SL Eye Doctor

SL Eye Doctor

Share

30/03/2022

හරියට කණ්ණාඩි 𝐟𝐫𝐚𝐦𝐞 එකක් ‍තෝරා ගමු.
⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

කණ්ණාඩි රාමුවක් තේරීමේදී සැලකිය යුතු කාරණා මොනවාද?

කණ්ණාඩි රාමුවක් තෝරනව කියන්නෙ ඇත්තටම challenging වැඩක්. මොකද කණ්ණාඩි රාමු ටිකක් මිලෙන් අධිකයි. ඉතින් තෝරන එක හරියටම තෝර ගන්න වෙනවා. නැත්නම් කණ්ණාඩිය වෙනුවෙන් වැය කරපු මුදල අපරාදෙ වෙනව වගේම කණ්ණාඩිය පැලදීමේ අපහසුතා වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්නත් පුලුවන්.
බොහෝ වෙලාවට කණ්ණාඩි සාප්පුවෙ ඉන්න මහත්වරු/ මහත්මීන් ඔබට ගැලපෙන කණ්ණාඩිය තෝරා ගන්නට ඔබට උපදෙස් දෙමින් සහය වෙනවා. ලොකු අ‍ටුවා ටිකා නැතුව කිව්වොත්, දෘඪ, ශක්තිමත්, සැහැල්ලු හා මුහුණට හොදින් සවිවන කණ්ණාඩියක් තමයි ඔබ තෝරා ගත යුත්තෙ. කොහොම නමුත් ඔබ කණ්ණාඩි ගන්න යද්දි මේ කරුණු ගැනත් සැලකිල්ල දැක්වුවොත් හොදයි.

🔎ඇස් වල පිහිටීම
ඔබේ ඇස් කණ්ණාඩි රාමුවෙ කාච සවි වන කොටසේ මැදට සමරූපී වෙන්න ඕන. එහෙම නැති උනොත් ඔබේ කණ්ණාඩි කාචය ප්‍රිස්මයක් විදියට ක්‍රියා කරන්න පුලුවන්. ඒ කියන්නෙ ඔබ දකින පින්තූරය අවකාශයේ නියම පිහිටීමට වඩා වෙනස් තැනක පේන්න පුලුවන්.

🔎කණ්ණාඩියේ පළල හා ඔබේ මුහුණේ පළල.
කණ්ණාඩිය පැලදුවම එය කනට රදවන රාමුව හා ඔබේ මුහුණ අතර පොඩි ඉඩක් තියෙන්න ඕන. හිරට තියෙන කණ්ණාඩි ගන්න එපා. එසේම ඔබේ මුහුණේ පලල්ම කොටස (ඒ කියන්නෙ කනට වහාම උඩින්) හා කණ්ණාඩියේ පලල්ම කොටස සමපාත වෙන්න ඕන.

🔎ඇහි බැම
ඔබේ කණ්ණාඩි රාමුවේ ඉහල දාරය ඇහි බැමට සමාන්තරව තිබිය යුතුයි. කණ්ණාඩියෙ උඩ දාරය ඇහි බැම හරහට කැපෙන හෝ, ඇහි බැමට සාපේක්ෂව ඉහල හෝ පහල තලයක පිහිටන විදියෙ කණ්ණාඩි ගන්න එපා. ඒක මූණට කැතයි.
අනෙක් අතට ඇහි බැමේ ඝණත්වය හා රාමුවේ ඝනත්වය balance කර ගන්න ඕන. ඔබට තියෙන්නෙ ඝන ඇහි බැමක් නම් තරමක් තුනී රාමුවක් තෝරා ගන්න. ඇහි බැම තුනී නම් ඕකෙම අනිත් පැත්ත.

🔎ශරීර පරිමාව
කණ්ණාඩියේ සයිස් එක ඇඟේ සයිස් එකට ගැලපෙන්නත් ඕන. මබ සිහින් ශරීරයක් ඇත්තෙක් නම් සිහින් රාමුවක් තෝරා ගැනීම තමා හොද

🔎Bridge එක
මේ කියන්නෙ කණ්ණාඩිය නාසය මත රදවනය. ඔබේ නාසය කුඩා නම් පලල් bridge එකක් සහිත කණ්ණාඩියකට යන්න එපා

🔎Eye wire එක
මේ කියන්නෙ කණ්ණාඩිය කන මත රදවනය. සිහින් දිගැටි eye wires ලස්සනයි තමයි. නමුත් කාචය බර නම් ඔබ ඝනකම් eye wire සහිත රාමුවක් තෝරා ගන්න.

