Sama Vihara
04/03/2022
සන්නස් පත්‍රය පිළිගැන්වීම මාර්තු මස 06 වන දින ඓතිහාසික මහනුවර මංගල උපෝසථාගාරයේදී සිදුකිරීමට නියමිතව ඇති අතර පිළිගැනීම හා උපහාර දැක්වීමේ උත්සවය අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය තුමාගේ සහභාගිත්වයෙන් BMICH හි
මාර්තු මස 20 වන දින සවස 2.30ට සිදු කිරීම ට නියමිතව ඇත ...
31/01/2018
2018.01.31 දින ලංකාදීප පුවත් පතෙහි පළ කළ පොහොය ලිපිය
කම් සැපයට ගිජුවීම දුක උරුමකර ගැනීමකි.
පුප්ඵානි හේව පචිනන්තං - බ්‍යාසත්ත මනසං නරං
සුත්තං ගාමං මහෝඝෝව - මච්චු ආදාය ගච්ජති
(ධම්ම පදය - පුප්ඵ වග්ගය)
කම් සැපයෙහි ඇලුනාහු නොතිත් සිතින් දුක් සහිතව මිය යති.
තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් සදහා දේශණා කොට ඇති ධර්මය ඉතා සුමටව ධාරණය කර ගැනීම සදහා විවිධ දේශණා ක්‍රම භාවිතා කොටගෙන ඇති ආකාරය ඉතා ප්‍රකට වූවකි. වඩාත් හොදින් තේරුම් කරලීම සදහා විවිධ උපමා උපමේය භාවිතා කරමින් සිදු කරන ලද දේශණා ත්‍රිපිටකය පුරා දක්නට ලැබෙනවා මතු නොව බොහෝ විට එම සූත්‍ර නම් කොට ඇත්තේද එම උපමා රූපක නමිනි. බොහෝ ගැඹුරු දහම් කරනු ඉතා සරළව තේරුම් ගත හැකි අයුරින් ප්‍රකාශිත ධම්මපදය නම් වූ බොදුණුවන්ගේ අත් පොතෙහිද බොහෝ දේශණා සදහා යොදා ගත් උපමා රූපක දැක ගත හැකිය. එම බොහෝ උපමා එදා සමාජයෙහි බෙහෙවින්ම මහ මඟ ගමන් කිරීමේදී නිරායාසව දැකගත හැකිවූ වස්තුන් බවද නොඅනුමානය. එහිදී සාමාන්‍ය පරිසරය තුළ දක්නට ලැබෙන තුරු ලතාදිය මතු නොව විවිධ පුෂ්පයන් ආදී බොහෝ සුන්දර දෑ උපමා වශයෙන් භාවිතා කොට ඇති අයුරු දැක ගත හැකි වේ. ධම්මපදයෙහි පුප්ප වග්ගය එසේ උපමා වශයෙන් මල් භාවිත කොට ගෙන ධර්මය ප්‍රකාශිත විශේෂ පරිච්ජේදයක් ලෙස සදහන් කළ හැකි අතර ඉදිරියේදී ඉදිරිපත් කරනුයේ එම ධර්ම කරුණු බව සදහන් කළ යුතුව ඇත.
