READ it
12/06/2026
💑😍 ඇය ඇවිදින්😍💑
කොළඹ සිට ආපසු එන ගමන පුරාවටම මගේ මනස එකම තැනක සිරවී තිබුණි. අසංක කියූ අතීත කතාවත්, දුරකථනයෙන් ඇසුණු ආශාවරීගේ බියපත් කටහඬත් මගේ හදවත මහා බරකින් මිරිකා හරිමින් තිබුණි. මම මගේ යතුරුපැදිය කෙළින්ම ධාවනය කළේ රසිත්ගේ නිවස වෙතය. කසුන්ද එහි පැමිණ සිටියේය. වැව රවුමේදී ආශාවරීව දැකපු දවසේ ඉඳන් මගේ හිතේ තිබුණු හැමදේම දන්න ළඟම යාළුවෝ දෙන්නා වුණේ උන් දෙන්නාය.
“මොකද වුණේ මිලාන්? අරු උඹව ලන්ච් එකකට එක්කන් ගියා කිව්වේ?“ කසුන් සාලයේ තිබූ පුටුවෙන් නැඟිටිමින් ඇසුවේය.
“මචං... මට පිස්සු හැදීගෙන එනවද මන්දා බං“ මම සාලයේ මැද තිබූ සෝෆාව මත හිඳගනිමින්, අද දහවල සිදුවූ හැමදේම කීවෙමි. අසංකගේ කලින් බිරිඳ මැරුණු කතාවත්, ආශාවරී කියන්නේ මීට අවුරුදු හතරකට කලින් අසංකගේ වාහනේට හැප්පෙන්න ගිහින් බේරුණු, පොඩි කාලේ ඉඳන් අනාථ නිවාසෙක හැදුණු කෙල්ලෙක් කියන කතාවත් මම එක හුස්මට කියා දැමුවෙමි.
මගේ කතාව අසා රසිත් සහ කසුන් දෙදෙනාම මන්ත්‍ර කළාක් මෙන් ගල් ගැසී බලා සිටියහ.
“ඒ කියන්නේ... ඒ කෙල්ල තාරූගේ කිසිම ලේ නෑදෑකමක් නැති, අනාථ නිවාසෙක හැදුණු කෙල්ලෙක්. කොහොමද බං තාරූගේම රූපය පිහිටන්නේ ඒ කෙල්ලට? මේක මහ පුදුම වැඩක්නේ මචං“ රසිත් ඔළුව කසමින් කීවේය.
“මේක අපිට විතරක් ලෙහන්න පුළුවන් නූල් බෝලයක් නෙවෙයි මචං. මට හිතෙනවා අපි මේක සංජුට කිව්වොත් හොදයි කියල.. එයා මොකද කියන්නේ බලමු“ කසුන් අදහසක් දුන්නේය.
රසිත් එසැණින්ම සංජානාට ඇමතුමක් ලබා දී වහාම එන්නැයි පැවසුවේය. පැය භාගයක් පමණ ගත වෙද්දී, සංජානා සහ ඇගේ සැමියා රසිත්ගේ නිවසේ දොරකඩ අසල පෙනී සිටියහ.
“මිලාන්... මොකද වුණේ? ඇයි මේ හදිසියේ එන්න කිව්වේ“ සංජානා බියෙන් යුතුව ඇසුවාය.
මම ගැඹුරු හුස්මක් හෙළා, සංජානා සහ ඇගේ සැමියාව සාලයෙන් වාඩි කරවා ගත්තෙමි. ඉන්පසු වැව රවුමේදී තාරූගේම රූපය ඇති කෙල්ලෙක්ව මුලින්ම දැකපු දවසේ සිට, අද දහවල අසංකගේ කටින් ඇසුණු ඇගේ අතීතය සහ මම හොරෙන් ගත්තු ඒ දුරකථන ඇමතුම දක්වා වූ මුළු කතාවම එක අකුරක් නෑර සංජානාට මුල සිටම විස්තර කළෙමි.
මගේ කතාවේ මුල සිට අග දක්වා අසා සිටි සංජානාගේ මුහුණේ පාට එක මිනිත්තුවෙන් සුදුමැලි වී යනවා මම දුටුවෙමි. ඇගේ දෑස් බියකින් සහ කම්පනයකින් අගුළු වැටී තිබුණි. ඇය වෙව්ලන දෑතින් තමන්ගේ සැමියාගේ අත තද කරගත්තාය.
“සංජානා... ඔයා මොනවා හරි දන්නවද? තාරූ ඔයාට මේ වගේ දෙයක් ගැන කවදාවත් කියලා තියෙනව්ද?“ මම ඇගේ මුහුණ දෙස බලා බලාපොරොත්තු සහගතව ඇසුවෙමි.
සංජානා කෙළ උගුරක් ගිල දැමුවාය. ඇගේ දෑසින් කඳුළු කැට කිහිපයක් රූරා වැටෙන්නට විය.
“මිලාන්... මං... මං මේක කාටවත්ම නොකියන්නයි හිතන් හිටියේ. තාරූ මගෙන් පොරොන්දුවක් ගත්තා මේ රහස එයාගේ අම්මලටවත්, ඔයාටවත් කවදාවත් කියන්න එපා කියලා...“ සංජානා බිඳුණු හඬින් පවසද්දී සාලයේ සිටි අප සැමගේම හුස්ම එක තැන නතර වුණාක් මෙන් දැනුණි.
සංජානා වෙව්ලන දෑතින් ඇගේ දෑස් පිසදා ගත්තාය. සාලයේ සිටි අප සැමගේම දෑස් තිබුණේ ඇගේ මුහුණ මතය. ඇය මා දෙස බලා ගැඹුරු සුසුමක් හෙළුවාය.
“මිලාන්... ඔයාලා හැමෝම හිතන් ඉන්නේ තාරූ කියන්නේ පවුලේ හිටපු එකම දරුවා කියලා නේද? අම්මලා වුණත් අදටත් හිතන් ඉන්නේ එහෙමයි. හැබැයි... හැබැයි ඒක ඇත්ත නෙවෙයි මචං. තාරූට නිවුන් සහෝදරියක් හිටියා!“
“මොකක්?“ මම සෝෆාවෙන් එකපාරටම නැගිට්ටේ මට ඇසුන දෙය එකවරම අදහාගත නොහැකි වූ නිසාය. රසිත් සහ කසුන්ද එකිනෙකාගේ මුහුණු බලාගත්තේ මහා කම්පනයකිනි.
“ඔව් මිලාන්... මං කියන දේ හොඳින් අහගන්නකෝ“ සංජානා කඳුළු පිසදමමින් කතාව පටන් ගත්තාය.
“තාරූට කැන්සර් එක හැදිලා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරලා හිටපු දවස්වල, දවසක් අනාථ නිවාසෙක ළමයෙක්ව බෙහෙත් ගන්න හොස්පිට්ල් එකට එක්කන් ඇවිත් හිටියා. ඒ ආපු ළමයා එක්ක තව කෙල්ලෙක් උදව්වට ඇවිත් හිටියා මිලාන්. තාරූ එදා ඒ කෙල්ලව අහම්බෙන් දැකලා තිබුණා. එයා තාරූ වගේමයි! හැබැයි එදා තාරූට ඒ කෙල්ල එක්ක කතා කරන්න හම්බවෙලා නැහැ. තාරූ ඒ ගැන මට කිව්වට පස්සේ, මං ලවා ඒ කෙල්ල කවුද කියලා හොයන්න හැදුවා.
ඔය අතරේ දවසක් තාරූ හොස්පිට්ල් එකේ ඉද්දී අම්මලා ළඟට වෙලා ඉද්දී, නික්මට වගේ අම්මලාගෙන් අහලා තියෙනවා ‘මට තව ට්වින් නංගි කෙනෙක්වත් හිටියා නම් මං නැති වුණාට පස්සේ අම්මලට තනි වෙන්න වෙන්නේ නැහැ නේද‘ කියලා. මචං... ඒ වෙලාවේ තමයි අම්මලා අඬ අඬ මේ ඇත්ත කියලා තියෙන්නේ. ‘ඔයත් එක්ක තව පැටියෙක් උන්නා පුතේ... හැබැයි එයා ඉපදෙද්දීම නැති වුණා, ඔයා දුක් වෙයි කියලා අපි කවදාවත් ඒක ඔයාට කිව්වේ නැහැ‘ කියලා අම්මලා කියලා තියෙනවා.“
සංජානා කියූ වචනවලට මගේ ඇඟ කිලිපොලා ගියේය. මම නිශ්ශබ්දව ඇය දෙසම බලා සිටියෙමි.
“අම්මලා ඒක කිව්වට පස්සේ තමයි මචං තාරූට එකපාරටම අර කෙල්ලව මතක් වෙලා තියෙන්නේ. තාරූට හිතුණා ඒ ඉපදෙද්දීම නැති වුණා කියපු තමන්ගේ සහෝදරිය වෙන්න ඇති කියලා. තාරූ මේ හැමදේම කිව්වේ මට විතරයි මිලාන්. එයා මට කිව්වා ‘අනේ කොහොමහරි ඒ අනාථ නිවාසෙට ගිහින් ඒ කෙල්ල කවුද කියලා හොයලා දීපන්‘ කියලා.
මං ඊටපස්සේ තාරූ ඉපදිච්ච හොස්පිට්ල් එකයි, අනාථ නිවාසයි ගැන හොයන්න ගත්තා මචං“
“මං ඒ අනාථ නිවාසෙට ගිහින් විස්තර බලද්දී මට දෙයක් දැන ගන්න ලැබුනා. තාරූ ඉපදිච්ච දවසට දවස් කිපෙකට පස්සෙ, කවුරුත් නැති පාලු පාරක් අයිනේ දාලා ගිහින් තිබ්බ බබෙක්ව පොලිසියෙන් ගෙනත් ඒ අනාථ නිවාසෙට බාර දීලා තිබුණා. ඒ තමයි ආශාවරී..
මට එතනින් ලොකු සැකයක් ආවා. මං නිකන් ඉන්නේ නැතුව ඒ කාලේ ඒ හොස්පිට්ල් එකේ වැඩ කරපු, දැන් රිටයර්ඩ් වෙල ඉන්න පරණ ඇටෙන්ඩන්ට් කෙනෙක්ව හම්බවෙන්න ගියා. එයාට සල්ලි ටිකක් දීලා විස්තර අහද්දී තමයි මචං මගේ ඇඟ හිරිවැටිලා යන කතවක් කිව්වේ“
සංජානා එක දිගටම කියාගෙන ගියාය. අප අතරින් කිසිවෙක් ඇයට බාධා කලේ නැත.
“ඒ කාලේ ඒ හොස්පිට්ල් එකේ ළමයි නැති සල්ලිකාර පවුල්වලට හොරෙන්ම ළමයි විකුණන ජාවාරමක් තිබිලා තියෙනවා. තාරූගේ අම්මට නිවුන් දරුවෝ ලැබෙන්න ඉද්දී, ඒ ඩිලිවරි කරපු ඩොක්ටයි, එතන හිටපු නර්ස් කෙනෙකුයි එකතු වෙලා මේ ජාවාරමට එක ළමයෙක්ව හොරකම් කරලා. අම්මලට කියලා තියෙන්නේ එක ළමයෙක් ඉපදෙද්දීම මියගියා කියලා. හැබැයි දෛවයේ සෙල්ලම කියන්නේ මිලාන්... උන් මේ බබාව විකුණන්න ලෑස්ති කරලා හිටපු පවුල, හරියටම ඒ දවස්වලම මොකක් හරි නීතිමය ප්‍රශ්නයකට අහුවෙලා රට අතහැරලා පැනලා ගිහින්..