🔎කාචය
මේකනෙ ඉතින් වැදගත්ම කොටස. සැහැල්ලු, ප්ලාස්ටික් කාචයක් තෝරා ගන්න. ඒකට Anti reflective coating එකක් දා ගන්න. මේ Anti reflctive coating එකෙන් එලිය යම් පෘෂ්ඨයක් මත වැදිල පරාවර්තනය වෙද්දි ඇසට අපහසු කිරණ කපා වෙන් කරනවා
ඔබ ඩිජිටල් තිර හා නිතර ගනුදෙනු කරන්නෙක් නම් තිරයෙන් එන glare එක අඩු කර ගන්න පුලුවන් filter එකක් ඉල්ලන්න.
ඔබ නිතර එලිමහනේ කාලය ගතකරන්නෙක් නම් අව්වට අදුරු පැහැ වෙන photochromic කාචයක් ඉල්ලන්න.
ඔබට හතලිස් ඇදිරිය හා දුර/අවිදුර දෘෂ්ඨිකත්වය තියෙනවනම්, සාම්ප්‍රදායික Bifocal කාච වෙනුවට progressive addition lens ඉල්ලන්න. එමගින් ඔබට ලඟ, මැදි දුර, දුර ආදී මුලු පරාසයම හොදින් බලා ගන්න පුලුවන්.

වැඩි විස්තර බලා ගන්න අපේ blog එක පැත්තෙත් ඇවිත් යන්න
shorturl.at/lCUV7

09/09/2021

කණ්ණාඩි ගැන දැවෙන ප්‍රශ්න වලට උත්තර හොයමු
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

👓 මට පෙනීම අඩුයි නම්, කණ්ණාඩියක් ගන්න කලින් ඇස් දොස්තර කෙනෙක් හම්බ වෙන්න යන්න ඕනමද? ඇස් කණ්ණාඩි සාප්පුවකින් මට ගැලපෙන කණ්ණාඩිය කෙලින්ම ගන්න බැරිද?

ඇතැම් අයට කිසිම ගැටලුවක් නැතුව කණ්ණාඩි සාප්පුවෙන් කෙලින්ම ගන්න කණ්ණාඩි කුට්ටමෙන් ප්‍රයෝජනය ගන්න පුලුවන්. ඇත්ත.
නමුත් ඔබ මතක තබා ගත යුතු කරුණ වන්නේ, ඇස් පෙනීමේ අඩුව කියන්නෙ කණ්ණාඩියෙන් නිවැරදි කරන්න පුලුවන් refractive error එකක් නොවන්න පුලුවන් වග. කාචයේ සුද, ග්ලූකෝමාව, දියවැඩියාව තත්ත්ව ඇතැම් විට නිහඩව ඔබ අන්ධභාවයට පත්කරමින් ඉන්නවා වෙන්න පුලුවන්. ඉතින් පෙනීම අඩු නම් අක්ෂි වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඉහත කියපු අවදානම් තත්ත්ව පිලිබදව පරීක්ෂා කර ගත්තොත් හොදයි.

👓මට කණ්ණාඩිය හදන්න දීපු තුන්ඩුවෙ තියෙන්නෙ මෙන්න මේ විදියට. මේක මට සරලව පැහැදිලි කරල දෙනවද?

OD) -2.00 -1.00 X 180
OS) -1.50 -1.50 X 180
Add +2.50

ඕකෙ OD කියන්නේ දකුණු ඇස. OS කියන්නෙ වම් ඇස. OU කියන්නේ ඇස් දෙකම.
මුල් අංකයෙන් කියන්නේ දුර හෝ ලඟ නොපෙනීම නිවැරදි කරන්න නියම කරන කාචය. මිනුම ඩයොප්ටර. ඔබට අවිදුර දෘෂ්ඨිකත්වය තියෙනවනම් (-) කාචයක්, දුර දෘෂ්ඨිකත්වය තියෙනවනම් (+) කාචයක් නියම කරල තියෙන්න පුලුවන්.
එතකොට ඊගඟ අගයෙන් කියන්නේ විෂම දෘෂ්ඨිකත්වය සදහා ඔබට පලදින්න වෙන සිලින්ඩර කාචය. බොහෝ රට වල මෙය (-) අගයකින් තමයි සදහන් වෙන්නෙ. එතකොට ඊලඟට තියෙන අංශකයෙන් කියන්නේ සිලින්ඩර කාචයේ බලය යෙදිය යුතු අංශකය. මෙය 0 සිට 180 දක්වා අගයක්.
ඔබට හතලිස් ඇඳිරිය තියෙනව නම් ඊට කෙරෙන නිවැරදි කිරීම තමයි Add යටතේ සඳහන් වෙන්නෙ. මෙය +0.5 සිට +3 දක්වා අගයක්.