ඒ අනුව ඉහත ගාථා ධර්මයෙහි ඇතුළත් “පුප්ඵානි පචිනන්තං ඉව” යන පාඨයෙන් දැක්වෙන උපමාවෙන් මල් හා මල් රැස්කරන්නෙකු උපමා කොටගෙන කරුණු දක්වනු ලැබේ. සුපිපුණු විවිධ ගුණ සුවදින් යුතු මලින් ගැවසුණ අලංකාර උයනකට පිවිසෙන මල්කරුවෙකු මල් එක්රැස් කිරීමේදී අමන්දා නන්දයට පත්වන්නේ මතුනොව ඒවාට විවිධ අයුරින් ඇලුම් කෙරේ. ඇතැම් ගසක සුපිපුණ කුසුම්හී සුවදවත් බව, තවත් ගසක මනාව සුපිපී බව මෙන්ම තවත් ගසක හෝ වැලක පිපි කුසුම් හී පැහැය පමණක් නොව කල් තබා ගැනීමේ හැකියාව ආදී විවිධ ගුණයන් මෙන්ම ශක්තින් පිළිබද සිතමින් විවිධ වූ පූෂ්පයන් පිළිබදව ඇලෙමින්, ගැලෙමින් නොසැහීමට පත්ව ක්‍රියා කරනු ලැබේ. එමෙන්ම එසේ සුපිපී පුෂ්පෝද්‍යානයක් බදු රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ යන පඤ්ච කාම සම්පත් ගුණයන් සදිසි උයනට පිවිසි පුද්ගලයාද ඒ ඒ කම් සැපයන්හි ගුණ විදින්නෙකු මතු නොව දකිමින් ලබන ලද සම්පත් හී නොසෑහිමකට පත්ව අරමුණු වල ඇලෙමින් ගැලෙමින් සිටින්නේ මරු මුවට පත්ව අපායගාමි වන බව සදහන් වේ. “බ්‍යාසත්ත මනසං” යන්නෙන් හදුන්වන්නේ එසේ පස්කම් සැපයෙහි බෙහෙවින් ඇලුන සිත පිළිබදවය. “මහෝඝෝ” යන්නෙන් ප්‍රකාශ වන්නේ මහා සැඩපහර හෙවත් මහා ජල පහරය. එය මහා ගංවතුරක් යැයි සදහන් කිරීම තේරුම් ගැනීමට වඩාත් පහසු වනවා මතු නොව එහි ස්වාභාවය වන්නේ ගොඩ බිම ඇති අප්‍රාණිකවූත් සප්‍රාණිකවූත් සියල්ල මුහුදට ගසාගෙන යාමේ ප්‍රවණතාවයයි. සසර ස්වාභාවයද මෙබදු වනවා මතු නොව එය අතිශය බියජනක වනවා මෙන්ම සංඛ්‍යාත්මකව එය දක්වා ඇත්තේ “සිව් ඕඝය” නමිනි. මෙසේ වූ සාංසාරික සැඩ පහරින් ආරක්ෂාවීම සදහා පුෂ්පෝපමාවකින් සිදු කෙරෙන මනා දිරිගැන්වීමක්ද මෙහි ඇතුළත්ව ඇති බව සදහන් කළ යුතුය. “කුසලෝ පූප්ඵං ඉව” යන්නෙන් එය දක්වා ඇති අතර එහි ඇතුළත් වන්නේ දක්ෂ මල් කරුවෙකු සුපිපී කුසුමන්ගෙන් ගැවසීගත් මනරම් මල් වත්තකට පිවිස තම හැකියාවන් අනුව ඊට අනාලයව විවිධ මල් වර්ග ඉතා මැනවින් තෝරා බේරා ගනිමින් අතිශය ගුණාත්මක මල් පමණක් එක්රැස් කරන බවය. එහිදී නොපිපි කුසුම් කෘමින් විසින් හානි කරන ලද කුසුම් මෙන්ම පිපි පරවීමට ලක්වෙමින් පවතින කුසුම්ද ඉවත් කොට පැහැයෙන් සුවදින් සුපිපී කුසුම් පමණක් එක් රැස්කර ගන්නා බව දක්වා තිබේ . මෙම තෝරා ගැනීම සිදුකළ හැකි වන්නේ “සේඛ” නම් වූ තෙවදෑරුම් ශික්ෂණයෙන් ශික්ෂිත වූ සුවිශේෂී පුද්ගලයන්ට පමණක් බව මෙහිදී අවධාරණය කෙරේ. එහිදී කුණුපයන්ගෙන් හටගෙන කුණුපයන් වගුරණ සිදුරු වූ බදුනක් බදු එකළොස් ගින්නකින් දැවෙමින් පවතින ශරීරය පෙණ පිඩක් මතු නොව මිරිගුවක් වැනියැයි තේරුම් ගැනීම අයෝග්‍ය මල් තෝරා ඉවත දැමීමට සමානය. එසේ ජීවිතය යථාර්තවාදීව තේරුම්ගෙන ක්‍රියා කරන්නෝ සසර ඕඝයෙන් මිදෙන්නේ මතු නොව පස්කම් සුව සදිසි පුෂ්පයන්හි සිත් අලවා නොසැහිමට පත්ව එහි ඇලිගැලී සිටින්නෝ නිදිගත් ගමක් මහා ගංවතුරකට හසුව මහ සයුරට ඇද හෙළන්නාක් මෙන් කෙළෙස් නින්දේ සිටියදීම අපායට ඇද හෙළන බව මෙම දම් දෙසුමෙන් අවධාරණය කොට තිබේ.
