Law Times Now
29/04/2025
ජයවික්‍රම එ. අමරසූරිය (1918)
Jayawickreme v. Amarasuriya (Privy Council, 1918)
(ගිවිසුම් නීතිය - භාරය - ප්‍රතිෂ්ඨාව)
මෙහිදී සිදුවුනේ සහෝදරයෙක් සහ සහෝදරියක් අතර වූ ඉඩමක් සම්බන්ධ ගිවිසුමකි. සහෝදරයාට සහ සහෝදරියට සම අයිතිවාසිකම් තිබූ ඉඩමකින්, සහෝදරියගේ හිමිකම් අතහරින්නේ නම් රු. 150000 ක් ගෙවීමට සහෝදරයා පොරොන්දු විය. ඒ වාරික කිහිපයකිනි. නමුත් පසුව සහෝදරයා වාරික කිහිපයක් ගෙවා, සම්පූර්ණ මුදල නොගෙවා සිටින ලදී. ඉතිරි මුදල ඉල්ලා සහෝදරිය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලදී.
දිස්ත්‍රික් උසාවියේ තීරණය:
පොරොන්දු ගිවිසුමක් ඇති වී තිබෙන බව තහවුරු විය. නමුත් සැබෑ ‘භාර‘ ගිවිසුමක් ඇති වී ඇතැයි හෙළි නොවන බව අධිකරණය තීරණය කරන ලදී. ඒ අනුව පැමිණිල්ල නිෂ්ප්‍රභ විය. එම පොරොන්දුව වලංගු ප්‍රතිෂ්ඨාවක් නොවන බැවින් ගිවිසුමක් ඇති වී නැතැයි තීරණය විය.
අභියාචන අධිකරණය (සිලෝන්):
අභියාචනය ඉවත දමන ලදී. භාර ගිවිසුමක් නැති බව නැවත තහවුරු විය. අභියාචනාධිකරණයේ අවධානය යොමු වුනේ භාරයක් පවතියිද නැද්ද පිළිබඳව ය.
ප්‍රිවි කවුන්සිල තීරණය:
සිලෝන් අභියාචනාධිකරණයේ තීරණයට විරුද්ධව සහෝදරිය එංගලන්ත ප්‍රිවි කවුන්සිලයට අභියාචනය කරන ලදී. එහිදී අභියාචනය විභාග විය. ඉවත දැමුවේ නැත. ඊට හේතු වූයේ,
-ලංකාවට රෝම ලන්දේසි නීතිය අදාල වීම- ඉංග්‍රිසි නීතියේ එන ප්‍රතිෂ්ඨාවට වඩා පුළුල් සංකල්පයක් වූ ‘සාධාරණ හේතුව‘ යන්න රෝම ලන්දේසි නීතියේදී ගිවිසුමක් වළංගු වීම සඳහා ප්‍රමාණවත් ය.
-දේපළ සඳහා හිමිකමක් පැවතීම හෝ, සාකච්ඡා මාර්ගයෙන් සමථ වීමක් තිබීම ම වළංගු ප්‍රතිෂ්ඨාවක් විය හැකිය.
-සදාචාරාත්මක බැඳියාවන් විසින් පොරොන්දුවක් බළගැන්වීමට අවශ්‍ය සහාය ලබා දෙයි.
-දිස්ත්‍රික් අධිකරණය විසින් ‘භාරය‘ යන සංකල්පයට වැඩි අවධානයක් යොමු කිරීම මඟින් මෙම නඩුවේ අනෙකුත් නෛතික ප්‍රශ්න මඟහැරී තිබේ.
යන සාධක මත ය.
ප්‍රිවි කවුන්සිල තීරණය:
පැමිණිලි පාර්ශ්වයට සම්පූර්ණ මුදල ලබාගැනීම සඳහා හැකියාව පවතින බව ප්‍රකාශ කළ ප්‍රිවි කවුන්සිලය මෙම ගිවිසුම සාධාරණ හේතුවක් සහිත වළංගු ගිවිසුමක් බව තීරණය කරන ලදී.
මෙම නඩුවේදී සාකච්ඡා වූ ප්‍රධාන නෛතික සංකල්ප:
ප්‍රතිෂ්ඨාව- (ඉංග්‍රීසි නීතියේදී හුදු සදාචාරාත්මක බැඳියාවන් පමණක් වලංගු ප්‍රතිෂ්ඨාවක් ලෙස ක්‍රියා නොකරයි- Eastwood v. Kenyon)
සාධාරණ හේතුව- (සදාචාරාත්මක යුතුකම්, පරිත්‍යාගශීලීත්වය, මිත්‍රත්වය යනාදී හේතු, ඉංග්‍රීසි නීතියේ එන ප්‍රතිෂ්ඨාවට වඩා පුළුල් සංකල්ප ලෙස රෝම ලන්දේසි නීතියේදී භාවිත වේ)
පොරොන්දුවක වලංගු බව- (අව්‍යාජව ලබාදෙන පොරොන්දුවක් විසින් වලංගු ප්‍රතිෂ්ඨාවක් ඇති කල හැකිය. හිමිකම පිළිබඳව විවදාපන්න අවස්ථාවකදී ද එය වෙනස් නොවේ. - Cook v. Wright )
මෙම නඩු තීරණය මඟින්, රෝම ලන්දේසි නීතිය තුළදී සදාචාරාත්මක යුතුකමක් සහිත පොරොන්දුවක් අවංකව ලබා දෙන්නේ නම්, එමඟින් නෛතික ප්‍රතිපල ඇතිකරන බව පැහැදිලි වේ. එය වඩාත් දෘඩ වූ ඉංග්‍රීසි නීතියේ පවතින ප්‍රතිෂ්ඨාව මෙන් පටු නොවන පුළුල් තත්ත්වයකි.
