්ඤයින් නොවෙමු. දේවල් සිදු වන්නේ දයලෙක්තිකවය. මෙයට අදාලව ගොඩනැගෙන දයලෙක්තික සම්බන්ධය ඒ දෙසට නැඹුරු වී තිබීමනම් අතිශය පැහැදිළි ය. එනිසා අපේ දේශපාලන කියවීම ලියා තැබීම දැනට සෑහේ.

මහ රූස්ස ගස් පවා දරට කැපෙන යුගයක අප කුඩා කණ්ඩායමක් බව සැබෑවකි. එහෙත් දෘෂ්ටිවාදය යනු සියල්ල නොවේ. ( Not All ) මාලිමා පාලනය යටතේ වුව ධනවාදය ( පුනරුදය ) ගොඩනැගෙන්නේ ඉන් බැහැර කරන යමක් එහිම නොපෙණෙන කේන්ද්‍රය කරගෙනය. තාර්කික සමාජයක් ගොඩනැගෙන්නේ ව්‍යුක්ත පුරවැසියන්ගෙන්‍ ය. ඉන් බැහැර කරනු ලැබෙන්නේ සැබෑ මනුෂ්‍යාවය. නැතහොත් වාර්ගික ජීවියාවය. මෙකී සත්තාවේ තැන සිටගැනීම ( Standing Point ) අපට අනුව විමුක්ති දේශපාලනය යි. එනම් ව්‍යුක්ත පුරවැසියා යළි තමා තුළට කැදවා ගැනීමයි. " මහජනතාව " නැමැති බූත බලවේගය පලවා හරින යාතු කර්මය එයයි.

මාක්ස්ගේ මූලික ප්‍රවාදයක් නම් සිවිල් සමාජයට එරෙහිව මිනිස් සමාජයයි.එනිසා සියල්ලෝ ප්‍රගතිශීලීන් වීමට නියමිත අනාගතේ යම් දවසක අපි " ප්‍රතිගාමීත්වය " තෝරා ගැනීමට බිය නොවන්නෙමු.


#තැන_තැන_බෝවෙන_කසුකුසුවක් #දේශපාලනය #ආණ්ඩුව #වම #පෙරටුගාමී

03/09/2024

පහත ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න...

Topic: ෙද්ශපාලනය යනු කුමක් ද?
Time: Sep 5, 2024 07:30 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/82575766127?pwd=robwJpFF0KOGz0gUrTKdhTCQgrb2ZU.1

Meeting ID: 825 7576 6127
Passcode: 970119

Want your organization to be the top-listed Government Service in Galle?
Click here to claim your Sponsored Listing.

Address


Galle
80000