මෙම ධර්ම දේශණය විඩූඩභ නම් රජ කෙනෙකු අරමුණු කොට දේශණා කොට ඇත්තේ මතු නොව එය වාර්ගික ගැටුමක් නිසා සිදුවූ මහා ව්‍යසනයක් පිළිබද ඛේදනීය සිදුවීමකි. බුද්ධ කාළිනව නිරන්තරයෙන්ම භික්‍ෂුන් වහන්සේලාට ඉතා සංවිධානාත්මකව දන් පැන් දුන් දෙපළක් ලෙස අනේපිඩු සිටුතුමා සහ විසාඛා මහා උවැසිය පිළිබදව සදහන් වේ. මේ පිළිබද කොසොල් රජතුමාට කිසියම් දොම්නසක් පැවතියේ මතු නොව තම මාළිගයටද වැඩමවා දන් පිළිගන්නැයි බුදුපාමොක් මහා සඟනට ආරාධනාවක්ද සිදුකෙරිණි. බුදුරදුන් එම කාර්ය අනඳ තෙරුන්ට පවරන ලදුව භික්‍ෂුන් සමග රජ මැඳුරට වැඩමවා දන් පිළිගන්නා ලදහ. මෙසේ කාලයක් ගත වූයේ ඒ සදහා වූ රජුගේ අවධානය අඩුවීම නිසා රජ මැදුරෙහි දන් වැට අසංවිධිත වූයේ මතු නොව ක්‍රමයෙන් භික්‍ෂු පිරිස නොපැමිණියේ අවසන අනඳ තෙරුන් පමණක් රජ මැදුරට වැඩමවීම සිදුවුනි. වත්මන් දේශපාලකයන් මෙන්ම කොසොල් රජුද තමන්ගෙන් සිදු වූ නොසැළකිල්ල, සැළකිල්ලට නොගත්තේ මතු නොව බුදුරදුන් හමුවේ සගුන් නොවැඩීමට හේතු විමසීය භාග්‍යවතුන් වහන්සේද සඟුන්ගේත් වරදක් නොදුටුයේ රජුගේ වරදද නොපවසමින් තමන් වහන්සේගේ භික්‍ෂු පිරිසත් රජතුමා අතරත් පවතින දුරස්ථ සබදතාව නිසා එසේ විය හැකියයි දේශණා කළහ. එසේ වුවත් ශාක්‍ය වංශය හා තමන් අතර පවතින නොනෑකම මේ සදහා හේතු විය හැකියැයි සිතූ රජු භාග්‍යවතුන් වහන්සේ සමග සමීප ඥාතිත්වයක් ඇති කර ගැනීමේ අදහසින් ශාක්‍ය කුමාරියක සමග විවාහ වී ඇය අග මෙහෙසිය කරගැනීම සදහා සුදුසු කුමරියක් තෝරා ගැනීමට ශාක්‍යන්ට පණිවුඩ යැවීය. මහත් මාන්නාධික ශාක්‍යයෝ එයට අකමැති වුයේ නමුදු උපක්‍රමිකව රජුගේ අදහස සපිරීමට ක්‍රියා කළහ. ඒ අනුව අමිතෝදන රජුගේ පුත් මහානාම ශාක්‍ය රජුගේ දියණියක ලෙස දාසියකගේ කුස ඉපිද වියපත්ව සිටි වාසභ ඛත්තියා නම් කුමරිය වංචා සහගතව කොසොල් රජුට පාවා දෙන ලද්දේ රජුගේ ප්‍රබලත්වය නිසාය. මෙසේ කොසොල් රජු බිසෝ තනතුරෙහි පිහිටුවා ගත් එම කුමරියගේ කුස උපන් කුමරු විඩූඩභ නම් විය. වයසින් වැඩෙත්ම සිය මව් පාර්ශවයේ ඥාතින් වූ ශාක්‍යයන් දැකීමේ අදහසින් කිඹුල්වතට ගියේ මානාධික ශාක්‍යන්ගෙන් මෙම කුමරාට යහපත් පිළිගැනීමක් නොලැබුණේ මතු නොව හෙතෙම නොතකා හරිමින් හිද ගත් අසුන පවා සෝදා පිරිසිදු කරනා ලද්දේ දාසියගේ පුතු යැයි අවමනට ලක් කරමිනි. තරුණ විඩූඩභ කුමරු තමාට සිදුකළ අපහාසාත්මක ක්‍රියා පිළිබද තොරතුරු දැන ඉතා වෛරීව ශාක්‍යය වංශිකයන් කිසියම් දිනයකදී සමූළ ඝාතනය කොට වනසා දමන්නේමැයි ක්‍රෝධ සහගත තීරණයකට එළඹුනි. අනතුරුව රාජ්‍යත්වයට පමණි විඩූඩභ ශාක්‍යයන් වැනසීමේ ක්‍රියාන්විතයට අවතීර්ණව යුධ වැදීමට තීරණය කරන ලද අතර තම ඥාතින් සමූළ ඝාතනයකට ලක් කිරීමේ දරුණු මෙහෙයුම බුදු නැණින් දුටු භාග්‍යවතුන් වහන්සේ යුධ බිම ආසන්නයට වැඩමවා රුක් සෙවනක වැඩ විසූහ. ඉදිරියට ගමන් ගන්නා රජු භාග්‍යවතුන් වහන්සේ සමීපයට වැඩමවා තොරතුරු සාකච්ජා කරනුයේ ඥාතීන්ගේ සෙවන තමන් වහන්සේට මහත් සිසිලසක් ගෙන දෙන බව පවසමින් යුද්ධයෙහි ඇති කුරීරු බව ප්‍රකාශ කළහ. මෙසේ තෙවරක්ම තම ඥාතින් ආරක්ෂා කරමින් දම් දෙසන ලද්දේ වුවද. විඩූඩභගේ ක්‍රෝධය නොසංසිදුනේ මතුනොව පෙර භවයක තම ඥාති සමුහයා විසින් සිදුකොට ඇති බලවත් අකුසලයක විපාක විදීම නොවැලැක්විය හැකි බව දැන සිව්වෙනි වර යුධබිමට නොවඩින ලදහ. ඒ අනුව කිසිදු බාධාවකින් තොරව ශාක්‍ය සංහාරය ඉතා පහසුවෙන් සිදුකිරීමට විඩූඩභ සමත් වුයේ මතු නොව තම හමුදා බලමුළු සමග ආපසු ගමන් කරනුයේ අචිරවති ගග අසබඩ කඳවුරු බැද යුධ ජයග්‍රාහනයෙන් ඔද වැඩි එදින රාත්‍රියෙහි සුවසේ නිදන්නට වුණි. කිසිවෙකුත් නොසිතු ලෙසින් ගඟ දිය කුරීරුවීමෙන් හටගත් මහා ගංවතුරට හසු වූ රජු ඇතුලු සියලු සේනාවෝ මුහුදු බත් වූහ. තථාගතයන් වහන්සේ මෙම සිදුවීම පාදක කොටගෙන දම් දෙසනුයේ පස්කම් සැපයෙහි ගිජුව කෙළෙස් නින්දෙහි නිදන්නන්ද ඉහත ආකාරයෙන් අපාය නම් වූ මුහුදට ගසා ගෙන යන බව දේශණා කරන ලදහ.
නවම් පුර පොහෝ දිනය වූ අද දිනය ශාසන ඉතිහාසයෙහි වැදගත් සංසිද්ධීන් කිහිපයක් පිළිබදව සදහන් වේ. මහරහතන් වහන්සේලා 1250ක් භාග්‍යවතුන් වහන්සේලා සමග එක්රැස්ව එක් ස්ථානයක එකට වැඩ සිටීම කෙතරම් පුණ්‍යවන්ත වූ අසිරිමත් දසුනක් වන්නේද? සම්බුදු සසුනෙහි එම මහා ප්‍රථම සග සමුළුව පැවැත් වූ දිනය අදවන් දිනයක සිදුව ඇතිවා මතු නොව එහිදී සැරියුතු මුගලන් දෙනම අග්‍රශාවක පදවි වල පිහිටුවා ඇති ආකාරයද සදහන් කෙරේ. ශික්‍ෂා පද පැනවීමකින් තොරව භික්‍ෂු ශික්ෂණය සදහා ඕවාද ප්‍රාති මෝක්ෂය දේශණා කිරීමද මෙදවස සිදු වූ අතර පිරිණිවන්පෑම සදහා වූ කාළය තීරණය කොට ප්‍රකාශ කිරීම නම් වූ තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ආයු සංස්කාරය අත්හැරීම නම් වූ පුහුදුන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් දොම්නසට පත් කළ දුක් සහගත සිදුවීමද සිදු වී ඇත්තේ අද වැනි දිනකය. එසේ එදවස සිදු වූ සිදු වීම් ලෙස වාර්තා ගතව ඇති එම සුවිශේෂී ශාසනික සිදු වීම් අනුස්මරණය කරමින් කොළඹ හුණුපිටිය ගංගාරාම මහා විහාරය මගින් දසක තුනකට වැඩි කාලයක් කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙන පවත්වන නවම් මහා පෙරහෙරද අද දවසේ සිදු කෙරෙන බෞද්ධ සංස්කෘතික මහා කළා මංගල්‍යයකි. මෙම සියලු කරුණු අවධානයට ගනිමින් සාංසාරික මහා ගංවතුරින් අත්මිදීමට උත්සාහ ගත යුතුව ඇත.