දැන් හොස්පිට්ල් එකේ ජාවාරම කරපු උන්ට මේ ළමයව ආයෙත් හොස්පිට්ල් එකට ගන්න විදිහක් නැහැ, මොකද මැරුණා කියලා රිපෝට් ලියලා ඉවරයි. තමන් ගාව තියාගන්නත් බැහැ අහුවෙන නිසා. බය වෙච්ච පාර උන් කරලා තියෙන්නේ, මේ කිරිසප්පයව පාර අයිනේ දාලා ගිහින්. අන්තිමට පොලිසියෙන් තමා ඒ ළමයව අනාථ නිවාසෙට දීලා තියෙන්නේ. උප්පැන්නයක්වත්, නමක්වත් නැති නිසා අනාථ නිවාසෙන් දසුනි කියලා නම දාලා එයාව හදාගන්න අරන්...පස්සෙ කාලෙක එයාව දරුවො නැති ගෙදරකින් අරන් ගිහින් දරුකමට හදාගෙන එයාලගෙ වසගම් දිල උප්පන්න එහෙම හදල. එත් කෙල්ලගෙන් ඒ ගෙදර අය වැඩ ගන්නව කියල කෙල්ල ආයෙ නිවාසෙට අවිත් අවුරුදු ගානක් හැංගිලා ඉදල තියෙන්නෙ..තාරු එයාව දැකල තියෙන්නෙ ඒ දවස් වල“
සංජානා කතාව නතර කර මගේ දෙස බැලුවේ කඳුළු පිරුණු දෑසිනි.
“මං මේ හැමදේම හොයා ගත්තත් තාරූට කියන්න මට හම්බවුණේ නැහැ… මෙ දේවල් එයාට කියන්න කලියෙන් අපේ තාරූ අපිට නැතිවුනා..“
සංජානා හඬන්නට වූවාය. සාලයේ සිටි රසිත් සහ කසුන් දෙදෙනාම බිම බලා ගත්හ. මගේ දෑසින් කඳුළු කැට පාලනයකින් තොරව කම්මුල් දිගේ ගලා හැලෙන්නට විය.
දැන් හැමදේම පැහැදිලිය. ආශාවරී කියන්නේ වෙන කවුරුවත් නොවේ. තාරූගේම ලේ, නිවුන් සහෝදරිය. තාරූට මැරෙන්න කලින් දැනගන්න බැරි වුණු, කරගන්න බැරි වුණු ඒ අන්තිම ආශාව, අද අවුරුදු 12කට පස්සේ දෛවය විසින් මගේ දෑතටම ගෙනත් දී ඇත.
“මිලාන්... එතකොට අසංක ගාව ඉන්න ආශාවරී කියන්නේ...“ කසුන් බියෙන් මෙන් ඇසුවේය.
“ඒ තාරූගේ නංගි... තාරූගේම ලේ“ මම දෑත් මිට මොලවා ගනිමින්, දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කීවෙමි.
සංජානා කියූ අතීත කතාවෙන් පසු සාලය තුළ පැතිර ගියේ මහා මූසල නිශ්ශබ්දතාවයකි. රසිත් සහ කසුන් දෑස් ලොකු කරගෙන මදෙස බලා සිටිද්දී, මගේ දෑත් වෙව්ලන්නට විය. අවුරුදු දොළහක් තිස්සේ මගේ හිත ඇතුළේ ඇවිළෙමින් තිබුණු ගින්දර නිවී ගොස්, ඒ වෙනුවට අලුත්ම බලාපොරොත්තුවක ආලෝකයක් මගේ හදවත පුරා පැතිර යනවා මට දැනුණි.
“මිලාන්... දැන් උඹ මොකද කරන්නේ? අසංක කියන්නේ සෙල්ලම් බඩුවක් නෙවෙයි බං. උඹ කිව්ව විදියට ඌ සල්ලි තියෙන, සමාජයේ ලොකු බලයක් තියෙන එකෙක්. අනික ඌ ආශාවරීව තියාගෙන ඉන්නේ සම්පූර්ණයෙන්ම ඌට ඕන විදිහට වහලියක් වගේ“ රසිත් නිශ්ශබ්දතාවය බිඳිමින් කීවේය.
“ඌ කවුරු වුණත් මට වැඩක් නැහැ රසිත්“ මම සෝෆාවෙන් නැඟිට, දෑත් මිට මොලවා ගනිමින් දැඩි හඬින් කීවෙමි. “ආශාවරී කියන්නේ තාරූගේ නංගි. තාරූට මැරෙන්න කලින් කරගන්න බැරි වුණු ඒ අන්තිම ආශාව ඉටු කරන්න දෛවය මට මේ අවස්ථාව දීලා තියෙන්නේ. මං ඒ අහිංසකීව බේරගන්නවා“
“හැබැයි මචං, අපි කලබල වෙලා මේක කරන්න ගියොත් අසංකයා ආශාවරීට තවත් වද දෙන්න බලයි. ඌ දැනටමත් කෙල්ලව තියන් ඉන්නවා ඇත්තේ බය කරගෙන“ කසුන් මගේ උරහිසට අතක් තබමින් මතක් කළේය.
“ඔව් මිලාන්, කසුන් කියන කතාව ඇත්ත“ සංජානා කඳුළු පිසදමමින් කතාවට එකතු වූවාය.
“අද දවල් ඔයා ගත්ත කෝල් එකටත් කෙල්ල ඒ තරම් බය වුණේ ඒ හින්දා. අපිට එකපාරටම ඒ ගෙදරට කඩා පනින්න බැහැ. ඊට කලින් ආශාවරී එක්ක තනියම කතා කරලා, එයාගේ හිතේ තියෙන බය නැති කරන්න ඕනේ. එයාට තේරුම් කරලා දෙන්න ඕනේ එයා තනි වෙලා නැහැ, එයාව බේරගන්න එයාගේම කියලා පිරිසක් ඉන්නවා කියලා“
“ඒත් අපි කොහොමද බං අසංක නැති වෙලාවක ආශාවරීව හම්බවෙන්නේ? ඌ කෙල්ලව ගෙයින් එළියටවත් එවන්නේ නැති පාටයි“ රසිත් ඇසුවේය.
මම මඳ වේලාවක් කල්පනා කළෙමි. මගේ මොළයට එකපාරටම ආවේ අද දහවල අසංක මට කියූ වචන කිහිපයකි.
“ප්ලෑන් එකක් තියෙනවා මචං...“ මම යාළුවන් දෙස බලා සන්නස් හඬකින් කීවෙමි. “අසංක ලබන සතියේ ආයේ කළම්බු යනවා කිව්ව දවස් තුනක විතර බිස්නස් වැඩකට. කලම්ඹු අවොත් මට කතා කරන්නත් කිව්වා. ඌ ගෙදර නැති ඒ දවස් ටික තමයි අපිට තියෙන හොඳම අවස්ථාව. අසංක ගෙදරින් ගියපු ගමන් මං කෙළින්ම ඒ ගෙදරට යනවා.“
“පිස්සුද මිලාන්? උඹ තනියම ඒ ගෙදරට යන්න? සේවකයෝ හරි කවුරු හරි දැකලා අසංකට කිව්වොත් ඔක්කොම ඉවරයි“ සංජානාගේ හස්බන්ඩ් කලබලෙන් කීවේය.
“නැහැ... මං යන්නේ හොරෙක් වගේ නෙවෙයි. අසංකගේ වාහනේ ඉන්ෂුවරන්ස් පේපර්ස් වගයකට ආශාවරීගේ අත්සනක් ගන්න ඕනේ කියලා මං කෙළින්ම ඔෆිස් එකේ අයිඩෙන්ටිටි එකත් එක්කමයි ඒ ගෙදරට යන්නේ. එතකොට කාටවත් සැකයක් හිතෙන්නේ නැහැ. රසිතුයි කසුනුයි ගෙදරින් පොඩ්ඩක් ඈතින් වාහනේ නවත්තගෙන මං එනකන් බලාගෙන ඉන්න. මං ඇතුළට ගිහින් ආශාවරීට මේ හැම ඇත්තක්ම කියලා, එයාවත් එක්කන්මයි එළියට එන්නේ“ මම මගේ සැලසුම ඔවුන්ට පැහැදිලි කළෙමි.
“ප්ලෑන් එක නම් පට්ට තාත්විකයි මචං. ඉන්ෂුවරන්ස් කතාවත් අවුලක් නෑ කියමු. ඒත් උඹ කිව්ව ගමන්ම ඒකී උඹත් එක්ක එන්නෙ කොහොමද බං. එක්කන් එන එක නෙමෙයි උබ මෙ විස්තරේ කියපන්. ඒකී පිළිගන්නවනම් එන නොඑන එක ඒකී තිරනේ කරයි. ඒකී ඌ එක්ක හොදින් ඉන්නවද කවුද දන්නේ“ රසිත් මගේ අදහස අනුමත කළ නමුත් තවත් පැත්තක් පෙන්නවා දුන්නේය“
“ඔව් උඹ කියන කතාව හරි රස්සා“ කසුනුත් ඊට එකඟ විය.
“හ්ම්ම් එහෙනම් එහෙම කරමු“
සියල්ල කතාබස් කර අවසන් වෙද්දී රෑ බෝ වී තිබුණි. සංජානා සහ ඇගේ සැමියා පිටව ගියේ ආශාවරීව බේරාගත් සැනින් ඇයට රැකවරණය දීමට ඔවුන් සූදානම් බව පවසමිනි.
නිවසට පැමිණි මට එදා රාත්‍රියේ නින්ද ගියේ නැත. මම මගේ ඇඳ මත වැතිරී, සිවිලිම දෙස බලාගෙන අතේ තිබූ ජංගම දුරකථනය දෙස බැලුවෙමි. එහි තිබුණේ ආශාවරීගේ අංකයයි. තවදුරටත් මට ඉවසන්නට නොහැකි විය. මම ඇයට කෙටි පණිවිඩයක් යැවීමට තීරණය කළෙමි.
වෙව්ලන ඇඟිලිවලින් මම දුරකථනයේ අකුරු කළෙමි ‘බය වෙන්න එපා ආශාවරී... ඔයාව ඔය අපායෙන් බේරගන්න මං එනවා. මං මිලාන්‘
පණිවිඩය යැවීමට සිතුනමුත් එය මකා දමා දුරකථනය පපුව මත තබා ගත්තෙමි. ඊළඟ සතියේ උදාවන ඒ දවස මගේ ජීවිතයේ දරුණුම සටනක් සිදුවන දිනයක් බව මගේ හිත මට කියමින් තිබුණි.
දින කිහිපයක් ගෙවී ගියේය. අසංක කොළඹින් පිටත්වන දවස එනතුරු මම මඟ බලා සිටියෙමි. එදින සවස පහට පමණ මම මගේ හිත දැඩි කරගෙන අසංකගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගත්තෙමි.
“හෙලෝ අසංක සර්... මං මිලාන්. සර් අර වාහනේ ඉන්ෂුවරන්ස් පේපර්ස් වගයකට මැඩම්ගේ අත්සනක් ගන්න ඕනේ. මං හෙට උදේ වරුවේ ඔයාලගේ ගෙදර පැත්තේ ආවොත් ප්‍රශ්නයක් නැද්ද?“ මම ඉතාමත් සන්සුන්ව ඇසුවෙමි.
“ආ මිලාන්... හෙට උදේ එන්න. මං මේ දැන් බිස්නස් වැඩකට කොළඹ යන ගමන් ඉන්නේ. දවස් තුනක් විතර යයි මං ආපහු එන්න. මං ගෙදරට කියලා තියන්නම් උඹ එනවා කියලා. ගිහින් වැඩේ කරගන්න මල්ලි“ අසංකගේ හඬේ තිබුණේ කාර් එකක් පදවන අතරතුර කතා කරන නොසන්සුන් ගතියකි.
“හරි සර්, මං හෙට උදෙන්ම යන්නම්“ මම ඇමතුම විසන්ධි කළෙමි.
මගේ සැලසුම හරියටම ක්‍රියාත්මක වෙමින් තිබුණි. මම වහාම රසිත්ට සහ කසුන්ට ඇමතුමක් දී විස්තරය කීවෙමි. “මචං, ඌ කොළඹ යන ගමන් ඉන්නේ. අපි හෙට උදෙන්ම වැඩේට බහිමු.“
පසුදා උදෑසනම මම රසිත් සහ කසුන් සමඟ අසංකගේ නිවස පිහිටි ප්‍රදේශය වෙත ළඟා වුණෙමි. රසිත් ඔහුගේ මෝටර් රථය නිවසට මඳක් ඈතින් නතර කර ගත්තේය. මම වාහනයෙන් බැස, අයිඩෙන්ටිටි කාඩ් එකද බෙල්ලේ දමාගෙන, ඉන්ෂුවරන්ස් ෆයිල් එකද අතැතිව නිවසේ ප්‍රධාන ගේට්ටුව දෙසට පියනැඟුවෙමි.
ගේට්ටුව අසල සිටි මුරකරුවා මා හඳුනාගෙන, අසංක සර් තමන්ට මේ ගැන පවසා ඇති බව කියමින් බය නැතුව මට ඇතුළට යාමට ගේට්ටුව විවෘත කර දුන්නේය.
මම ගේට්ටුවෙන් ඇතුළු වී මිදුල දෙස බැලුවෙමි. අසංක පෙර දින පැදවූ සුවිසල් සුඛෝපභෝගී වාහනය මිදුලේ දකින්නට ලැබුණේ නැත. එහි නතර කර තිබුණේ රතු පාට කුඩා මෝටර් රථය පමණි.
‘ඒ කියන්නේ ඌ ලොකු වාහනෙන් කොළඹ ගිහින් තියෙන්නේ‘ මගේ හිතට ලොකු සහනයක් දැනුණි.
මම කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව, වේගවත් පියවර තබමින් නිවසේ ප්‍රධාන දොරකඩ අසලටම ගියෙමි. දොර මඳක් විවෘතව තිබුණි. මම සාලය දෙස බලමින් තරමක් ශබ්ද නඟා කතා කළෙමි.
“ආශාවරී මිස්... ආශාවරී මිස්...“
මගේ හඬ මුළු නිවස පුරාම දෝංකාර දුන්නේය. මම බලාපොරොත්තු සහගතව දොර දෙස බලා සිටියෙමි. නමුත් සාලයට පැමිණියේ මා සිතූ රූපය නොවේ.
පියගැටපෙළ දෙසින් ඇසුණු බරැති පියවර හඬත් සමඟ මගේ දෑස් උඩු මහල දෙසට යොමු විය. එහි උඩ තට්ටුවේ සිට සෙමින් පහළට බැසගෙන එමින් සිටි ඒ මිනිසාව දුටු සැණින් මගේ මුළු ඇඟම සීතල වී, උගුර කට වේලී ගියේය.
කොළඹ ගියා යැයි කී අසංක, උඩ තට්ටුවේ සිට පියගැටපෙළ දිගේ පහළට බැස එමින් සිටියේය.
"මොකද මිලාන් බයවෙලා වගේ? උඹ හිතුවේ මං කොළඹ ගියා කියලා නේද?"
පියගැටපෙළේ අන්තිම පඩියත් බැස සාලයේ මැදට පැමිණි අසංක, ඔහුගේ තොල් කොනකින් මතු වූ සර්පයෙකුගේ වැනි කපටි හිනාවකින් යුතුව ඇසුවේය. ඔහුගේ දෑස්වල තිබුණේ මාව අමුවෙන් ගිලින්නට හදන වැනි දරුණු බැල්මකි.
මගේ මුළු ඇඟම වෙව්ලන්නට විය. අත්වල තිබූ ඉන්ෂුවරන්ස් ෆයිල් එක බිම නොවැටී බේරුණේ අනූනමයෙන්ය. ගේට්ටුව ළඟ තිබුණු රතු පාට කුඩා කාර් එක කාගේදැයි මට වැටහුණේ එවිටය. ඌ ලොකු වාහනය වෙන කෙනෙකුට දී, මාව කොටු කරගන්නටම මේ නිවසේ රැඳී සිට ඇත.
“සර්... නෑ සර්... මං... මං හිතුවේ සර් ගෙදර නෑ කියලා. අර... අර ඊයේ සර් කිව්වේ...“ මම ගොත ගසමින්, වචන පටලවා ගනිමින් කීවෙමි. මගේ කටහඬ සම්පූර්ණයෙන්ම බියෙන් වෙව්ලන්නට විය.
“ඔව්... මං ඊයේ එහෙම තමයි කිව්වේ. හැබැයි මං යන ගමන අද හවසට කල් දාගත්තා“ අසංක සෙමින් මා වෙත පියවර කිහිපයක් තබා ළඟටම පැමිණියේය. ඌ මගේ බෙල්ලේ තිබූ ඔෆිස් අයිඩෙන්ටිටි කාඩ් එක දෙස බලා, ඊළඟට මගේ මුහුණ දෙස දැඩිව බැලුවේය.
“හැබැයි මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි මිලාන්... උඹ ආවේ මගේ වාහනේ ඉන්ෂුවරන්ස් පේපර්ස්වලට මගේ වයිෆ්ගේ අත්සනක් ගන්න කියලා නේද?“
“ඔව් සර්... මේ ෆයිල් එක...“ මම වෙව්ලන දෑතින් ෆයිල් එක ඔහු දෙසට දිගු කළෙමි.
අසංක ඒ ෆයිල් එක දෙස බලන්නටවත් උත්සාහ කළේ නැත. ඔහු මගේ දෑස් දෙස කෙළින්ම බලා, ඔහුගේ කටහඬ මහා දරුණු ගොරෝසු හඬක් බවට පත් කරමින් ඊළඟ ප්‍රශ්නය ඇසුවේය.
“ඉන්ෂුවරන්ස් පේපර්ස්වලට අත්සන් කරන්නේ මගේ වයිෆ් ආශාවරී. උඹ කොහොමද මගේ වයිෆ්ගේ නම ‘ආශාවරී‘ කියලා දන්නේ මිලාන්? මං උඹට කොයිවෙලේ වත් මගේ වයිෆ්ගේ නම කියලා නැහැ. අනික උඹ දොර ළඟට ඇවිත් කතා කළේ නිකන්ම නම කියලා නෙවෙයි... ‘ආශාවරී මිස්‘ කියලා උඹට ඒ නම මාරම හුරුපුරුදු පාටයිනේ“
අසංකගේ ඒ ප්‍රශ්නයෙන් මගේ පපුව නතර වුණාක් මෙන් දැනුණි. දෙයියනේ... මට වැරදුණේ කොතැනදැයි මට වැටහුණේ එවිටය. කලබලයට මට ‘ආශාවරී‘ කියා කියවුණි. අසංක කිසිම දිනක ඔහුගේ බිරිඳගේ නම පවසා තිබුණේ නැත. ලිපිගොනුවල පවා තිබුනේ ඒ. මන්දාරා යනුවෙනි.. ඌ මගේ හැසිරීම් ගැන සති කිහිපයක සිටම සෙවිල්ලෙන් සිට ඇති බව මට වැටහුණේ එවිටය.
“සර්... ඒක... ඒක ඇවිල්ලා සර්...“ මට කියාගන්නට කිසිවක් තිබුණේ නැත. මගේ නළල දිගේ දහඩිය බිඳු රූරා වැටෙන්නට විය.
“කියපන් මිලාන්! උඹ කවුද? උඹ මොකාටද මේ ලෑස්ති වෙන්නේ? වැව රවුමේදී මගේ වයිෆ් දිහා බලන් හිටපු එකා නේද උඹ? එදා හොරෙන් කෝල් කරලා මගේ වයිෆ් එක්ක කතා කරන්න හැදුවෙත් උඹ නේද?“ අසංක එකපාරටම මගේ කමිසයේ කොලරයෙන් තදින් අල්ලා ගත්තේය. ඔහුගේ දෑස් කෝපයෙන් රතු වී තිබුණි.
මුළු සාලයම එකම සටන් බිමක් වන්නට ආසන්න විය. මට කරකියාගත හැකි කිසිවක් තිබුණේ නැත. එළියේ වාහනය නවත්තගෙන සිටින රසිත් සහ කසුන් මේ කිසිවක් දන්නේ නැත. මගේ ජීවිතය මෙන්ම, උඩු මහලේ කොහේ හෝ සිරවී සිටින ආශාවරීගේ ජීවිතයද දැන් පවතින්නේ දරුණු අනතුරක වැටී බව මට වැටහුණි.
“අනේ... එයාව අතහරින්න! එයාව අතහරින්න අසංක... දෙයියනේ එයාව අතාරින්න“
පියගැටපෙළ දිගේ මහා කලබලයෙන්, දෑසින් කඳුළු පෙරමින් පහළට දුවගෙන ආවේ ආශාවරී ය. ඇය ඇඳ සිටි සරල ගවුම කඳුළින් තෙත් වී තිබුණි. ඇය දුවගෙන විත් එකපාරටම අසංකගේ දෑතේ එල්ලී, ඔහුව පිටුපසට ඇද තදින් බදාගත්තාය.
“ආශාවරී! උඹ මොකද මේ කරන්නේ? අතහැරපන් මාව“ අසංක කෝපයෙන් ගර්ජනා කළේය.
“අනේ අසංක... මං කියන දේ අහන්න... එයාව අතහරින්න...“ ඇය අසංකව බදාගෙන හයියෙන් හඬන්නට වූවාය. ඉන්පසු ඇය කඳුළු පිරුණු දෑසින් මදෙස බැලුවාය. ඇගේ දෑස්වල තිබුණේ මහා බියක් සහ මාව බේරාගැනීමේ ආයාචනයකි.
“ඔයා... ඔයා මෙතනින් යන්න.. අනේ දෙයියනේ බලාගෙන ඉන්නේ නැතුව මෙතනින් දුවන්න. ආයෙ කවදාවත් මේ පැත්තේ එන්න එපා... යන්න මෙතනින්“ ආශාවරී මදෙස බලා මහා හයියෙන් කෑගැසුවාය.
