Sandeepa Jayasekera

Sandeepa Jayasekera

Share

28/02/2026

කොත්මලේ ගැන කතාවක් . . .

දිට්වා සුළි කුණාටුව ඇවිත් මාස 3කුත් වුණා. සුළි කුණාටුවෙන් ලොකුම බලපෑමක් ආපු ගම්වලින් එකක් තමා රම්බොඩ.

රම්බොඩ කියන්නේ අපේ අම්මලාගේ ගම. පොඩි කාලේ අපි හැමදාම බලන් ඉන්නේ ඉස්කෝලේ නිවාඩුව එනකන් ගමේ යන්න. ඉස්සර අපි ගමේ ගියේ අවිස්සාවේල්ල, ගිනිගත්හේන පැත්තෙන්. ගමේ යන්න අපිට කොහොමත් පැය 4ක් 5ක්වත් යනවා.

ඒ යන ගමනේදි ගමට ළං වෙන එක අපිට දැනෙන විදිහත් හරි ලස්සනයි. මුලින්ම ඈතින් එක කන්දක් පේන්න ගන්නවා. ඊළඟට ටික ටික හතර වටේම කඳුවලින් වැහෙන්න ගන්නවා. ටික ටික සීතල දැනෙන්න ගන්නවා. එතකොට අපි කරන්නේ වාහනේ වීදුරු පාත් කරලා ඒ සීතල විඳින එක. ගමට එන්න එන්න කන් දෙකත් ටික ටික ලොක් වෙනවා, කොළ පාටට විහිදිච්ච තේ වතු යායවල් මැද්දෙන්, එක දිගට හම්බ වෙන දිය ඇළි ගාවින් යද්දිම දැනෙනවා මාර හැඟීමක්. ඒක වචනෙන් කියන්න අමාරු අමුතු හැඟීමක්. අදටත් ගමේ යද්දි මට ඒක හරිම නොස්ටැල්ජික් විදිහකට දැනෙනවා. මං හිතන්නේ කොත්මලේ ගම වුණ හැමෝටම ඒක එහෙම ඇති.

රම්බොඩ ගියාම අපි ගෙවල් දෙකක මාරුවෙන් මාරුවට ඉන්නවා. එකක් අම්මාගේ මහ ගෙදර. එහේ ඉන්නේ අම්මාගේ මල්ලී ජයවීර මාමාලා. තව ගම උඩහ ඉන්නවා අම්මාගේ අයියා බැංකුවේ මාමා. ජයවීර මාමගේ පුතා මනෝජ්, බැංකුවේ මාමගේ පුතාලා සුදාර, නවීන් අපේ මල්ලියි මායි තමා ඉතින් සෙට් එක.
අපි ගමේ ගියාම ඉතින් ගඟේ නාන එක තමා ජොලිම වැඩේ. නාන්න පුළුවන් පොකුණක් තියනවා. ඒක ගාවම උස ගලක් තියනවා. ඒකේ ඉඳන් පනිනවා. ඒ පොකුණේ මැද හරිය ටිකක් ගැඹුරුයි. හැබැයි ලොකු අවුලක් නෑ. සුදාරයි උදාරයි තමයි වීර ක්‍රියා කරන්නේ. මට ගොඩක් පීනන්න බැරි නිසා, කකුල ගෑවෙන හරියේ විතරයි මං හිටියේ. චූටි මල්ලි නවීන් නම් ගඟට බහින්නෙම නෑ. පොරට හීතල වැඩිලු. හීතල කියන්නේ ගල් ගැහෙන හීතල. හැබැයි ඒක මරු.

තව ඉතින් අපි ගඟ දිගේ යනවා දිය ඇල්ල හොයා ගෙන. උදේම බත් එහෙම බැඳගෙන, කඹ අරගෙන එහෙම තමා යන්නේ. ගඟ දිගේ උඩට යන එක ලේසි නෑ. සමහර තැන්වල පොඩි දිය ඇළි තියනවා. ඒවා උඩට නගින්න ඕනි වුණාම, මනොජ් කොහොමහරි උඩට ගිහින්, ගහක ගැට ගහපු කඹේ පල්ලේහාට දානවා. අපිට තියෙන්නේ අර දිය ඇල්ල අස්සෙන් කඹේ එල්ලිලා නගින්න. වැටුණොත් ඉවරයි තමා. වැඩේ කියන්නේ අපි කොහොමහරි ඒක කළා. අමාරුවෙන් ගඟ දිගේ ගිහින් දිය ඇල්ල වැටෙන තැනට යනවා. ඒක කියන්න බැරි තරම් ලස්සනයි. උඩ ඉඳන් වැටෙන දිය ඇල්ල, ඇල්ල පාමුල ලොකු පොකුණකට එකතු වෙනවා. වටේට ගස්වලින් කඳුවලින් වැහිච්ච හරිම ලස්සන තැනක් ඒක.
ආයේ අපි කරන වැඩක් තමා කඳු නගින එක. අපි ඉතින් යූරියා බෑග් එකකින් කොඩියක් හදා ගන්නවා. අර වගේම බත් මුලකුත් බැඳගෙන, කඹ අරගෙන, පිහි අරගෙන, නංචි පොලු එහෙම අරන් තමා යන්නේ. ඈත පේන කන්ද දිහා බැලුවාම හිතෙන්නේ මේක නම් නගින්න වෙන් නෑ කියලා.