කොළඹ 06, හැව්ලොක් සිටි සාමවිහාරාධිපති
අතපත්තුකන්දේ ආනන්ද හිමි..
28/01/2018
නුවරක් සේ සිත සුරැකිය යුතුය.
කුම්භුපමං කායමිමං විදිත්වා - නගරූපමං චිත්ත මිදං ඨපෙත්වා
යොදේථ මාරං පඤ්ඤා වුධේන - ජිතංච රක්ඛේ අනිවේසනෝ සියා
(ධම්ම පදය - චිත්ත වග්ගය)
කයෙහි නියම තතු දැන සිත නුවරක් මෙන් රැක ප්‍රඥා අවියෙන් මරු පරදවාලිය හැකිය.
කය හා සිත පිළිබදව සැබෑ අවබෝධයක් ලබා දීම සදහා අපට ඉතා සමීප උපමාවන් දෙකක් ඉදිරිපත් කරමින් දේශණා කොට ඇති ඉහත ගාථා ධර්මය බොහෝ දෙනා අසා ඇතිවා මතු නොව කටපාඩමින් කිව හැකිවාටද සැකයක් නැත. තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත් ගැඹුරු වූ, අවබෝධය දුෂ්කර වූ, ධර්මය සරළව නොගැඹුරුව ශ්‍රාවකයන්ට අවබෝධ කරලීම සදහා විවිධ උපක්‍රම භාවිතා කරන ලද අතර උපමා උපමේය භාවිතය එහි ප්‍රධාන තැනක් ගනු ලැබේ. ඉහත දේශණයෙන්ද එය මනාව පැහැදිළි වේ. වර්තමානයෙහි කෙසේ වෙතත් පැරණි ජන සමාජයෙහි සෑම නිවසකම නිරන්තරයෙන් ඇස ගැටෙන ගෘහ උපකරණයක් ලෙස මැටියෙන් සැකසු “කුම්භය” හෙවත් කලය පිළිබදව සදහන් කළ හැකිය.“කේන ජලේන උම්භීයති පූරියතීති කුම්භෝ” යන විග්‍රහය පරිදි ජලය පුරවාලනු ලබනුයේ කුම්භ යනුවෙන් සදහන් වනවා මතු නොව බිඳෙන සුළු බවින් යුතු වන්නේ සිරුරෙහිද බිඳෙන සුළු බව හා සිරුරෙහි අස්ථිර බව හැඟවීම පිණිස “කුම්භුපමං” යන්න භාවිතා කොට ඇති අයුරු දැකිය හැකිව තිබේ. “ඉමං කායං” යන්නෙන් මෙම ශරීරය යන අදහස ලබා දෙනවා මතු නොව එබදු වූ ශරීරය නාමකාය, රූපකාය, යනුවෙන් කොටස් දෙකකට වර්ග කොට ඇත. ඉන් ඉහත දක්වනු ලබන්නේ රූපකාය පිළිබදව වූ හැදින්වීමකි. මෙය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත කොට්ඨාශයන්ගෙන් නිර්මිත බව තථාගත දේශණයයි. “කේසාදී සමූහ සංකාතන් කායං” යනුවෙන් දැක්වෙන පරිදි කේසාදියෙහි උත්පත්ති ස්ථානය යන අදහසින්ද යුතුව එහි ස්වරූපය රූපකාය යන්න හැදින්වීම සදහා හේතු වන්නට ඇත. පිළිකුල් සහගත බවද මතු නොව එබදු දෑ සදහා ආකයරක් වන්නා සේම කෙස්, ලොම්, නිය දත් ආදී පිළිකුල් සහගත දෑ හටගන්නා හෙයින්ද ඒවායෙහි සමුහ වශයෙන් පවතින බැවින්ද මෙම නම භාවිතා කෙරේ. එපමණකුදු නොව නව දොරකින් දුගඳ වැගිරීමේ ස්වාභාවයද කරණ කොටගෙන කාය යන හදුන්වාදීම සිදුකොට ඇත. මෙසේ කයෙහි බිදෙන සුළු බව හා නොතිර බව සේම පිළිකුල් බවද මතු නොව කෙටි කාළීන