ඇය අසංකව තදින් බදාගෙන සිටියේ මට මෙතනින් පැන ගැනීමට අවස්ථාව ලබා දීමටය. ඇය මාව අඳුනන්නේ නැත. මා කවුදැයි ඇය දන්නේ නැත. නමුත් තමන් නිසා තවත් අහිංසක මිනිසෙකු අසංකගේ නරුමකමට ගොදුරු වෙනවා දකින්නට ඇයට වුවමනා වූයේ නැත. තාරූගේ වගේම වූ ඒ රූපය, ඒ අහිංසක කටහඬ මගේ මුළු පපුවම කැබලිවලට බිඳ දමන්නාක් මෙන් දැනුණි. මට එතනින් අඩියක්වත් පස්සට තැබීමට සිතුණේ නැත.
“ආශාවරී... මං යන්නේ නැහැ! මං ආවේ ඔයාව මෙතනින් එක්කන් යන්න!“ මම අසංක දෙස බලා කෑගැසුවෙමි.
“මොකක්ද තෝ කිව්වේ?“ අසංක මහා දරුණු ලෙස ආශාවරීව සෝෆාව දෙසට තල්ලු කර දැමුවේය. ඇය විසිවී ගොස් සෝෆාව මත වැටෙද්දී, අසංක මගේ මුහුණටම මහා සැර පහරක් එල්ල කළේය.
මගේ කටින් ලේ බිඳක් විසිවී ගොස් මම බිම ඇද වැටුණෙමි.
“උඹ හිතුවද මගේ ගෙට ඇවිත් මගේ ගෑනිව එක්කන් යන්න උඹට පුළුවන් වෙයි කියලා? තෝව අද මං මෙතනම වළලනවා“ අසංක සාලයේ කෙළවර තිබූ ලාච්චුවක් ඇර, ඒ තුළ තිබූ කළු පැහැති පිස්තෝලයක් අතට ගත්තේය.
“දෙයියනේ... එපා“ ආශාවරී මහා හයියෙන් කෑගසමින් අසංකගේ කකුල් දෙක ළඟ බිම වැතිරී අඬන්නට වූවාය.
පිස්තෝලයේ කට කෙළින්ම එල්ල වී තිබුණේ මගේ නළල දෙසටය. මගේ හුස්ම නතර විය. එළියේ සිටින රසිත්ට සහ කසුන්ට මේ කිසිවක් ඇසෙන්නේ නැත. මරණය මගේ දෑස් ඉදිරිපිට පෙනෙන්නට තිබුණද, මගේ හිත ඇතුළේ තිබුණේ එකම එක අදිටනකි. තාරූ වෙනුවෙන් මට මේ සටන අතහරින්නට බැරිය.
අසංක තුවක්කුව මගේ නළලටම එල්ල කරගෙන, ඔහුගේ රතු වුණු දෑස් මදෙසට යොමු කළේය. ඔහුගේ මුවින් පිටවුණේ තිරිසනෙකුගේ වැනි රළු හඬකි.
“මිලාන්... තෝ හිතුවද මං සෙල්ලම් කරනවා කියලා? තොගේ ඔය ඉන්ෂුවරන්ස් බයිලා මට වැඩක් නැහැ. මං තොට හරියටම තත්පර දහයක් දෙනවා.. තත්පර දහයක් ඇතුළත තෝ මේ ගෙයින් පිටවෙලා පලයන්. එහෙම නැතුව තව එක තත්පරයක් හරි මෙතන ඉන්න හැදුවොත්... මං උඹලා දෙන්නවම අද මෙතනම බාවනවා. එකෙක් ඉතුරු කරන්නේ නැහැ!“
“අනේ අසංක... එපා.. මං කියන දේ අහන්න... ඔයා යන්න අනේ... ඔයා මෙතනින් යන්න“ ආශාවරී බිම වැතිරී අසංකගේ කකුල් දෙක බදාගෙන මදෙස බලා මහා හයියෙන් විලාප තැබුවාය. “ඔයාට වඳින්නම්... මෙතනින් දුවන්න“
අසංක තත්පර ගණන් කරන්නට පටන් ගත්තේය.
“දහයයි!...“
මගේ කටින් තවමත් ලේ බිංදු බිමට වැටෙමින් තිබුණි. බිම වැතිරී අඬන ආශාවරී දෙස මම බැලුවෙමි. ඇගේ මුහුණෙන් මට පෙනුණේ මීට අවුරුදු දොළහකට කලින් මාව දාලා ගිය මගේ තාරූවමය. මං අද මෙතනින් දුවලා ගියොත්, ආශාවරීව මට ආයෙ කවදාවත් ජීවිතේට දකින්න ලැබෙන්නේ නැත. අසංක ඌට තියෙන සල්ලි බලයෙන් කෙල්ලව වෙන කොහේ හරි හංගාවි, නැත්නම් මරලා දමාවි. මගේ පපුව ඇතුළෙන් මහා දරුණු කෝපයක් සහ ධෛර්යයක් එකපාරටම මතු විය. තාරූ වෙනුවෙන් මට මේ තත්පර 10 ඇතුළත පණ බේරාගෙන දුවන්නට නොහැක!
“නවයයි!...“
අසංක තුවක්කුව තවත් මගේ මුහුණට ළං කළේය.
“අටයි!...“
මම සෙමින් බිමෙන් නැඟී සිටියෙමි. මගේ දෑස්වල තිබූ බිය සම්පූර්ණයෙන්ම නැති වී ගොස්, ඒ වෙනුවට මහා දරුණු වෛරයක් අසංක දෙසට එල්ල විය.
“උඹ ගණන් කරපන් අසංක...“ මම මගේ කටින් ගලා ආ ලේ පිසදමමින්, මරණය අභියස සිටින මිනිසෙකු වැනි බිහිසුණු සන්සුන්කමකින් යුතුව කීවෙමි.
“හැබැයි මං මේ ගෙයින් යන්නේ තනියම නෙවෙයි. මං ආවේ ආශාවරීව එක්කන් යන්න. උඹට පුළුවන් නම් වෙඩි තියපන්!“
“හතයි!...“ අසංකගේ ඇඟිල්ල තුවක්කුවේ ට්‍රිගරය මත තද වනු මට පෙනුණි.
“හයයි!...“
“පහයි!...“ අසංකගේ මුවින් ඊළඟ ඉලක්කම පිටවෙද්දීම, සාලයේ ප්‍රධාන දොර මහා හඬකින් යුතුව විවෘත විය..
“අතහැරපන් යකෝ එයාව“
විශාල ශප්දයකින් යුතුව සාලය මැදට කඩා වැදුණේ රසිත් සහ කසුන්ය. එළියේ වාහනයට වී සිටි ඔවුන් දෙදෙනාට, ගෙය ඇතුළෙන් ඇසුණු ආශාවරීගේ මහා විලාපය සහ කෑගැසීම් ශබ්දය නිසා මොකක් හරි මහා අනතුරක් සිදුවී ඇති බව වැටහී තිබුණි. ඒ නිසා ඔවුන් තවදුරටත් බලා නොසිට ගේට්ටුවේ සිටි මුරකරුවාවත් තල්ලු කරගෙන කෙළින්ම ගෙට පැන ඇත.
එකපාරටම සිදු වූ මේ කලබලයෙන් අසංක මොහොතකට තැතිගෙන පස්සට විය. ඌ තුවක්කුව රසිත් දෙසට හරවන්නට හැදුවා පමණි.
“මිලාන්, අල්ලපන් ඕකව!“ කසුන් මහා හයියෙන් කෑගැසුවේය.
ඒ ලැබුණු තත්පර කිහිපයෙන් මම වහාම ඉදිරියට පැන අසංකගේ තුවක්කුව තිබූ දකුණු අත තදින් බදා ගත්තෙමි. මගේ මුළු ජීවිත ශක්තියම යොදවා මම ඔහුගේ අත ඉහළට එසවීමට උත්සාහ කළෙමි.
ඩෝං!
මුළු සාලයම දෙදරුම් කවමින් තුවක්කුවෙන් වෙඩිල්ලක් පිට විය. එය වැදුණේ සාලයේ ඉහළ තිබූ වීදුරු ලාම්පුවකටය. වීදුරු කැබලි මහා හඬින් අප අවට බිමට ඇද වැටුණි.
“අනේ දෙයියනේ...“ ආශාවරී කන් දෙක වසාගෙන සාලයේ කෙළවරකට වී මහා හයියෙන් කෑගැසුවාය.
තුවක්කු හඬත් සමඟ රසිත් සහ කසුන් දෙදෙනාම එකපාරටම අසංක මතට කඩා පැනූහ. කසුන් අසංකගේ බෙල්ලෙන් බදාගෙන ඔහුව බිමට පෙරළා ගනිද්දී, රසිත් අසංකගේ අත තදින් මිරිකා තුවක්කුව උදුරාගෙන සාලයේ ඈතකට විසි කර දැමුවේය.
“තොපි කවුද යකෝ මගේ ගෙට පනින්න? මං තොපි ඔක්කොම හිරේ යවනවා“ බිම වැතිරී සිටි අසංක දඟලමින්, කෑගසමින් මහා කුණුහරුපයෙන් බණින්නට විය. ඌ මහා බලවතෙක් වුවද, අප තිදෙනාගේම ශක්තිය ඉස්සරහ ඌට තනියම කරකියාගත හැකි කිසිවක් තිබුණේ නැත.
“මිලාන් දැන් බලාගෙන ඉන්න වෙලාවක් නෙවෙයි. අර කෙල්ලවත් අරන් ඉක්මනට කාර් එකට දුවපන්.. මුරකාරයා කාටහරි කෝල් කරන්න කලින් අපි මෙතනින් මාරු වෙන්න ඕනේ“ රසිත් අසංකව බිම තද කරගෙන මට කෑගැසුවේය.
මම වහාම හැරී සාලයේ කෙළවර ගැහෙමින් සිටි ආශාවරී වෙත දිව ගියෙමි. මම ඇගේ වෙව්ලන දෑතින් තදින් අල්ලා ගත්තෙමි. ඇගේ දෑස්වල තිබුණේ තවමත් අදහාගත නොහැකි වූ කම්පනයකි.
“ආශාවරී... බය වෙන්න එපා. මං කිව්වා නේද ඔයාව බේරගන්න එනවා කියලා. දැන් යමු මෙතනින්“ මම ඇයව ඇදගෙන ප්‍රධාන දොර දෙසට දිව යාමට සැරසුණෙමි.
මම ආශාවරීගේ වෙව්ලන දෑතින් තදින් අල්ලාගෙන සාලයේ දොර දෙසට දිව යන්නට හැදුවෙමි. නමුත් එකපාරටම උඩු මහල දෙසින් පොඩි දරුවෙකු අඬන හඬක් මුළු නිවස පුරාම දෝංකාර දුන්නේය.
ඒ හඬ ඇසුණු සැණින් ආශාවරී මගේ අත තදින් ගසා දමා එකපාරටම නතර වූවාය. ඇගේ දෑස් මහා කම්පනයකින් උඩු මහල දෙසට යොමු විය.
“අනේ... මගේ දරුවෝ! මගේ පැටව් දෙන්නා උඩ අඬනවා...“ ඇය මදෙස බලා මහා හයියෙන් කෑගැසුවාය.