28/04/2025
සිල්වා එ. මොහමදු ( Silva Vs Mohamadu ) – 1916
19 NLR 426 (ගිවිසුම් නීතිය)
මෙහිදී සළකා බැලුනේ බාලවයස්කාරයෙකු විසින් ඇතිකරගන්නා ගිවිසුමක් නීත්‍යානුකූලව වලංගු ද යන්න සහ, පසුව කරන ලද දෙවැනි විකිණීමකදී ඇතිවන නෛතික ප්‍රතිපල මොනවාද යන්න ය.
වර්ලියානු විසින් 1906 දී තමන්ට අයත් ඉඩමක් මොහමදුට විකුණන ලදී. ඒ වනවිට වර්ලියානු වයස අවුරුදු 19ක බාලවයස්කාරයෙකි. (එවක වයෝපූර්ණ සීමාව 21 ක් විය). 1908 දී ඔහු වයෝපූර්ණත්වයට පත්විය. නමුත් නීත්‍යානුකූලව වැඩිහිටියෙකු වූ පසුව නිසි කාලසීමාව තුලදී මෙම විකිණුම් ගිවිසුම අපරානුමත කිරීම හෝ අවලංගු කිරීම වර්ලියානු විසින් නොකරන ලදී. එවක නීති තත්ත්වය අනුව වැඩිහිටි වයසට පැමිණ වසර 3ක් තුළ බාලවයස්කරු විසින් කළ ගිවිසුම අපරානුමත කිරීම හෝ අවලංගු කිරීම කළ යුතු විය. 1915 දී වර්ලියානු මෙම ඉඩම, නැවතත් සිල්වාට විකුණන ලදී. ඒ පළමු ගිවිසුම අවලංගු කිරීමකින් තොරව ය.
නීතියට අනුව නම්, බාලවයස්කරුවෙකු විසින් එළැඹෙන ගිවිසුමක්, අවලංගු කළ හැකි ( Voidable ) ගිවිසුමකි. එය එනයින් ම අවලංගු ( Void ) ගිවිසුමක් නොවේ. එනම් බාලවයස්කරුට වයෝපූර්ණ වූ පසුව මෙම ගිවිසුම අවලංගු කිරීමේ හැකියාවක් පවතියි. ඒ restitutio in integrum හෙවත් යථා තත්ත්වයට පැමිණවීමේ ප්‍රතිකර්මය ලබාගැනීම සඳහා ය. එහිදී සිදු වන්නේ බාලවයස්කරුවෙකු විසින් තමාට අවාසිදායක ගිවිසුමකට පැමිණ ඇතිනම්, පසුකාලයක එය අවලංගු කොට පාර්ශ්වයන් ගිවිසුම ඇති වීමට පෙර පැවති තත්ත්වයට පත් කිරීමයි. එනම් ගිවිසුමක් ඇති නොවුනා සේ සැළකීම ය. වර්ලියානුට මෙම ප්‍රතිකර්මය ගැනීම සඳහා 1911 වනතුරු කල් තිබුනු නමුත් (වසර 3ක්) එය සිදු නොකරන ලදී. එය සිදු නොකළ නිසා මොහමදුට කළ පළමු විකිණුම නෛතික බැඳීම් සහිත වලංගු එකක් බවට පත් විය. එහෙයින් 1915 දී සිල්වාට දෙවැනි වර විකිණීම සඳහා මෙම ඉඩම කෙරෙහි කිසිඳු නෛතික අයිතිවාසිකමක් වර්ලියානු සතු නොවී ය.
යමෙකු තමන්ට නෛතික හිමිකමක් රහිත දේපළක් විකිණීමේ අයිතියක් නොදරන හෙයින් මෙම දෙවැනි විකිණීම බල රහිත එකක් විය. එහෙයින් සිල්වාට මෙම ඉඩමෙහි හිමිකම නොලැබෙන බව අධිකරණය තීරණය කරන ලදී. මෙම තීරණය තුළින් අධිකරණය අවධාරණය කරන්නේ, බාලවයස්කරුවන් ගිවිසුම්ගත වීමකදී සිදුවන වැරදිවලින් ඔවුන්ව ආරක්ෂා කරන අතරම, වයෝපූර්ණ වූ පසුව කාලානුරූපව ක්‍රියාත්මක වී එම ගිවිසුමෙන් තමන්ව මුදවා ගැනීමේ යුතුකම ද ඔවුන්ට පවතින බව යි. නොඑසේනම් පළමු ගිවිසුම බල සහිත වී, දේපළ විකිණීමක නෛතිකභාවය සුරක්ෂිත කරන බව යි.
මෙම නඩු තීරණය හරහා, ශ්‍රී ලංකා ගිවිසුම් නීතියේදී බාලවයස්කරුවෙකු එළැඹෙන ගිවිසුමක් අවලංගු කළ හැකි එකක් බවත්, වයෝපූර්ණ වීමෙන් පසු නිශ්චිත කාලසීමාවක් තුළ ඒ කෙරෙහි ක්‍රියා නොකරයි නම් එය අපරානුමත වන බවත්, එමඟින් වංචනික ක්‍රියාවකට හෝ නීත්‍යානුකූල නොවන ගිවිසුමකට ඇති ඉඩකඩ වළක්වාලන බවත් පැහැදිලි වෙයි.
Click here to claim your Sponsored Listing.
Category
Address
1
Colombo