බව සහ ස්වභාව ධර්මයට ඇති අවනතභාවයද අනුව ශරීරය මැටි බදුනක් බදුයැයි භාග්‍යවතුන් වහන්සේගේ පෙන්වාදීම ව්‍යවහාරික ජීවිතයට කොතෙක් සමීපතාවක් දක්වන්නේ දැයි මැනවින් අවබෝධ කරගත හැකිය. “විදිත්වා” යන්නෙන් කියවෙනුයේ ශරීරයේ යථා ස්වාභාවය ඉහත අයුරින් දැන ගැනීමය. සැබැවින්ම එය සාමාන්‍ය දැන ගැනීමක් නොවන අතර ඉන් කියවෙනුයේ විදර්ශනයයි. එනම් වඩාත් හොදින් දැන ගැනීමද මතු නොව විදර්ශනඥාණයෙන් දැකීමය. ශරීරයෙහි ස්වාභාවය මැටි බදුනක් වශයෙන් යථාවාදීව දැකිය හැකිවන්නේ විදර්ශනා ප්‍රඥා මහිමයකින් හෙබි පුද්ගලයන්ටවීම මෙහි ඇති සුවිශේෂීතාවය වේ.
දෙවැනි උපමා රූපකය ලෙස දැක්වෙන්නේ “නගරූපමං” යන්නයි. එයද අපි නිතර දකින සාමාන්‍ය නගරයක් නොවනවා මතු නොව ඉතා මැනවින් ආරක්ෂා කළ අධි ආරක්‍ෂිත නගරයක් විය යුතු බව මින් විශේෂිතව අවධාරණය කොට ඇති අයුරු දක්නට ලැබේ. සොර සතුරන්ට හෝ වෙනත් විනාශකාරී පුද්ගලයන්ට එබදු ආරක්‍ෂිත නගරයක සිය අභිමතයන්ට අනුව ක්‍රියාත්මක විය හැකි නොවේ. එසේම විදර්ශනා ප්‍රඥාව සහිත වූ සිත කෙළෙස් සතුරන්ට ආක්‍රමණය කළ හැකි නොවේ. ඒ අනුව එම සිත සුරක්‍ෂිත නගරයක් හා සමාන වනවා මතු නොව ක්ලේශ ධර්මයන්ට යටත් නොවන අයුරින් සිත පිහිටුවා ගැනීම නගරයක් සුරක්ෂිතව තැබීම හා සමාන වේ. එසේ සුරක්‍ෂිත වූ සිත “ඉදං චිත්තං ඨපෙත්වා” යන්නෙන් කළ යුතු කාර්යය ලෙස දක්වා ඇත්තේ “යොදේථ මාරං පඤ්ඤා වුධේන” ප්‍රඥාව නම් වූ ආයුධයෙන් මාරයාට පහර දිය යුතු බවය. මාරයා පිළිබදව අපේ ත්‍රිපිටක සාහිත්‍යයෙහි දැක්වෙන තොරතුරු අනුව පෙනී යන්නේ සංඛ්‍යාත්මකව පංච මාර සේනාව හැටියට එය දැක්වෙනවා මතු නොව එහි ප්‍රමුඛත්වයෙහි ලා ගැණෙන රාගාදී කෙළෙස් මරු හට පහරදීම මින් ප්‍රකාශිතව ඇත. ප්‍රඥායුධය ලෙස දැක්වෙන්නේ විදර්ශනා මාර්ග ප්‍රඥාව වන අතර එහි කෙළෙස් කැපී යාමේ හා සිදීයාමේ ශක්තිය රැදී ඇති බැවින් ආයුධය නමින් නම් කොට තිබේ. “ජිතංච රක්ඛේ” යන්නෙන් දක්වා ඇත්තේ එසේ දිනා ගන්නා ලද තරුණ විදර්ශනාව ආරක්ෂා කර ගත යුතු ආකාරය පිළිබදවය. සතුරන් පළවා හරිමින් හෝ විනාශ කරමින් ජය ලැබූ ප්‍රදේශය රැකවල් යොදා සුරක්‍ෂිත නොකලේනම් නැවත සතුරන් එහි බලය අත්කර ගන්නා ආකාරය ගෙනහැර පාමිනි. මෙසේ සමාපත්තිය කෙරෙහි අනාලයව තරුණ විදර්ශනාව රැක ගනිමින් මගඵල ලැබීමේ අවස්ථාව උදා කරගත යුතු බව තථාගත නියමයක් සේ දක්වා ඇත.