“ආශාවරී, දැන් ඕවා හිතන්න වෙලාවක් නෙවෙයි. අසංකය නැගිට්ටොත් ඔක්කොම ඉවරයි. ඉක්මනට යමු“ මම ආයෙමත් ඇගේ අතින් අල්ලන්නට හැදුවෙමි.
“නැහැ... මං එන්නේ නැහැ.. මට මගේ දරුවෝ දෙන්නව දාලා එන්න බැහැ. ඌ මගේ පැටවුන්ට මොනවා කරයිද දන්නේ නැහැ...“ ආශාවරී මාව පිටුපසට තල්ලු කර දැමුවාය.
“ඔයාලා යන්න... අනේ දෙයියනේ මං ගැන හිතන්නේ නැතුව ඔයාලා මෙතනින් පැනලා යන්න.. මං එන්නේ නැහැ...“
ඇය අඬමින්, කෑගසමින් මාව මඟහැර වහාම පියගැටපෙළ දිගේ උඩු මහල දෙසට දිව ගියාය.
“ආශාවරී!! නවතින්න... ආශාවරී!“ මම පියගැටපෙළ පාමුලට වී මහා හයියෙන් කෑගැසුවෙමි.
නමුත් ඇය කිසිවක් ඇසුණේ නැතිවාක් මෙන් උඩු මහලට දුව ගොස්, ඇගේ කාමරයට වැදී මහා හඬින් දොර වසා අගුළු දාගත්තාය. දෝං! ගා ඇසුණු ඒ දොර වැහෙන ශබ්දයෙන් මගේ මුළු ලෝකයම කඩා වැටුණාක් මෙන් දැනුණි.
03/06/2026
💑💑 ඇය ඇවිදින්🌺💑
03 කොටස
විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුගෙන වසර කිහිපයක් ගත වුවද, මගේ ජීවිතය තවමත් එකම තැන නතර වී ඇතැයි මට සිතේ. දැනට වසර තුනක සිට මම ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක විධායක නිලධාරියෙකු ලෙස සේවය කරමි. දිනපතා ලියකියවිලි සහ පාරිභෝගිකයන්ගේ ප්‍රශ්න මැද ගෙවී යන යාන්ත්‍රික ජීවිතයට මම සෙමින් හුරු වෙමින් සිටියෙමි. නමුත්, ආශාවරීගේ බියපත් දෑස් මගේ හිතෙන් අබමල් රේණුවක තරම්වත් ඈත් වී තිබුණේ නැත.
එදින සුපුරුදු පරිදි කාර්යාලයේ මගේ මේසය වෙත පැමිණි පාරිභෝගිකයා මැදිවියේ පසුවූ, තරමක් තද පෙනුමක් ඇති මිනිසෙකි. ඔහුගේ දෑස්වල තිබුණේ අමුතුම ආකාරයේ රළු ගතියකි
“මගේ වාහනේ ඉන්ෂුවරන්ස් ක්ලෙයිම් එකක් කරගන්න ඕනේ මිස්ටර්. ඊයේ රෑ පාර අයිනේ නතර කරලා තියෙද්දී වෙන වාහනයක් ඇවිත් පිටිපස්සේ වැදිලා“ ඔහු රළු හඬින් පවසමින් ලියකියවිලි ටික මගේ මේසය මත තැබුවේය.
මම ඔහුගේ ජාතික හැඳුනුම්පත සහ වාහනයේ ලියාපදිංචි සහතිකය දෙස බැලුවෙමි.
නම: අසංක රණසිංහ.
“හරි මාකට් එකේ අපේ ඇසෙසර් කෙනෙක් දාලා වාහනේ බලන්න කලින්, මට පොඩ්ඩක් වාහනේ තියෙන තත්ත්වය බලාගන්න ඕනේ සර්. වාහනේ කොහෙද තියෙන්නේ?“ මම ලිපිගොනු ටික සකසන ගමන් ඇසුවෙමි.
“වාහනේ මං මේ ඔෆිස් එක ඉස්සරහා පාර අයිනේ නතර කරලා තියෙන්නේ. යමුකෝ බලන්න“ අසංක පුටුවෙන් නැගිටිමින් පැවසුවේය.
මම ලියන පෑන සහ සටහන් පොතද රැගෙන ඔහු සමඟ කාර්යාලයෙන් පිටතට පැමිණියෙමි. මහ මඟ වාහනවල ශබ්දය සහ මද්දහන් හිරු රැස් අප මතට පතිත වෙමින් තිබුණි. අසංක ඉදිරියෙන් ඇවිද ගොස්, පාර අයිනේ නතර කර තිබූ රතු පැහැති මෝටර් රථයක් අසල නතර විය. රථයේ පිටුපස බෆරයට සෑහෙන හානියක් වී තිබෙනු මම දුටුවෙමි.
“මෙන්න මේ හරිය තමා මල්ලි වැදිලා තියෙන්නේ...“ අසංක වාහනයේ පිටුපස පෙන්වමින් පවසන්නට විය.
මම වාහනය අසලට වී එය සටහන් කරගන්නා අතරතුර, නිකමට මෙන් වාහනයේ ඉදිරිපස වීදුරුව දෙස බලන්නට වීමි.
එම ක්ෂණයෙන් මගේ අතේ තිබූ පෑන තාර පාර මතට අතහැරුණි. මගේ මුළු ශරීරයම එකපාරටම අඩපණ වී, පියවරක් පස්සට තැබුණේ ඉබේටමය.
වාහනයේ ඉදිරිපස අසුනේ වාඩි වී, අසරණ දෑසින් පාර දෙස බලා සිටියේ වෙන කවුරුත් නොව... ආශාවරී ය! එදා වැව් රවුමේදී මා දුටු, මගේ තාරූගේ රුවම ඇති ඒ ගැහැනියමයි. වාහනයේ පිටුපස අසුනේ එදා ඇය සමඟ සිටි කුඩා දරුවන් දෙදෙනා සෙල්ලම් කරමින් සිටියහ.
ආශාවරීද සෙමින් හිස හරවා වාහනයේ වීදුරුවෙන් පිටත බැලුවාය. ඇගේ දෑස් කෙළින්ම මගේ දෑස් මත නතර විය. මාව දැකීමෙන් ඇගේ දෑස් මහා බියකින් සහ තැතිගැන්මකින් ලොකු වන අයුරු මම පැහැදිලිවම දුටුවෙමි. ඇය වහාම දෑස් ඉවතට ගෙන බිම බලාගත්තාය. ඇගේ දෑත් වෙව්ලන අයුරු වීදුරුව තුළින්ද මට පෙනුණි.
“මොකද මල්ලි වුණේ? පෑන වැටුණා නේද?“ අසංක මං දෙස බලා සැක සහිත හඬින් ඇසුවේය.
මගේ පපුව මහා වේගයෙන් ගැහෙන්නට විය. මගේ ඉදිරිපිට සිටින මේ රළු මිනිසා... ආශාවරීගේ කවුද?
මම වහාම බිමට නැමී පෑන අහුලා ගත්තෙමි. මගේ දෑත් වෙව්ලන බව අසංකට පෙනෙන්නට නොදී සිටීමට මම උපරිමයෙන්ම උත්සාහ කළෙමි.
“නෑ... නෑ සර්... අතට දාඩිය දානවනෙ මේ රස්නෙට“ මම මගේ හඬ සාමාන්‍ය තත්ත්වයට ගනිමින් පැවසුවෙමි. නමුත් මගේ දෑස් නිරායාසයෙන්ම නැවතත් වාහනයේ ඉදිරිපස වීදුරුව දෙසට යොමු විය. ආශාවරී දෑත් පපුව මත බැඳගෙන, වෙව්ලන තොල්පටින් යුතුව ඉදිරිය බලාගෙන සිටියාය. ඈතින් පෙනෙන මගේ කාර්යාලය දෙස මිස ඇය මං දෙස එක එල්ලේ බැලුවේ නැත.
“හරි... මෙතන පිටිපස්සේ ඩැමේජ් එක සෑහෙන්න තියෙනවා නේද සර්?“ මම සටහන් පොත දිගහරිමින් ඇසුවෙමි.
“ඔව් මල්ලි. මං කිව්වේ ඊයේ රෑ පාර අයිනේ දාලා තියෙද්දී වැදුණේ කියලා. හැප්පුනු වාහනේ නම් අඳුරගන්න බැරි වුණා. හැබැයි මට මේක හෙට අනිද්දම හදාගන්න ඕනේ. ඒකට හරියන්න ක්ලෙම් එක ඉක්මන් කරලා දාල දෙන්න“ අසංක සිගරට් පැකට්ටුවක් අතට ගනිමින් තරමක් අණ දෙන ස්වරූපයෙන් පැවසුවේය.
“අපේ ඇසෙසර් සර්ට කතා කරලා මං අදම වැඩේ ලෑස්ති කරන්නම්. හැබැයි සර්... ක්ලෙම් ෆෝම් එකේ වාහනේ අයිතිකාරයා විදිහට තියෙන්නේ වෙන නමක්නේ?“ මම ලේඛන දෙස බලමින් සිතාමතාම ඇසුවෙමි. මට අවශ්‍ය වූයේ කෙසේ හෝ ආශාවරී ගැන යමක් දැනගැනීමටය.
අසංක සිගරට් එකක් පත්තු කරගෙන, මහා දුම් වළල්ලක් අහසට මුදා හරිමින් මං දෙස බැලුවේය. ඒ දෑස්වල තිබුණේ අකමැත්තකි.
“ඒ මගේ වයිෆ්ගේ නම මල්ලි. වාහනේ තියෙන්නේ එයාගේ නමට. ඒවයින් වැඩක් නෑනේ, ක්ලෙම් එක මගේ එකවුන්ට් එකට එන විදිහට හදන්න“ ඔහු රළු ලෙස පැවසුවේය.
‘වයිෆ්...‘
ඒ වචනය මගේ පපුව මැදට මිටියකින් ගැසුවාක් මෙන් විය. එසේනම්... ආශාවරී කියන්නේ මේ රළු මිනිසාගේ බිරිඳද? මට දරාගත නොහැකි වේදනාවක් සහ කලකිරීමක් දැනුණි. ඒ සමඟම මගේ සිතට මහා ලොකු අනුකම්පාවක්ද ඇති විය. මෙවැනි මිනිසෙකු සමඟ ඇය ගෙවන ජීවිතය කෙතරම් අපායක් වන්නට ඇත්ද?
මම වාහනයේ පිටුපස දර්ශන කිහිපයක් මගේ ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළෙමි. ඒ අතරතුර, මම සෙමින් වාහනයේ ඉදිරිපස දොර අසලට පියවර තැබුවෙමි. වාහනයේ වීදුරුව මඳක් පහත් කර තිබුණි.
“ළමයි දෙන්නත් එක්කමද සර් ආවේ?“ මම ආශාවරී දෙස හොරැහින් බලමින් අසංකගෙන් ඇසුවෙමි.
“ඔව් මල්ලි...“ අසංක පැවසුවේය.