👓මොනවද අපිට ගන්න තියෙන කණ්ණාඩි වර්ග?

මූලික වර්ග 3ක් ගැන මම මෙතෙන්දි කියල දෙන්නම්.
💡Single vision glasses- මෙතෙන්දි කණ්ණාඩියෙ තියෙන්නෙ දුර, ලඟ නොපෙනීමට ප්‍රතිකාර විදියට නියම කරන (-) හෝ (+) කාචයක්. එහෙමත් නැත්නම් විSHඅම දෘෂ්ඨිකත්වට නියම කරන සිලින්ඩර කාචයක්.
💡Bifocal glasses- මේකෙ කණ්ණාඩියෙ කාච බලයන් 2ක් තියෙනවා. ඉහල කෙලවරේ ඔබේ දුර, ලඟ නොපෙනීම හෝ විෂම දෘෂ්ඨිකත්වය සදහා වන කාචය තියෙනවා. පහල කෙලවරේ හතලිස් ඇඳිරිය නිවැරදි කරන (+) කාචය තියෙනවා. මේ කාච 2 අතරේ බෙදුම් රෙඛාවක් පේන්න තියෙනවා.
💡Progressive addition lens- මේ කණ්ණාඩි වල දුර, ලඟ, මැදි දුර යන සියලුම දුරවල් එක්වර නිවැරදි කරනවා. කාචයේ බලය ඉහල සිට පහලට ක්‍රමිකව වඩි වේ ගෙන එනවා. නමුත් Bifocal වල වගේ කාච බලයන් වෙන් කරන රේඛාවන් නැහැ. ඒ නිසා භාහිර පෙනුම ගැන හිතන අය Progressive addition කණ්ණාඩි වලට කැමතියි.

👓දැන් තරුණ කාලේ දුර හෝ ලඟ නොපෙනී තිබුන අයෙකුට අවුරුදු 40 දී හතලිස් ඇඳිරියත් ආව කියමු. ඒතකොට එයාට දාන්න පුලුවන් කණ්ණාඩි මොනවද?

ඔය වගේ අයට දෙන්න පුලුවන් විසදුම් 3ක් තියෙනව.
උඩ කියපු bifocal හෝ progrssive addition කණ්ණාඩි තමයි පලවෙනි විසදුම් දෙක.
එහෙම නැත්නම් ඔහුට ලඟට එක් කණ්ණාඩියක් හා දුරට වෙනත් කණ්ණාඩියක් දාන්න පුලුවන්.

👓මම ඔය උඩ කියපු ප්‍රශ්නෙ තියෙන කෙනෙක්. මට අවුරුදු 43දී නියම කරා Bifocal කණ්ණාඩියක්. මම ගුරුවරියක්. මේ කෝවිඩ් ප්‍රශ්නත් එක්ක online teaching පටන් ගත්ත නිසා මට දැන් පරිඝණක තිරය එක්ක ගනුදෙනු කරන්න වෙලා. මේ කණ්ණාඩියෙන් මට පරිඝණක තිරය කියවන්න අමාරුයි. හැබැයි පොතක් කියවන්න. දුර බලන්න එහෙම අවුලක් නෑ. මොකද්ද මේ ප්‍රශ්නෙ?

හරිනෙ. Bifocal කණ්ණාඩියෙන් කෙරෙන්නෙ දුර හා ලඟ පෙනීම නිවැරදි කිරීම විතරයි. පරිඝණක තිරය තියෙන්නෙ අතරමැදි දුරකනෙ. එතකොට ඒ අතරමැදි දුරේ පෙනුම නිවැරදි කරන්න Bifocal කණ්ණාඩි වලට බෑ.
ඔබ වගේ කෙනෙකුට හරි යන්නේ ලඟ, මැදි දුර හා දුර යන මුලු පදාසයම එකවර නිවැරදි කරන Progressive addition කණ්ණාඩියක්. හැබැයි ඔය progressive addition කණ්ණාඩි වල මැදි දුර නිවැරදි කරන්න තියෙන කොටස තියෙන්නෙ කාචයේ මැදට වෙන්න තියෙන ප‍ටු තීරුවක. ඉතින් මේ ප‍ටු ගතිය නිසා සමහරුන්ට ඒත් සමහර අපහසුතා එන්න පුලුවන් මැදි දුර බලද්දි.