තථාගතයන් වහන්සේ ජීවමාන සමයෙහි බොහෝ තෙරවරුන්ගේ සිරිතක්ව පැවතියේ උන්වහන්සේගෙන් භාවනා උපදෙස් ලබනුයේ මතු නොව කමටහන් ලබා ඈත ගම දනව් වලට ගොස් විදසුන් වැඩීමය. එසේ කමටහන් ලබා ගත් 500 පමණ භික්‍ෂු පිරිසක් යොදුන් 100ක් පමණ මග ගෙවා එක්තරා සුවිසල් ගම ප්‍රදේශයකට එළඹෙන ලදහ. ගම වැසියන් ඉතා සැදැහැවත් පිරිසක් වුයේ භික්‍ෂුන් වහන්සේලා ඉතා සතුටින් පිළිගන්නා ලද්දේ තොරතුරු විමසන්නේ වස්විසීම සදහා සුදුසු ස්ථානයක් සොයමින් වැඩමවන ලද බව අසා මහත් සතුටට පැමිණියේ විය. වස් විසීම සදහා ඉතා සැදැහැයෙන් යුතුව ආරාධනා කරන ලද්දේ මතුනොව අසළ පිහිටි රමණිය වන ලැහැබක අවශ්‍ය විහාරාංග පිහිටුවා ඉදිරි තෙමස වස් වසා වැඩ වසමින් භාවනානුයෝගීව විසිම පිණිස ආරාධනා කරන ලදි. එම වන ගැබට අදිගෘහිත එක්තරා දේව සමුහයක් වුයේ මතුනොව සුසිල්වත්වූ එම භික්‍ෂුන්ගේ පැමිණීම එම දෙවියන්ගේ නොසතුටට සදහා හේතුවිය. භික්‍ෂු පිරිස බිම සිටියදී තමන් ඉහලින් ඇති දෙව්විමන් හී ගතකිරිම නුසුදුසු ක්‍රියාවක් යැයි සිතා මහත් අපහසුතාවයකට පත් වෙමින් අඩ මසක් පමණ ඉවසා සිටියද භික්‍ෂුන් නික්ම නොයන බව දැන බියකර පළවා හැරීමට අදහස් කරන ලදී. එසේ සිතා එම සෙනසුනෙහි තනි තනිව විදසුන් වඩන භික්ෂුන්ට හිස නැති සිරුරු හා මිනී හිස් ආදියද දක්වන්නේ මතුනොව බිහිසුණු වූ යක් රකුස් හඩද ඇසෙන්නට සැලැස්වීය. විදසුන් වඩනුයේද රහත් නොවූ මෙම පුහුදුන් භික්‍ෂුන් බියට හා තැති ගැනිමට ලක් වුයේ විවිධ රෝගී තත්වයන්ටද පත් වුණි. මෙබදු ගැහැටකාරි පසුබිමක සිත සන්සුන්ව තබා ගැනීමේ නොහැකියාවද ඇති වුයේ කළකිරීමට පත්ව සෙනසුන හැරදමා නැවත බුදුරදුන් වෙත එළඹ තමන්ට මුහුණ දීමට සිදු වූ බියජනක අපහසුතාවයන් ප්‍රකාශ කරන ලදී. භාග්‍යවතුන් වහන්සේ බුදු නැණින් විමසා බලනුයේ සිදුවී ඇති සිදුවීම් දැක නොබියව එම සෙනසුනටම ගොස් සුපුරුදු ක්‍රියාවලියෙහි නිරත වීමට උපදෙස් දෙන ලදහ. එහෙත් බියපත්ව සිටි පුහුදුන් තෙරවරුන් නැවත එහි යාම සදහා සිත සාදාගත නොහැකිව පසුගාමී වුහ. නැවතත් භික්‍ෂුන් අමතන ලද භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි නොබියව එම සෙනසුනට යාම පිණිස ගමන් ඇරඹිය යුතුය. ඔබ පළමු ගමනේදී ගමන්කර ඇත්තේ නිරායුධවය, මෙවර යායුතු වන්නේ ආයුධයක්ද සමග” යැයි දේශණා කරන ලද්දේ මතුනොව මෙත්ත සුත්‍රය හෙවත් කරණියමෙත්ත සූත්‍රය දේශණා කොට සියලු භික්ෂුන්ට උගන්වාලූහ. එපමණක් නොව එය භාවිතා කිරීම පිළිබදවද