ඒ මොහොතේ ආශාවරී සෙමින් මා දෙස බැලුවාය. ඇගේ දෑස්වල තිබුණේ මහා බියකි. ‘අනේ මෙතනින් යන්න... මාව අමාරුවේ දාන්න එපා...‘ කියා ඇය දෑසින් මගෙන් ආයාචනා කරන්නාක් මෙන් මට දැනුණි. එදා මෙන්ම අදත් ඇගේ දෑස් අග කඳුළු බින්දුවක් දිලිසෙමින් තිබුණි.
“හරි සර්... මං ඩැමේජ් රිපෝට් එක ලකුණු කරගත්තා. සර් දැන් යන්න. මං අවශ්‍ය උනොත් සර්ට කෝල් එකක් දෙන්නම්“ මම මගේ හදවත දැඩි කරගනිමින් පැවසුවෙමි.
“හරි මල්ලි... එහෙනම් අපි යන්නම්. වැඩේ ඉක්මනට කරලා දීපන් හොදේ“ අසංක වාහනයේ රියදුරු අසුනට ගොඩ වෙමින් පැවසුවේය. මිස්ටර්, මල්ලි අවසානයේ දීපන් ලෙසින් ඔහුගේ කතා විලශය වෙනස් විය. ඔහු කොයි වගේ මිනිසෙකුද යන්න වටහා ගන්න ඊට වඩා වැඩි යමක් මට අවශ්‍ය නොවීය..
ඔහු වාහනය පණගන්වා වේගයෙන් ඉදිරියට ධාවනය කළේය. වාහනය මගේ දෑස් ඉදිරිපිටින් ඇදී යද්දී, ඉදිරිපස අසුනේ සිටි ආශාවරී වාහනයේ පැති කණ්ණාඩියෙන් මා දෙස බලාගෙන යන අයුරු මම දුටුවෙමි. ඇගේ ඒ අසරණ මුහුණ මහ මඟ දුමාරය අතරින් නොපෙනී යනතෙක්ම මම පාර අයිනේ ගල්ගැසී බලා සිටියෙමි.
මගේ දෑතේ තිබූ ලියකියවිලි ටික මගේ පපුවට තද කරගනිමින් මම දිගු සුසුමක් හෙළුවෙමි.
“ආශාවරී... ඔයා මොන වගේ තත්වෙකද ඉන්නේ කියල මට හිතාගන්න පුළුවන්.. හ්ම්ම්ම්“ මම මටම මුමුණා ගත්තෙමි…
කාර්යාලයට පැමිණි පසුත් මගේ මනස තිබුණේ අසංකගේ වාහනයේයි. මම මේසය මත තිබූ ලිපිගොනු ටික පසෙකලා, පරිගණකය ක්‍රියාත්මක කර අසංකගේ වාහන අංකය පද්ධතියට ඇතුළත් කළෙමි. තිරය මත දිග හැරුණු රක්ෂණ හිමිකම් පත්‍රයේ හිමිකරුගේ නම දුටු මගේ ඇඟ කිලිපොලා ගියේය.
එහි තිබුණේ අසංක රණසිංහ යන නම නොව, මීට පැයකට පෙර මා මුවින් මිමිණූ ඒ ආදරණීය නමය.
“A. මන්දාරා ජයසුන්දර“
මම වාහනයේ ඩැමේජ් රිපෝට් එක සිස්ටම් එකට ඇතුළත් කරන අතරතුර, මගේ දෑස් නිරායාසයෙන්ම ඇගේ පෞද්ගලික විස්තර සොයා පියෑඹුවේය. විවාහයෙන් පසු අසංක ඇගේ වාහනය පාවිච්චි කළත්, මෙහි ලියාපදිංචි ලිපිනය ලෙස තිබුණේ කොළඹින් බැහැර, ඈත පළාතක නිවසක ලිපිනයකි. තවදුරටත් ෆයිල් එක පීරූ මට ඇගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය හමු විය. ඇගේ උපන් වර්ෂය දෙස බලද්දී මට වැටහුණේ ඇය මට වඩා වයසින් වසර දෙක තුනක් බාල, කෙල්ලක බවයි.
“ඇයි මේ වගේ අහිංසක කෙල්ලෙක් අර වගේ රළු මිනිහෙක් එක්ක හිර වුණේ?“ පරිගණක තිරය දෙස බලාගෙනම මම මගෙන්ම අසා ගත්තෙමි. රක්ෂණ ආයතනයක සේවකයෙකු ලෙස සේවාදායකයන්ගේ පෞද්ගලික තොරතුරු මෙලෙස සෙවීම සදාචාරාත්මක නොවන බව මම දැන සිටියෙමි. නමුත්, පැති කණ්ණාඩියෙන් මා දෙස බලාගෙන ගිය ඇගේ ඒ දෑස්, මගේ වෘත්තීය සීමාවන් සියල්ල බිඳ දමන්නට තරම් බලවත් වී තිබුණි.
මම මගේ ජංගම දුරකථනය අතට ගෙන, පරිගණක තිරයේ තිබූ ඇගේ දුරකථන අංකය මගේ දුරකථනයේ සටහන් කරගත්තේ නන්නාඳුනන බියකින් මගේ දෑත් වෙව්ලද්දීය.
ඇගේ අසරණ දෑස් මගේ මනසින් මකා දැමීමට මට වුවමනා වුවත්, හිත මුරණ්ඩු වී තිබුණි. මම ගැඹුරු හුස්මක් හෙළා, මේසය මත තිබූ මගේ බෑගයත් යතුරු කැරැල්ලත් අතට ගත්තේ කාර්යාලයෙන් පිටවීමටය. මට වහාම යා යුතුව තිබුණේ මගේ හිත නිදහස් කරගත හැකි එකම තැනටය. ඒ, මගේ මුළු ලෝකයම වුණු, මා හැරදා ගිය තාරූගේ මහගෙදරටය.
අවුරුදු දොළහක් ගත වුවද, තාරූගේ අම්මා සහ තාත්තා දෙස බලද්දී මගේ පපුව තවමත් පිච්චී යන්නාක් මෙන් දැනේ. අපේ ආදරයට ගෙවල්වලින් පවා කැමැත්ත දී, තිබියදී තාරූ අපව දමා ගියත්, මම අදටත් ඉඳහිට ඔවුන්ව බැලීමට මේ නිවසට පැමිණෙන්නේ ඔවුන් තුළින් තාරූගේ සුවඳ සෙවීමටය. ආශාවරීව හමු වීමෙන් පසු මම මේ ගෙදරට ආ මුල්ම වතාව මෙයයි.
“පුතා... මොකද මේ මූණත් එක්ක සුදුමැලි වෙලා“ තාරූගේ අම්මා මට තේ කෝප්පයක් දිගු කරමින් සොෆාව මත වාඩි වූවාය. මම ඇගේ මුහුණ දෙස බැලුවෙමි. වයස්ගත වී රැලි වැටුණු ඒ මුහුණේ තවමත් තිබුණේ තාරූගේම හැඩරුවය.
“නැහැ අම්මේ, පාරේ ටිකක් ට්‍රැෆික්“ මම තේ උගුරක් බොන ගමන්, සාලයේ බිත්තියේ ගසා තිබූ තාරූගේ සිනහව පිරුණු ඡායාරූපය දෙස බැලුවෙමි. මට නිරායාසයෙන්ම මතක් වූයේ අද දහවල මහමඟදී දුටු ආශාවරීගේ මුහුණයි. මගේ හිත ඇතුළෙන් මතු වූ අමුතුම කුතුහලය නිසා මම සෙමින් කතාවට මුල පිරුවෙමි.
“අම්මේ... අපේ තාරූ වගේම හැඩරුව, ඇස් දෙක පිහිටපු වෙන කවුරුත්... මං අහන්නේ ඈතින් හරි නෑදෑ වෙන සහෝදරියෝ, කසින්ලා කවුරුත් ඉන්නවද?“
අම්මා මඳක් පුදුම වී මා දෙස බැලුවාය. ඇය සාලයේ කෙළවරේ තිබූ තාරූගේ පරණ සේයාරුව දෙස බලා දුක්බර සිනහවක් පෑවාය. “මොන පිස්සුද පුතේ... අපේ පවුල් දෙකේම හිටපු එකම කෙල්ල අපේ තාරූ විතරයිනේ. ඈතකවත් නෑදෑ වෙන වෙනත් දරුවෙක් අපිට හිටියේ නැහැ. තාරූගේ තාත්තගේ පැත්තෙනුත්, මගේ පැත්තෙනුත් පරම්පරාවටම හිටියේ එකම එක කෙල්ලයි. ඒ අපේ දුව විතරයි පුතේ. ඒ වගේ තව කෙනෙක් මේ ලෝකෙම නැහැ...“
අම්මා කියාගෙන ගිය ඒ වචන මගේ කන් අඩි තුළ දෝංකාර දෙන්නට විය. නෑදෑයෙකු වන්නට කිසිදු ඉඩක් නැත! එසේ නම්, මා දුටු ඒ අදහාගත නොහැකි සමානකම කුමක්ද? එකම ලේ නෑදෑකමක්වත් නැතිව, මෙතරම් සමාන ඇස් දෙකක් සහ මුහුණක් තවත් කෙනෙකුට පිහිටිය හැකිද?
මගේ හිත ඇතුළේ තිබූ අභිරහස දැන් තවත් තදින් ගැට ගැසෙන්නට විය.
“ඇයි පුතේ එකපාරටම අද ඔය වගේ දෙයක් ඇහුවේ? කොහෙහරි හරි තාරූ වගේ කෙනෙක්ව දැක්කද?“ අම්මා මගේ මූණ දෙස බලා ඇසුවේ මගේ සිතුවිලි දාමය බිඳදමමිනි. ඇගේ දෑස්වල තිබුණේ කුතුහලයට වඩා අහිමි වුණු දියණිය ගැන යළිත් ඇවිස්සුණු දුකකි.
“නැහැ... නැහැ අම්මේ. මං මේ නිකන් ඇහුවේ. අද ඔෆිස් එකේදී පරණ යාළුවෙක් හම්බුණා, එයා මතක් කළා කැම්පස් කාලේ තාරූව දකිද්දී හැමෝම කියපු කතාවක්. ඒකයි මටත් හිතුණේ එහෙම කවුරුත් ඉන්නවාද කියලා අහන්න“ මම බොරුවක් ගොතා කියමින් අසල තිබූ තේ කෝප්පය අතට ගත්තේ මගේ මූණේ මැවෙන නොසන්සුන්කම වසාගන්නටය.
හරියටම ඒ මොහොතේ වත්තේ ගේට්ටුව ඇරෙන හඬත් සමඟ තාත්තා නිවසට පැමිණියේය. ටවුන් එකට ගොස් සිටි තාත්තා, සරම පොදිබැඳගෙන ඉස්තෝප්පුවට ගොඩවෙද්දී මාව දැක මුහුණට මඳ සිනහවක් නඟාගත්තේය.
“ආ පුතා... අද කලින්ම ඇවිත් වගේ“ තාත්තා කියද්දී, අම්මා හිස් තේ කෝප්පයත් රැගෙන තාත්තාට තේ එකක් ලෑස්ති කරන්නට කුස්සිය දෙසට පියනැඟුවාය.