👓මුල්ම වරට කණ්ණාඩි දාද්දි අමාරු නැද්ද?

හුඟක් අයට මුල් සති 2, නිකන් අමුතුයි වගේ තමයි. මේ ගතිය විෂම දෘෂ්ඨිකත්වයට දාන සිලින්ඩර කාච එක්ක ටිකක් වැඩියි. කොහොම නමුත් මේ පොසි පොසි අමුතු ගති ඉතා ඉක්මනින් හරි යනවා. තරුණ අය ඉතා ඉක්මනින් මේ වෙනසට අනුගත වෙනවා.
හැබැයි සති 2කට වඩා ඔය අපහසුතා තිබුනොත් නැවතත් ඉක්මනින්ම ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න. ඇතැම් විට ඔබේ කණ්ණාඩියේ කාච බලයන් හෝ සැකසුමේ ගැටලුවක් වෙන්න පුලුවන් දිගටම පවතින අපහසුතාවයට හේතුව.

👓ඉර අව්ව කණ්ණාඩියේ වැදෙද්දි හරි අපහසුයි. මොකද්ද විසදුම?

ආලෝක කිරණ කණ්ණාඩි පෘෂ්ඨය මත පරාවර්තනය වෙන එක වලක්වන්න Anti reflective coating එකක් කණ්ණාඩියට එකතු කරන්න පුලුවන්.

👓අර එලියට යද්දි විතරක් අඳුරු වෙන කණ්ණාඩි ජාතිය මොකද්ද?

Photochromic glasses. ඉර එලියට නිරාවරණය වෙද්දී මේ කණ්ණාඩි ඉබේම අඳුරු වෙනවා. ඉර එලියට නිරාවරණය නොවෙද්දි නැවත සාමාන්‍ය තත්ත්වයට එනවා. ඔබ නිතර එලිමහනට යන අයෙක් නම් ඔබට Photochromic කණ්ණාඩි තමයි වඩා සුදුසු.

👓මම ඔය කියපු ජාතියෙ Photochromic කණ්ණාඩි කුට්ටමක් ගත්තා. හැබැයි ඒක මම අව්ව තිඋයෙන වෙලාවෙ කාර් එක එලවද්දි අඳුරු වෙන්නෙ නෑනෙ. ඒ කියන්නෙ මට drive කරද්දි දාන්න වෙනම sunglass එකෙක් දාන්න වෙයිද?

මෙහෙමයි. හුඟක් අලුත් වාහන වල තියෙන වීදුරු වලින් ඉර එලියේ තිබෙන UV පදාසයේ කිරණ පෙරීමකට ලක් වෙනවා. මේ UV පදාසයේ කිරණ තමයි Photochromic කාච අඳුරු පැහැ වෙන්න මූලික වෙන්නෙ. ඉතින් කාර් එක ඇතුලෙදි අව්ව තියෙන වෙලාවක වුනත් photochromic කාච අඳුරු නොවී තියෙන්න පුලුවන්.
ඉතින් ඔබට drive කරද්දි දාන්න වෙනම අව් කණ්ණාඩියක් දාන්න වෙනව.

👓මගේ අවුරුදු 8 පුතාට කණ්ණාඩි නියම කරපු නිසා කණ්ණාඩියක් අරන් දුන්නා. මෙයා ඒක දාන්නෙම නෑනෙ ඩොක්ට. කැමතිම නෑ. මොකද කරන්න පුලුවන්?

ළමයි කණ්ණාඩි ප්‍රතික්ෂේප කරන්න හේතු ගණනාවක් තියෙන්න පුලුවන්. කණ්ණාඩි වලට හැඩ ගැහෙද්දි තියෙන අපහසුතා වල ඉඳන් පාසලේදී සිදු වල උසුලු විසුලු දක්වා පරාසයක හේතු මේකට බලපාන්න පුලුවන්. හොදම වැඩේ එයාට, එයා කැමති frame එක තෝර ගන්න දෙන්න. මේක තමයි සරලම හා හුඟක් ඵලදායී විසඳුම.

