Dimuthu'S Diary

Dimuthu'S Diary

Share

11/07/2024

වසර 44ක පැරැණි වාර්තාවක් බිඳ වැටෙයි

රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන 49 වැනි ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය වනවිට වැඩි ගෞරව දිනාගැනීමට මරදාන ශා.ජෝෂප් විදුහල් පිල සමත්වූ අතර, ඔවුනට අභියෝගයක් වූ ලයිසියම් ජාත්‍යන්තර පාසලද පළමු ස්ථාන කිහිපයක්ම දිනාගැනීමට සමත්විය.

කෙසේ වෙතත් මෙම තරගාවලිය ආරම්භ කරමින් පෙරේදා පැවැති තරගයකදී වසර 44ක් පැරැණි වාර්තාවක් බිඳ දැමීමට මියුසියස් විදුහලේ රුෂලී දිසානායක

සමත්විය. ඒ අනුව අවුරුදු 14න් පහළ බාලිකා මීටර් 400 නිදහස් ආර ඉසව්වේ අවසන් තරගයට එක්වූ මියුසියස් විදුහලේ රුෂලී දිසානායක වි.4.59.52ක කාලයක් සටහන් කරමින් මෙයට පෙර එනම් 1980 වසරේදී උදේශිකා බියන්විල විසින් තබා තිබූ වි.5.10.06ක වාර්තාව බිඳ දැමීමට සමත් වූවාය.

නෙස්ලේ මයිලෝ අනුග්‍රාහකත්වය දරන මෙම තරගාවලිය 14දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිනුම් තටාකයේදී පැවැත්වේ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත - 2024.07.11

09/07/2024

නිදහස් සටනේ පුරෝගාමියෙක් හෙන්රි පේද්‍රිස්

එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් 1888 අගෝස්තු මස 16 වැනිදා කොළඹදී උපන්නේය. ගාල්ලේ දංගෙදර ඩී.ඩී. පේද්‍රිස් හා මලුනෝනා මොහුගේ මවුපියෝය. ගාල්ලේ සිට කොළඹට පැමිණි ඩී.ඩී. පේද්‍රිස් ව්‍යාපාර කටයුතුවල යෙදී විශාල ධනවතෙක් විය. එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මූලික අධ්‍යාපනය ලැබුවේ අද රාජකීය විද්‍යාලය නමින් හැඳින්වෙන එකල කොළඹ ඇකඩමිය නම් වූ ආයතනයෙන් හා සාන්ත තෝමස් විදුහලෙනි. ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවට දක්‍ෂකම් පෙන්වූ මොහු දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම හොඳ අශ්වාරෝහකයෙක්ද විය.

එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ගේ පියාට වුවමනා වූයේ තම පුතා උසස් පෙළේ වෙළෙඳ ව්‍යාපාරිකයකු කිරීමටය. එහෙත් හෙන්රි පේද්‍රිස් වඩා ප්‍රිය කළේ යුද හමුදා සේවයටයි. පසුව යුද හමුදාවට බැඳුණු ඔහු නොබෝ කලකින්ම නගරාරක්‍ෂක හමුදාවේ කපිතාන්වරයකු ලෙස උසස් වීම් ලැබ අණ දෙන නිලධාරියෙක්ද විය. කෙසේ වුවද රාජ්‍යද්‍රෝහී චෝදනා මත හෙන්රි පේද්‍රිස්ව සිරභාරයට ගෙන වැලිකඩ බන්ධනාගාරයෙහි කුඩා කුටියක රඳවා තබන ලදී.

යුද්ධාධිකරණයට පෙනී සිටීමට නියමව සිටි පේද්‍රිස්ට විරුද්ධ චෝදනාව වූයේ රාජද්‍රෝහිකම, කඩසාප්පු ගිනි තැබීම හා මිනී මැරීම් චේතනාවෙන් වෙඩි තැබීමත්ය. යුද්ධාධිකරණය ජූලි මස 01දා තීරණය කළේ ඔහු වෙඩි තබා මරා දැමිය යුතු බවය. වෙඩි තබා මැරීම දඩයකට හරවා ගැනීමට දැරූ සියලු උත්සාහ ව්‍යර්ථ විය. 1915 ජූලි මස 07 වැනිදා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.

තමාට මරණීය දඬුවම පමුණුවන බව ස්ථිරවම දැනගත් පේද්‍රිස් වීරයා මරණයට කිසිදු බියක් හෝ චකිතයක් නොදැක්වීය. වෙඩි උණ්ඩයට ළය දීමට ප්‍රථම ආගමික වතාවත් ඉටු කිරීම ආදී වූ කරුණු 05කට තමාට ඉඩදිය යුතු යැයි පේද්‍රිස් විසින් ඉදිරිපත් කරන ලදී. ඒවා නම් තම මවුපියන් අවසන් වරට බැහැදැක අවසර ගැනීම, මහා සංඝයාට අටපිරිකර පූජා කොට ආගමික වතාවත් කිරීම, සුද්දන් ලවා නොව පන්ජාබ් සොල්දාදුවන් ලවා තමාට වෙඩි තැබවීම, යුද හමුදාවේ හිතවත් නිලධාරීන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම හා තමාගේ මළ සිරුර පවුලේ සොහොන් භූමියේ තැන්පත් කිරීම යන කරුණු 05ය.