අම්මා සාලයෙන් පිටවී කුස්සියට ගිය සැණින් මම ඉස්තෝප්පුවේ තිබූ ලී බංකුව මත වාඩි වී සිටි තාත්තා අසලට සෙමින් කිට්ටු වුණෙමි. අම්මාගේ හිත රිදෙන නිසා මේ වැනි දෙයක් ඇයට කෙළින්ම කිව නොහැකි වුවත්, පිරිමියෙකු ලෙස තාත්තා මගේ හිතේ ඇතිවන මේ කැළඹීම තේරුම් ගනු ඇතැයි මගේ යටිහිත කීවේය.
“තාත්තේ... මං අම්මට හොරෙන් කතාවක් කියන්න....“ මම හඬ බාල කර තාත්තාට පමණක් ඇසෙන සේ කීවෙමි. තාත්තා මඳක් පුදුම වී කල්පනාවෙන් මා දෙස බැලුවේය.
“මං සති දෙක තුනකට විතර කලින් වැව රවුම පැත්තේ යද්දී කෙල්ලෙක්ව දැක්කා තාත්තේ. එදා එයාගේ මූණ දැක්ක වෙලාවේ ඉඳන් මගේ හිතට මාරම අමුත්තක් දැනුණා. හැබැයි... අද දවල් මනුස්සයෙක් අපේ ඔෆිස් එකට ආවා වාහනයක ඩැමේජ් ක්ලේම් එකක් කරගන්න. මං ඒ රිපෝට් එක ලකුණු කරන්න වාහනය ගාවට යද්දී, ඒ කාර් එකේ ඉස්සරහා සීට් එකේ හිටියේ එදා වැව රවුමේදී මං දැකපු කෙල්ලමයි තාත්තේ...“ මම කියාගන්නට අපහසුවෙන් මෙන් දිගු සුසුමක් හෙළුවෙමි.
“ඇයි පුතේ, මොකක්ද වුණේ?“ තාත්තා මගේ නොසන්සුන්කම වටහාගෙන ඇසුවේය.
“ඒ කෙල්ලගේ මුහුණ... ඇස් දෙක... තාත්තේ හරියට අපේ තාරූ වගේමයි. මං හිතාගන්න බැරුව අදත් එතනම ගල්ගැසිලා ගියා. ඒ ආපු මනුස්සයා කිව්වේ ඒ එයාගේ වයිෆ් කියලා. ඒගොල්ලෝ ගියාට පස්සේ මං ඔෆිස් එකේ සිස්ටම් එකෙන් ඒ වාහනයේ ෆයිල් එක පීරලා බැලුවා. ඒක තිබ්බේ ‘ආශාවරී මන්දාරා ජයසුන්දර‘ කියලා ඒ කෙල්ලගේ නමට“ මම අම්මාට නෑසෙන සේ ඉතාමත් හෙමින් කියා දැමුවෙමි.
තාත්තා මගේ කතාව අසා මොහොතකට ගල් ගැසී ගියේය. ඔහුගේ දෑස් තුළ තාරූ වෙනුවෙන් තිබූ ඒ පරණ දුක යළි මතුවනවාත් සමඟම, මෙතරම් සමාන කෙනෙකු ලෝකයේ සිටිය හැකිද යන කුතුහලයෙන් ඔහුගේ වයස්ගත මුහුණ පිරී ගියේය. තාත්තා කුස්සිය දෙස බලා, මගේ උරහිසකට අතක් තබා හෙමින් මිමිණුවේය.
“මේ ලෝකේ එක වගේ මූණු තියෙන අය ඉන්න පුළුවන් පුතේ. හැබැයි මේ වගේ දේකින් ඔයා ආයෙත් හිත පෑරගන්න එපා. ඒ වුණත්... ඔයාගේ හිතේ නිදහස වෙනුවෙන් ඒ කෙල්ල කවුද කියලා පොඩ්ඩක් හොයලා බැලුවාට කමක් නැහැ“ තාත්තා මගේ පිටට තට්ටු කරමින් කියද්දී මගේ හිත තවත් තදින්ම ඒ ප්‍රශ්නයට උත්තර සෙවීමට මාව පෙලඹෙව්වේය.
“මං එහෙනම් ගිහින් එන්නම් තාත්තේ. කළුවර වේගෙන එනවා“ මම නැඟිට ගත්තේ මගේ හිත ඇතුළේ ඇති වන මේ ව්‍යාකූලත්වය තවදුරටත් දරාගත නොහැකි තැනය. අම්මා කුස්සියේ සිට සාලයට එද්දී මම යතුරුපැදිය අසලට ගොස් සිටියෙමි.
“පරිස්සමෙන් යන්න පුතේ. පුළුවන් වෙලාවක ඇවිත් යන්න එන්න අම්මයි තාත්තයි එක්කම“ තාරුගේ තාත්තා සහ අම්මා දෙදෙනාම නිවසේ ආලින්දයේ සිට පවසද්දී මම හිස සලා මගේ යතුරුපැදිය මහා මාර්ගයට දැමුවෙමි.
යතුරුපැදිය ධාවනය කරද්දී දෙතුන් ගමනක්ම මට සිතුනේ ආශාවරීට ඇමතුමක් ගන්නයි.. ඒත් හිත පාලනය කරගනිමින් නිවස බලා ගියෙමි..
ඒ සිදුවීමෙන් පසු සතියක පමණ කාලයක් ගෙවී ගියේය. නමුත් ආශාවරී මන්දාරා යනු කවුද යන ප්‍රශ්නය මගේ මනසින් මොහොතකටවත් ඈත් වූයේ නැත. ඇගේ දුරකථන අංකය දෙස බලාගෙන මම දිනකට කී පාරක් නම් කල්පනා කරන්නට ඇත්ද? නමුත් ඇයට ඇමතුමක් දීමට තරම් නිශ්චිත හේතුවක් හෝ ධෛර්යයක් මා සතු වූයේ නැත.
එදින කාර්යාලයේ රාජකාරි කටයුත්තක් සඳහා මට කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත යාමට සිදු විය. උදෑසනම කොළඹ බලා පැමිණි මම, මගේ වැඩකටයුතු අවසන් වන විට මධ්‍යහ්නය පසු වී තිබුණි. දැඩි හිරු රශ්මිය සහ කොළඹ නගරයේ අධික තදබදය නිසා මට දැනුණේ මහා විඩාවකි. මම මගේ යතුරුපැදිය පාර අයිනේ නතර කර, හිස්වැසුම ගලවා දහඩිය පිසදමමින් සිටියෙමි.
“මිලාන් මල්ලි නේද?“
එකපාරටම පිටුපසින් ඇසුණු හුරුපුරුදු කටහඬ නිසා මම හැරී බැලුවෙමි. මගේ දෑස් අදහාගත නොහැකි විය. කළු පැහැති සුඛෝපභෝගී මෝටර් රථයේ රියදුරු අසුනේ සිටියේ අසංකය. ඔහු රථයේ වීදුරුව පහත් කර මා දෙස බලා සුපුරුදු රළු, එහෙත් මිත්‍රශීලී සිනහව පාමින් සිටියේය.
“ආ සර්... කොහොමද?“ මම මගේ නොසන්සුන්කම සඟවා ගනිමින් ඇසුවෙමි.
“මල්ලි. වාහනයේ ක්ලේම් එක ඔයා ඉක්මනටම කරලා දීලා තිබුණා. ඔෆිස් එකෙන් මට කෝල් කළා සල්ලි පාස් වුණා කියලා. කොහෙද කොල්ලො තෑන්ක්ස් කරන්නවත් එන්න වෙලවක් තිබ්බේ නෑ. තැන්ක්ස් මල්ලි වැඩේ ලෙෆ්ට් වෙන්න නොදී ගොඩ දාලා දුන්නට“ අසංක වාහනයෙන් බැස මා අසලට එමින් පැවසුවේය.
“ඒක මගේ ඩියුටි එකනේ සර්. ප්‍රශ්නයක් නැහැනේ දැන්?“
“පිස්සුද බං, එවෙලේ සතේ අතේ නැතුව හිටියේ වාහනේ හදාගන්න. ඒක නෙවෙයි, දැන් ලන්ච් ටයිම් එකත් හරි නේ. බයික් එක මෙතනින් දාලා යන් මගේ කාර් එකේ. අද මං ගානෙ ලන්ච් එක රෙස්ටුරන්ට් එකකින්. බෑ කියන්න එපා“ අසංක මගේ උරහිසට තට්ටු කරමින් ඉතාමත් සුහදව ආරාධනා කළේය.
මගේ හිත ඇතුළෙන් ආශාවරීව යළිත් දැකීමේ බලවත් පෙරැත්තයක් ඇති විය. ඇයද වාහනයේ සිටිනවාදැයි බැලීමට මගේ දෑස් නිරායාසයෙන්ම කාර් එකේ වීදුරු අතරින් ඇතුළත සෙව්වත්, ඉදිරිපස අසුන හිස්ව තිබුණි. කෙසේ වෙතත්, අසංක හරහා ඇය ගැන යමක් දැනගත හැකි වේ යැයි සිතුණු නිසා මම ඔහුගේ ආරාධනාව ප්‍රතික්ෂේප නොකළෙමි.
අසංක මාව කොළඹ ප්‍රසිද්ධ, සුඛෝපභෝගී රෙස්ටුරන්ට් එකක් වෙත කැඳවාගෙන ගියේය. අප දෙදෙනා ඇණවුම් කළ කෑම මේසයට එනතුරු කතාබස් කරමින් සිටියෙමු.
හරියටම ඒ මොහොතේ අසංකගේ ජංගම දුරකථනය නාද වන්නට විය. තිරය දෙස බැලූ ඔහුගේ මුහුණේ තිබූ සුහද පෙනුම එකපාරටම අතුරුදන් වී, එතැනට ආවේ මහා රළු, නපුරු පෙනුමකි. ඔහු ඇමතුම ක්‍රියාත්මක කර කන තබාගත්තේ මහා අප්‍රසාදයකිනි.
“ඇයි තමුසෙට ඕන වුණේ?“ අසංක ඉදිරියේ සිටින මා ගැනද නොතකා ඉතාමත් තදින්, රළු හඬින් ඇසුවේය. ඇසෙන හඬ අනුව එය ආශාවරීගේ ඇමතුම බව මට වැටහුණි.
“මං දැන් ඉන්නේ බිස්නස් වැඩක කොළඹ. මට එන්න රෑ වෙයි. තමුසෙට ගෙදරින් එළියට බහින්න කිසිම වුවමනාවක් නැහැනේ. ගෙදරට වෙලා ඉන්නවා. මට වද නොදී ඕක තියනවා!“
ඔහු එකපාරටම ඇමතුම විසන්ධි කර දුරකථනය මේසය මත තැබුවේ කේන්තියෙනි. මගේ හදවත එකපාරටම නතර වුණාක් මෙන් දැනුණි. එදා ඇගේ ඇස්වල තිබූ ඒ මහා බියට හේතුව කුමක්දැයි දැන් මට මැනවින් පැහැදිලි වෙමින් තිබුණි.
අසංක දිගු හුස්මක් හෙළා, මා දෙස බලා අප්‍රසන්න සිනහවක් පෑවේය.