👓දරුවට කණ්ණාඩි දාන්න වෙනව කිව්ව ඩොක්ට. මට බයයි මෙයා මේක කඩා ගනී කියල. දන්නවනෙ දාංගලේ

පොඩි දරුවන්ට හදන කණ්ණඩි හදන්නෙ polycarbanat හෝ Trivex කියන ද්‍රව්‍ය වලින්. වීදුරු වලින් නෙවෙයි. මේවයින් කදන කණ්ණාඩි හොද ප්‍රතිරෝදයක් තියෙනවා කැඩීම් බිදීම් වලට. අනෙක සැහැල්ලුයි.

👓කණ්ණාඩියකට තරමක් මුදලක් යනවනෙ ඩොක්ට. මගේ කණ්ණාඩියේ ආයු කාලය වැඩි කර ගන්න පුලුවන් ක්‍රම මොනවද?

🔹ඔය විච්චූරණ frame ගන්න එපා. ඒ මෝස්තර ඉක්මනටම වනස් වෙනවා. එතකොට ඔබේ කණ්ණාඩිය නිකං outdated වගේ හියෙනවා. ඉතිං සාමාන්‍ය frame එකක් තෝරා ගන්න.
🔹කණ්ණාඩි රාමුව Rim හා කනට තීබෙන ආධාරකය temple අතර spring එකක් තිබෙන frame එකක් තෝරා ගන්න. ඒවායේ නම්‍යශීලී ගතිය වැඩියි.
🔹කණ්ණාඩි කාච වලට සීරීම් වලට ඔරොත්තු දෙන scratch resistance coating එකක් එකතු කර ගන්න.
🔹කණ්ණාඩි මාරු කරන්න වෙන අවස්ථාවන් වලදී කාචය විතරක් මාරු කරන්න. Frame එක මාරු කරන්න එපා. Frame තමයි මිල අධික.

👓කොච්චර කාලයකට පාරක් මම කණ්ණාඩි මාරු කරන්න ඕනද?

ඔබේ කණ්ණාඩියේ අගයන් වෙනස් වන විටදි ඔබ කණ්ණාඩිය මාරු කරන්න ඕන. කණ්ණාඩි පරීක්ෂාව අවුරුද්දකට හෝ දෙකකට වරක් සිදු කරන්න ඕන. ඒක ඔබේ අක්ෂි වෛද්‍යවරයා කියයි.

👓මම දාන බෝතල අඩි වගේ කණ්ණාඩි දෙක මට එපා වෙලා තියෙන්නෙ. වෙන විකල්පයක් නැද්ද ඩොක්ට?

තියෙනවා.
ඔබේ කණ්ණාඩි වරතනාංකය වැඩි high refractive index ද්‍රව්‍යකින් හදාගන්න පුලුවන්. එතකොට කාචය හීනියි. සැහැල්ලුයි.
එහෙම නැත්නම් ඔබට සිවි කාච වලට මාරු වෙන්න පුලුවන්. ඔබ වගේ ඉහල අගයක් තියෙන කණ්ණාඩි කාච දාන කෙනෙකුට එමගින් හොද quality of vision එකක් ලබා ගන්න පුලුවන්.
එහෙමත් නැත්නම් laser LASIK සැත්කමකට යන්න පුලුවන්.
මේ ක්‍රම වලට ඔබ සුදුසුද කියල ඔබේ අක්ෂ වෛද්‍යවරයා එක්ක කතා කරන්න.

පින්තූර සටහන් එක්ක විස්තරාත්මක ලිපිය කියවන්න අපේ බ්ලොග් අවකාශය පැත්තෙ ඇවිත් යන්න
https://bit.ly/3jTns2c

02/07/2021

මීලඟ ගෝලිය උවදුරට ඔබ සූදානම්ද? අවිදුර දෘෂ්ඨිකත්වය ගැන ඔබ දන්නේ මොනවාද?
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

👓 මොකද්ද අවිදිර දෘෂ්ඨිකත්වය කියන්නෙ?