වෙඩි තබා මරා දැමීමට නියමිත වූ ජූලි මස 07 වැනි දින උදෑසන සොල්දාදු ඇඳුමින් සැරැසී සිටි ඔහු වධකස්ථානයට සොල්දාදුවන් විසින් ගෙනයන ලදී. ඍජු කායෙන් යුතුව සොල්දාදුවන්ගේ ගමන් විලාසයට අනුව අඩිය තබමින් වධකස්ථානයට ඔහු ගිය ආකාරය වීරයකුගේ ගමනේ විශිෂ්ට දර්ශනයක් විය. ඔහුට පුටුවක වාඩි වන ලෙස දැන්වූ සුපිරින්ඩන්ට් තැන මුහුණ වටා බැඳ ගැනීමට ලේන්සුවක් දුන්නේය. “මම මරණයට බය නැහැ. මුහුණ වසා බැඳ ගන්නට මට වුවමනාවක් නැහැ. මම නිර්දෝෂී පුද්ගලයෙක්” යැයි ගාම්භීර ස්වරයෙන් කියූ හෙන්රි පේද්‍රිස්ගේ දෑතට මාංචු දමන ලදී.

ඍජු උර්ධව කායයෙන් පුටුවේ වාඩි වී නොසැලෙන ඇසින් නිකුත් තියුණු බැල්මෙන් තමාට තුවක්කුව එල්ල කර ගෙන සිටි පන්ජාබ් සොල්දාදුවන් දෙස බැලූ හෙන්රි පේද්‍රිස් “මම සූදානම් වෙඩි තියනු” යැයි නොපැකිළ තියුණු ස්වරයෙන් ප්‍රකාශ කළේය. ඒ ඔහුගේ අවසන් වචන විය. පුටුව මත ඇදවැටුණු ජාතික නිදහසට ප්‍රාණය දුන් ඔහුගේ හදවත තවම නොනිසලව පවතී. අසලින් සිටි බි්‍රතාන්‍ය යුද්ධ නිලධාරියාගේ රිවෝල්වරය වහාම ක්‍රියාත්මක විය. එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ගේ ප්‍රාණය නිරුද්ධ විය.

හෙන්රි පේද්‍රිස් මරා දැමීම ඇප්.ආර්. සේනානායක, ඊ.ඩබ්. පෙරේරා, ඩී.බී. ජයතිලක සහ ඩී.ඇස්. සේනානායක, සී.ඒ. හේවාවිතාරණ ආදී ජාති වාත්සල්‍යයෙන් පරිපූර්ණ නායකයන් ඇරැඹි නිදහස් ව්‍යාපාරය නිශ්චිත සමාරම්භය විය. නිදහස දිනා ගැනීම අරභයා 1915 වර්ෂයට මෙහි පැවැතියේ අසංවිධිත ව්‍යාපාරයයි. නිදහස ගැන බොහෝ දෙනා කතා කරමින් සිටියත් අධිෂ්ඨානයකින් යුක්තව ක්‍රියාකිරීමට මූලික ජවය ලැබුණේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් තරුණයා වෙඩි තබා මරා දැමීම පදනම් කොටගෙන බව නොරහසකි.

බි්‍රතාන්‍යයන් විසින් කැරලිකාර සමයේදී කරන ලද දහස් ගණන් අමානුෂික, අසාධාරණ අයුක්ති සහගත ක්‍රියා සහ හෙන්රි පේද්‍රිස් වෙඩි තබා මරා දැමීම නිදහස සඳහා සංවිධානය විය යුතු යන පණිවුඩය ලාංකිකයන්ට පැහැදිලි උච්ච ස්වරයෙන් අමතක නොවන අන්දමින් කියා පෑවේය. කැරැලි සමයේ බි්‍රතාන්‍යයන් විසින් මේ රටේ කරන ලද දරුණු අමානුෂික ක්‍රියා 1919දී ලංකා ජාතික සංගමය පිහිටුවීමට මඟ පෑදුවේය. මෙසේ පිහිටුවනු

ලැබූ ජාතික සංගමය අපේ රටට නිදහස දිනා ගැනීමේ කාර්යයේදී පෙරමුණ ගෙන ක්‍රියා කළේය. තම පුත්‍රයාගේ අකාල මරණයෙන් මහත් සේ කම්පාවට පත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ගේ මවුපියෝ තම පුත්‍රයාට පින් පිණිස කොළඹ හැව්ලොක් ටවුමේ ඉසිපතනාරාමය නම් වූ අංගසම්පූර්ණ විහාරය කරවූහ. එය පේද්‍රිස් වීරයාගේ ශ්‍රී නාමයට කරන ලද උපහාරයකි.

එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් අනුස්මරණ සංගමය මඟින් ඉසිපතන මාවත ආරම්භ වන ස්ථානයෙහි වීරයාගේ පිළිරුවක් ඉදිකරවන ලදී. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් 1978 ජූලි මස 07 වැනි දින මේ පිළිරුව විවෘත කරනු ලැබීය. හැව්ලොක් උද්‍යානයට එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් උද්‍යානය යන නම එදිනම තබන ලදී. ස්වකීය වීරත්වයෙන් බි්‍රතාන්‍ය යටත්විජිත පාලකයන් සසල කොට ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට මඟ හෙළි කළ එඩ්වඩ් පේද්‍රිස් ජාතික වීරයාට අමාමහ නිවන් සුවය ලැබේවා.

ශාස්ත්‍රපති ගලගම ධම්මරංසි හිමි

උපුටා ගැනීම මව්බිම පුවත්පත - 2024.07.09

Want your school to be the top-listed School/college in Rajagiriya?
Click here to claim your Sponsored Listing.

Website

Address

Rajagiriya