“ගෑනු හදන්න බැහැ මල්ලි... උන්ට ඕනෑවට වඩා නිදහස දුන්නොත් ඔළුවට අත හෝදන්න එනවා. මේ ගෑනු ඉන්න ඕනේ බං ගෑනු විදිහට ගෙවල්වලට වෙලා. හැම එකටම හොට දාන්න ආවම මල පනිනවා“ ඔහු කෑම පිඟාන දෙසට දෑත් දිගු කරමින් ඉතා සැහැල්ලුවෙන් පැවසුවේය. මම කිසිවක් නොකියා නිශ්ශබ්දව බලා සිටියෙමි. මගේ හිත ඇතුළේ කේන්තියක් සමඟින් ආශාවරී කෙරෙහි මහා අනුකම්පාවක් උපදිමින් තිබුණි.
“උඹ බැඳලාද ඉන්නේ මල්ලි?“ අසංක කට පුරා කෑම ලෝලක් හපන ගමන් මා දෙස බලා ඇසුවේය.
“නැහැ සර්... තවම නැහැ“ මම බිම බලාගෙන හෙමින් කීවෙමි. මගේ මනසට එකපාරටම ආවේ තාරූගේ රූපයයි.
“බඳින්න එපා බං! කවදාවත් ඒ කරුමේ නම් කරගන්න එපා. නිදහසේ ඉන්න ඕන තරම් කෙල්ලෝ ඉන්නවා. එකී විතරක් නෙවෙයි, ඕනම ගෑනියෙක් බැන්දට පස්සේ කරදරයක්. අපේ සල්ලිවලින් කාලා, අපේ වාහනවල ගිහින්, අන්තිමට අපිටම ලොකු ලයින් දාන්න එනවා. මං නම් දැන් ඕවට නටන්න යන්නේ නැහැ. ගෙදරට වෙලා ඉන්න කිව්වම ඉන්න ඕනේ... එච්චරයි!“ අසංක වීදුරුවට වතුර වත් කරගන්නා ගමන් මහා ඉහළින් කතා කළේය.
ඔහු තමන්ගේ පවුල් ජීවිතය ගැන, තමන්ගේ බිරිඳ ගැන කිසිදු ගෞරවයක් නොමැතිව පවසන ඒ වචන මගේ කන්වලට මහා වධයක් විය. තාරූ ජීවතුන් අතර සිටියා නම් මම ඇයව මගේ ඇස් දෙක මෙන් බලාගන්නා බව මගේ යටිහිත කෑගසා කීවේය. නමුත් මේ මිනිසාට ලැබී ඇති ඒ උතුම් වාසනාව, ඔහු පයින් තලමින් සිටින්නේය.
“ඇයි සර්... මැඩම් රස්සාවක් එහෙම කරන්නේ නැද්ද?“ අසංකගේ කටින්ම තවත් විස්තර දැනගැනීමේ අරමුණින් මම ඉතාමත් සූක්ෂ්ම ලෙස ඇසුවෙමි.
මගේ ප්‍රශ්නයට අසංක එකපාරටම මහා හයියෙන් හිනා වුණේය. ඒ හිනාවේ තිබුණේ මහා සමච්චලයක් සහ අහංකාරකමකි.
“රස්සාවක්? පිස්සුද බං මල්ලි... ඕකිට මොන රස්සාද? ඔය ඉන්න විදිහ හොඳ වැඩිවෙලා තමා ඔය වද දෙන්නේ“ අසංක කට පිසදමමින් වීදුරුවේ තිබූ වතුර ටික එක හුස්මට බී දැමුවේය.
“ඇයි සර්... මැඩම් ඉගෙනගෙන එහෙම නැද්ද?“ මම නැවතත් හැඟීමක් නැති ගාණට ඇසුවෙමි.
“ඉගෙන ගන්න කාලයක් තිබ්බේ නැහැ බං. ඕකි පොඩි කාලේ ඉඳන් හැදුණේ අනාථ නිවාසෙක. මීට අවුරුදු හතරකට විතර කලින් දවසක ඕකි මගේ වාහනේට හැප්පෙන්න ගිහින් යාන්තම් බේරුණා. මං ඉතින් බේරලා බලද්දී කෙල්ලගේ පෙනුමට මගේ හිත ගියා. මගේ කලින් වයිෆ් නැති වෙලා මං තනිවෙලා හිටපු කාලේනේ මල්ලි. ලොකු පුතා ඒ වෙනකොටත් අම්මා හොයන වයසෙ. ඉතින් මං මේ අනාථ කෙල්ලව කසාද බැන්දා. පොඩි එකා දැන් වයිෆ්ගේ. හැබැයි ඉතින් අනාථ නිවාසෙක හැදුණු එකීනේ කියලා මං ඕනෑවට වඩා ඔළුවට අත හෝදන්න දෙන්න යන්නේ නැහැ. ගෙදරට වෙලා ළමයි බලන් ඉන්න කිව්වම ඉන්න ඕනේ... එච්චරයි!“ අසංක මහා වීරයෙක් වගේ පපුව ඉස්සර කරමින් කියවන්නට විය.
අසංක ඊටපස්සේ කියවපු කිසිම දෙයක් මගේ කන්වලට ඇසුණේ නැත. මගේ මුළු ලෝකයම එකතැන නැවතී තිබුණි.
‘අනාථ නිවාසෙක හැදුණු කෙල්ලෙක්...‘
මගේ හදවත මහා දරුණු ලෙස ගැහෙන්නට පටන් ගත්තේය.
අවුරුදු දොළහකට පෙර මගේ දෑතින්ම මිහිදන් කළ මගේ තාරූ මේ ලෝකේ කොහේවත් නැති බව මම හොඳින්ම දනිමි. ඇය මිය යද්දී ඇගේ හිස මගේ පපුව මත තිබුණා මට අද වගේ මතකය. ඇය ආයෙත් පණ පිටින් එන්නේ නැත.
එසේ නම්... කිසිම ලේ නෑදෑකමකුත් නැති, අනාථ නිවාසෙක හැදුණු මේ ආශාවරී කියන කෙල්ලට තාරූගේම රූපය, ඒ ඇස් දෙකම පිහිටියේ කෙසේද? මේක දෛවයේ මොන වගේ සෙල්ලමක්ද?
මගේ දෑස්වලින් කඳුළු කැට කඩා හැලෙන්නට ඔන්න මෙන්න තිබුණි. මම මගේ දෑත් මිට මොලවා ගත්තේ මේසය ඉදිරිපිට සිටින අසංකගේ මූණ කුඩු වෙන්න පාරක් ගහන්නට තිබූ කේන්තිය වළක්වා ගනිමිනි. මගේ තාරූගේ රූපයම තියෙන මේ අහිංසක කෙල්ල, අද මේ නරුමයාගේ සිරකාරියක් වී විඳවන හැටි මට දරාගත නොහැකි විය.
“ආ මල්ලි... කන්නේ නැද්ද? මොකද එකපාරටම ගල් ගැසුණේ?“ අසංක මගේ මුහුණ දෙස බලා ඇසුවේය.
“නැහැ සර්... මට එකපාරටම ඔළුවේ කැක්කුමක් ආවා. මං... මං වොෂ්රූම් එකට ගිහින් එන්නම්“ මම වාරු වෙමින් බංකුවෙන් නැගිට්ටෙමි.
රෙස්ටුරන්ට් එකේ වැසිකිළිය තුළ ඇති කන්නාඩිය ඉදිරිපිට නතර වූ මම, එහි පෙනෙන මගේම රූපය දෙස බලා හති ඇරියෙමි. මගේ දෑස් රතු වී තිබුණි. මම වහාම මගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනය අතට ගත්තෙමි. එහි තිබුණේ ඇගේ දුරකථන අංකයයි.
ඇය තාරූ නොවන බව මගේ මොළය කීවත්, ඇගේ ඒ අසරණ මුහුණ වෙනුවෙන් යමක් කිරීමට මගේ හදවත මාව පොලඹවමින් තිබුණි. මම වෙව්ලන ඇඟිලිවලින් ඇගේ අංකය ඔබා, ඇමතුමක් ලබාගත්තේ මේ සිදුවන කිසිවක් මට තවදුරටත් ඉවසා සිටිය නොහැකි නිසාය. තත්පර කිහිපයක රීං හඬකින් පසු එහා පැත්තෙන් ඇමතුම ක්‍රියාත්මක විය.
“හෙලෝ...“
මහා බියකින් සහ වෙව්ලන හඬකින් යුතුව එහා පැත්තෙන් ඇසුණු ඒ ස්වරය මගේ කන් අඩි පුපුරුවා හැරියේය. ඒ කටහඬ පවා මට ඇසුණේ මගේ මියගිය කෙල්ලගේ හඬ වගේමය!
මම මොහොතක් ගොළු වී සිටියෙමි. මගේ උගුර කට වේලී ගොස් තිබුණි. එහා පැත්තෙන් තවමත් ඇසෙන්නේ ඇගේ නොසන්සුන් හුස්ම ගන්නා හඬ පමණි. මම මගේ හිත දැඩි කරගනිමින් කතා කළෙමි.
“හෙලෝ... ආශාවරී... ඔයාට මාව මතකද?“ මම ඉතාමත් සන්සුන්ව, ඒත් ආදරණීය හඬකින් ඇසුවෙමි.
“කවු... කවුද මේ? මට කතා කරන්න බැහැ. මගේ මහත්තයා දැනගත්තොත් මාව මරාවි“ ඇගේ කටහඬේ තිබූ මහා බිය දුරකථන තරංග ඔස්සේ මගේ පපුව පසාරු කරගෙන යනවාක් මෙන් මට දැනුණි.
“බය වෙන්න එපා ආශාවරී. මං අර... සතියකට විතර කලින් වැව රවුමේදී ඔයා එක්ක කතා කරන්න ආපු කෙනා. මම මිලාන්...“ මම වහා වහා මාව හඳුන්වා දුන්නෙමි.
“වැව රවුමේ...“
ඇය මගේ වචන කිහිපය කෙඳිරිල්ලක් මෙන් මුවින් පිට කළාය. මා දෙස බලා සිටි ඇගේ අසරණ දෑස් නැවතත් මගේ මනසේ මැවී පෙනුණි. නමුත් මට ඊට වඩා යමක් පැවසීමට ඇය ඉඩ තැබුවේ නැත.
ටූට්... ටූට්... ටූට්...
එකපාරටම ඇමතුම විසන්ධි විය.
මම ජංගම දුරකථනය දෙස බලාගෙන මහත් අසරණකමකින් යුතුව දිගු සුසුමක් හෙළුවෙමි. ඇය මහා බියකින් සිටින බව පැහැදිලිය. අසංක වැනි නරුමයෙකුගේ සෙවණැල්ල යට ඇය ගෙවන මේ නිරකාද ජීවිතයෙන් ඇයව මුදවා ගැනීමට මට නොබිඳිය හැකි බලවත් වුවමනාවක් ඇති විය. ඇය මගේ තාරූ නොවුණත්, මගේ තාරූගේම රූපය රැගත් මේ අහිංසක කෙල්ලව මේ විදිහට විඳවන්නට හැර බලා සිටින්නට මගේ පිරිමි හිත මට ඉඩ දුන්නේ නැත.
මම මගේ මුහුණට වතුර ස්වල්පයක් ඉසගෙන, නැවතත් මේසය වෙත පියනැඟුවේ මගේ ජීවිතයේ අලුත් අරගලයක් ආරම්භ වී ඇති බව මනසින් වටහා ගනිමිනි.
.......
මතු සම්බන්ධයි....
READ it
Click here to claim your Sponsored Listing.