උපදෙස් දෙමින් මෙම මෙත්ත සුත්‍රය නම් වූ තියුණු ආයුධය හසුරුවමින් එම වන ගැබට ඇතුලු වීම සදහා භික්‍ෂු පිරිස දිරිමත් කරන ලද්දේ විය. අනතුරුව සියලු අනතුරු දුරුව දිව්‍ය ප්‍රසාදය ලබමින් විදසුන් වැඩු මෙම සඟ පිරිස නැවත අධීක්ෂණය කළ තථාගතයන් වහන්සේ මහත් ආලෝකයක් පතුරවමින් ඔවුන් සමීපයෙහි වැඩසිටින සෙයක් දක්වමින් දැඩිවගත් සිත හසුරුවා විදර්ශනා ප්‍රඥාව නම් වූ අවියෙන් කෙළෙස් මරු මැඩලිය යුතු යැයි දේශණා කරමින් භික්ෂුහු රහත් ඵලයෙහි පිහිටුවාලූහ. එදිනෙදා භාවිතා කෙරෙන පිරිත් සූත්‍ර අතර කරණියමෙත්ත සූත්‍රය නමින් බොහෝ දෙනාට මතක ඇතිවා පමණක් නොව පාඩම් ඇති මෙම සූත්‍ර දේශණාවෙහි නිදානය වන්නේද ඉහත සිදුවීමය. අපේ ධර්මයෙහි බොහෝ ගැඹුරු ධර්ම කාරණා ඉන් ප්‍රකාශ වනවා මතුනොව එය අතිශය ආරක්ෂක දේශණයක් වන බවද ඉහත තොරතුරු වලින් පෙනීයයි. තුන්බිය දුරුකර උවදුරු වලින් සුරකින මෙම සූත්‍රය දෙවියන්ගේ මහත් ප්‍රසාදය ඇති වීම සදහා හේතුවන සුත්‍ර ධර්මයක් ලෙස මතකයෙහි රඳවා ගත යුතුව ඇත.
ඇසළ පුර පොහෝ දිනයෙහි පෙරවස් එළඹ වප් පුර පසළොස්වක් දිනයෙහි මහා පවාරණයෙන් පවාරණය වූ භික්‍ෂුන් වහන්සේලා සදහා කඨිනයක් ඇතිරිය හැකිව තිබූ එකුන් තිස් වන දිනයෙහි නිමාව අදට යෙදෙන ඉල් පොහෝ දිනයේදී සිදුවනු ලැබේ. අදින් පසු කිසිදු ස්ථානයක කඨින දානමය පිංකමක් සිදු කළ නොහැකිවා මතු නොව, පසුවස් සමාදන් වූ භික්‍ෂුන් වුයේ නම් අද දිනයෙහි පවාරණය කිරීමද කළ යුතු වේ. ඉදිරියෙහි බුද්ධත්වය සදහා නියමිත මෛත්‍රීය මහා බෝසතාණන් ඒ සදහා විවිරණ ලැබූ දිනය ලෙස ලබන සොම්නස අදවන් දිනක සිදුවන සැරියුත් මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණයට නිසා මහත් දොම්නසක් බවටද පත් වේ. ප්‍රථම රහත් සැටනම ධර්ම ප්‍රචාරය සදහා එළඹීමත් ජටිල දමනය සදහා බුදුරදුන් උරුවේලාවට වැඩම වීමද මතුනොව වස්සාන සමයෙහි අවසන් පුර පොහෝ දිනය වන්නේද අද දිනයයි. ගෙවී ගිය චීවර මාසය තුළ අටමහා පිංකම් හී ප්‍රථම පිංකම් වූ කඨින මහා පිංකමට පමණක් නොව බොහෝ පරිවාර පිංකම් සදහා බොහෝ දෙනෙක් සහභාගී වුවාට සැකයක් නැත. එසේ එබදු පිංකම් හී නියැලීමද මතු නොව අද දිනයෙහි සිදුව ඇති ශාසනික සිදුවීම්ද සිහිපත් කරමින් කෙළෙස් මරු දිනීම සදහා ප්‍රඥා අවිය භාවිතා කළ යුතුව ඇත.
කොළඹ 06, හැව්ලොක් සිටි සාමවිහාරධිපති
-අතපත්තුකන්දේ ආනන්ද හිමි-
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Mayura Place
Colombo