මුලින් ඉතින් ෆයින් කැලෑ අස්සෙන් යන්න ඕනි. ඊට පස්සේ පොඩි පාරක් තියනවා. ඒකෙ ගියාම ලැයිම් ටික හම්බ වෙනවා. ඒවත් පහු කරන් ගියාම තමා කන්ද පටන් ගන්නේ. පාරක් කියලා එකක් නෑ. අපි තමා පාර හදා ගන්නේ. ඉස්සරහින් සුදාර හරි මනෝජ් හරි යනවා. ඒ දෙන්නා මානා පඳුරු කපාගෙන පාර හදා ගෙන යනවා. අපිත් ඒ පස්සේ යනවා. සමහර තැන් තියනවා වල් ඌරෝ ඉන්න තැන්, ඒ තැන්වලදි ටිකක් පරිස්සමින් යන්න ඕනි. ලොකු ගස් අස්සෙන්, වැල්වල එල්ලි එල්ලි, ගල් උඩින් යන ඒ ගමන අමාරු වුණත් හරිම ලස්සනයි.

අන්තිමට එනවා ලොකුම ගල් කුළ තියන තැනට. එතනින් පස්සේ ඉතින් කන්ද උඩ. කන්ද උඩ තියෙන්නේ තැන්න වගේ ලස්සන පිට්ටනියක්. අර ගල් පොත්ත උඩට කොත්මලේ ඔක්කොම ටික ලස්සනට පේනවා. කොත්මලේ ජලාශේ වගේම ඈත දිය ඇළි ටිකත් ලස්සනට පේනවා. එහෙම බලන් ඉදිද්දි හැමදේම අමතක වෙනවා. අන්තිමට අපි කොඩිය පේන තැනකින් ගහලා කෑම එහෙමත් කාලා කන්ද බහින්න පටන් ගන්නවා.

අපි එහෙම නැගපු කන්දම තමා නාය ගියේ. ගෙවල් 28ක මිනිස්සු 45ක් අරන් නාය ගියේ ඒ කන්ද. ඒ මිනිස්සු රෑ නිදාගෙන හිටියේ. සමහරවිට එයාලා තාම නින්දෙන් ඇති මැරුණා කියලාවත් දන්නේ නැතිව. තාමත් අපේ ගමේ අය බයයි. පොඩි වැස්සක් වැස්ස්සත් ඒ අයට රෑට නින්ද යන්නේ නෑ. ගෙවල්වලින් යන්න කියලා තියෙන්නේ. කවදා ඒ ප්‍රශ්න විසඳෙයිද කියලා මං දන්නේ නෑ.

මට ආයේ කවදාවත් ලැබෙන්නේ නැති ලස්සන මතක එකතු කරපු මගේ ගමට ආයේ මෙවන් විපතක නොවේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

මම සංදීප ජයසේකර

16/10/2025

💡ඩොපැමීන්වලින් වැඩ ගන්න විදිහ

ඔයාලා ආසම Film එක බලද්දි නින්ද යන්නේ නෑ නේ?
ඔයාලා ආසම TV Series එක බලද්දි නින්ද යන්නේ නෑ නේ?
ඔයාලා ආසම Cricket Match එක බලද්දි නින්ද යන්නේ නෑ නේ?

හැබැයි පාඩම් කරද්දි නින්ද යනවා නේද? 😴

මේකට බලපාන එක හේතුවක් තමා අපේ මොළේ හැදෙන ඩොපැමීන් කියන රසායනිකය. අපි ආස දෙයක් කරන කොට මොළේ වැඩිපුර ඩොපැමීන් හැදෙනවා. ඩොපැමීන්වලින් දෙන Energy එකත් එක්ක අපිට නිදිමත නැතුව වැඩේ කරන් යන්න පුළුවන් 💪.

පාඩම් කරද්දි අපි ආසාවෙන් කරන් නැති වුණාම ඩොපැමීන් හැදෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ අපිට කම්මැලිකමක් ඇවිත් නිදිමතක් එන්න පුළුවන්!

එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි?

අපි පාඩම් කරන එක ආසා වෙන්න ඕනි. ඒ විෂයයට, ඒ මාතෘකාවට ඇත්තටම ආදරේ කරන්න . ආසා වෙන්න. එතකොට ඩොපැමීන් ඉතිරි ටික බලා ගනීවි.

📚මේ වගේ තවත් දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න 👇
https://whatsapp.com/channel/0029VbAmKIq9hXExhGNlEd3c
https://www.youtube.com/

ඔබේ පාසලේ ආයතනයේ පුහුණු සහ සංවර්ධන වැඩමුළු සහ අභිප්‍රේරණ දේශන සඳහා විමසන්න 0710123333

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo

Opening Hours

Monday 08:00 - 17:00