අවිදුර කියන්නෙ ලඟ. ඉතින් අවිදුර දෘෂ්ඨිකත්වය තියෙන අයට ලඟ තියෙන දේවල් හොදට පේනවා. හැබැයි දුර දේවල් පේන්නෙ නෑ.
ඇස් බෝලය පමණට වඩා දිගු වීම, කාචයේ හා කුණිතයේ වක්‍රතාව පමණට වඩා වැඩි වීම වගේ දේවල් නිසා අවිදුර දෘෂ්ඨිකත්වය ඇති වෙන්න පුලුවන්.
මේක් බොහෝ වෙලාවට අවුරුදු 6-15 අතර දරුවන්ට ඇතිවන තත්ත්වයක්. ඊට පස්සෙ වයස්ත් ඒක මේක ටික ටික උග්‍ර වෙලා වයස 20දී විතර ස්ථාවර වෙනවා.
එලිමහනේ කාලය ගතකිරීමේ අඩු කම, ඉතා දිගු වේලාවක් ඩිජිටල් තිර (දුරකථන, ටැබ් හා පරිගණක) නැරඹීම, දිගු වෙලාවක් කියවීමේ නිරත වීම, ගෘහාශ්‍රිත ආලෝක තත්ත්වය මද වීම වගේ දේවල් නිසා මෙම තත්ත්වය ඇටි වෙන්න පුලුවන්. අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙලෙන මවුපියන්ගේ දරුවන්ටත් මේ තත්ත්වය අඩු වයසෙන් ඇති වීමේ අවධානමක් තියෙනවා.

👓 අවිදුර දෘෂ්ඨිකත්වයේ උග්‍ර අවස්ථාවක් තියෙනවද?

ඔව්. කලින් කිව්ව වගේ ඇස් බෝලය ක්‍රමිකව දිගින් වැඩි වෙලා ඇහේ එක්තරා අවස්ථාවක අවිදුර දෘෂ්ඨිකත්වය නිවැරදි කරන්න අවශ්‍ය කාචයේ බලය ඩයොප්ටර 6ට වඩා වැඩි වෙන්න පුලුවන්. ඒ කියන්නෙ උග්‍ර අවිදුර දෘෂ්ඨිකත්වය. මෙතනින් එහාට තවත් ඇස් බෝලය දික්වුනොත් ඊට සමගාමීව ඇහේ ඇතුලෙ තියෙන දෘෂ්ඨි විතානයත් තුනී වෙනවා. තුනී වුන දෘෂ්ඨි විතානය ඉරෙන්න පුලුවන්. එවැනි ඉරීමක් හරහා වතුර ඇතුලට ගියොත් දෘෂ්ඨි විතානය ඇස් බෝලයෙන් ගැලවෙන්නත් පුලුවන්.
මීට අමතරව උග්‍ර අවිදුර දෘෂ්ඨිකත්වයේදී කහ ලපය ආශ්‍රිත වෙනස්කම්, ලේ ගැලීම් සිදු වෙන්න පුලුවන්. මේ වගේ තත්ත්වයක් තියෙන පුද්ගලයන්ට ග්ලූකෝමා තත්ත්වය, අඩු වයසින් සුද ඇතිවීම ආදී අවදානමත් වැඩියි.

👓 කලින් කිව්ව නේද එලිමහනේ කාලය ගත කිරීමේ අඩු කම අවිදුර දෘෂ්ඨිකත්වය ඇතිවෙන්න හේතුවක් කියල?

ඔව්. මේක හුඟක් අය හිතන්නෙ නැති, හැබැයි පහසුවෙන්ම වෙනස් කල හැකි අවදානම් සාධකයක්. සාමාන්‍යයෙන් සතියට පැය 8-15 අතර කාලයක් දරුවන් එලිමහන් ක්‍රියාකාරකම් වල යොදානවනම් ඔවුන්ට අවිදුර දෘෂ්ඨිකත්වය ඇති වීමේ අවදානම අඩු කරගන්න පුලුවන්. ගේ ඇතුලෙමනම් ඉන්නෙ, ගෘහාශ්‍රිත ආලෝකය හොද මට්ටමක තියෙන්න ඕන.

👓 අවිදුර දෘෂ්ඨිකත්වයේ රෝග ලක්ෂණ මොනවාද?

දුර තිබෙන වස්තූන් බොඳ වී පෙනීම
හිසරදය
ඇස් කැක්කුම
ඇස් වලින් කදුළු ගැලීම
නිතර ඇසිපිය ගැසීම
වපරය

👓 ඇයි ඉතින් අවිදුර දෘෂ්ඨිකත්වය ගැන මෙච්චර කතා බහක්? ඇයි මේ තත්ත්වය අනෙක් කණ්නාඩි දාන්න වෙන තත්ත්වයන්ට වඩා විශේෂ?

මෙහෙමයි. අවිදුර දෘෂ්ඨිකත්වය කියන්නේ ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්. දැනටමත් ලෝකයෙන් 25%ට මෙම තත්ත්වය තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්වකථන වලට අනුව 2050දී ලෝක ජනගහණයෙන් 50%ට අවිදුර දෘෂ්ඨිකත්වය තියේවි.
අනෙක් අතට උග්‍ර අවිදුර දෘෂ්ඨිකත්වය එක්ක සබැඳි දෘෂ්ඨිවිතානය ගැලවී යාම, කහ ලපයේ වෙනස්කම්, ග්ලූකෝමා තත්ත්වය නිසා ඉදිරියේදී ලෝකයේ අන්ධභාවය ඇතිවීමේ ප්‍රධානම හේතුව අවිදුර දෘෂ්ඨිකත්වය වෙන්න පුලුවන්

👓 දෘෂ්ඨි පටලයේ ඉරීම කිව්වම ටිකක් බය හිතුනා. කොහොමද එහෙම තත්ත්වයක් අපි අදුර ගන්නේ?

ඇහේ කෑලි, කුරුමිණියො, වලාකුලු පාවෙනව වගේ පේනවනම්, එහෙමත් නැත්නම් අකුණු ගහනව, ලයිට් එලි පත්තු වෙනව වගේ පේනවනම්, එහෙමත් නැත්නම් පෙනෙන පදාසයෙන් කොටසක් එක්වරම නොපෙනී ගියානම්, ඒක දෘෂ්ඨිපටලයේ ඉරීමක් හෝ ගැලවීමක ලක්ෂණයක් වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවක් ඉක්මනින් සුදුසුකම් ලත් අක්ෂි වෛද්‍යවරයෙක් හමුවෙන්න.

👓 අවිදුර දෘෂ්ඨිකත්වය ක්‍රමිකව උග්‍ර වෙන එක පාලනය කර ගන්න විදියක් නැද්ද?

එලිමහනේ වැඩි වේලාවක් ගත කිරීම, ප්‍රමාණවත් ගෘහාශ්‍රිත ආලෝකකරණය, ඉතා දිගු වේලාවක් සමීප ක්‍රියාකාරකම් වල නොයෙදීම, දරුවන් ඩිජිටල් තිර භාවිතා කරන කාලය සීමා කිරීම වගේ දේවල් අපට පහසුවෙන් කරන්න පුලුවන්.

ඊට අමතරව අවිදුර දෘෂ්ඨිකත්වය උත්සන්න වීම වලක්වන විශේෂිත කණ්නාඩි, සිවි කාච හා Atropine යන ඖෂධය ඇසට ගැල්වීම ආදී ක්‍රම තියෙනවා. නමුත් ඒවා ලංකාවේ එතරම් ප්‍රචලිත නැහැ

👓 ඒ උග්‍ර වෙන එක නවත්තන ක්‍රමනෙ. දැනට මට තියෙන අවිදුර දෘෂ්ඨිකත්වය සදහා තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද?

ඔබට කණ්නාඩි, සිවි කාච පැලඳල හොද දුර දෘෂ්ඨියක් ලබා ගන්න පුලුවන්. හැබැයි ඒකෙන් ඇහේ ව්‍යුහාත්මක වෙනසක් වෙන්නෙ නෑ. දුරින් එන ආලෝක කිරණ දෘෂ්ඨි විතානයට නාභිගත කිරීමක් වෙනවා විතරයි.

ලේසර් සැත්කම් මගින් ඇහේ කුණිතයේ පටක කොටසක් ඉවත් කරලා ඔය වැඩේම කරන්න පුලුවන්. ටිකක් වියදම්. හැබැයි කණ්නඩි දාන්න අකමැති අයට හොද විකල්පයක්.

(අපි කණ්නඩි, සිවිකාච හා ලේසර් සැත්කම් ගැන වෙනම කතා කරමු.)

වැඩිදුර විස්තර රූපසටහන් එක්කම බලන්න, අපේ බ්ලොග් අවකාශය පැත්තෙත් ඇවිත් යන්න
https://bit.ly/3qF3Kc4

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo