Letters to Cookie
24/11/2025
මගේ කුකී,
අද අම්මම්මගෙ birthday එක. එයාට දැන් වයස අවුරුදු 61යි. ලොකූ ලංකාවෙ නැතත් මං චුට්ටි මාමට කියලා අම්මම්මට චූටි birthday treat එකක් arrange කරා. අම්මම්මා කියන්නෙ ලොකූගෙ වගේම පුතාගෙ අම්මිගෙත්, චුට්ටි මාමගෙත් ජීවිතේ අරටුව. ඒ වගේ අපේ ජීවිතවල ලොකුම සංවේදී තැන. මගෙ පුතා ලොකු වෙනකොට මේ දේවල් එහෙම වෙන්නෙ ඇයි කියලා තේරේවි. ඉතිං අපි දෙන්නම ඔයාගෙ මල්ලාවත් එකතු කරන් අම්මම්මට happy birthday කියමු.
ඔයා මගේ පණ.
මං,
ඔයාගෙ ලොකූ
මගේ කුකී,
ඊයෙ කතා කරාම ඔයා අසනීපෙන් ඉන්නවා දැකලා අම්මිට තරම්ම මටත් දුක හිතුනා පුතේ. කෙළවරක් නැතුව වෙනදට කියවන මගේ කොලු පැටියා හේබෑවිලා ගිහින්. මගේ පුතාට ඉකමනින් සනීප වෙයි. ලොකූ හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ මගේ පුතයි ඔයාගෙ මල්ලි බබයි සතුටෙන් සුවෙන් හැදෙන්න ඕනෙ කියලා.
මං ඔයාට ආදරෙයි, ඔයා මගේ පණ.
ලොකූ
මගේ කුකී,
ඔයා දැකලා තියෙනවාද ඉර බහිනවා. මං හිතන්නේ ලොකූගෙ ඉස්කෝලේ ඉස්සරහ බීච් එකේදි ඔයා දැකලත් ඇති. ඉර බහින වෙලාවට අහසෙ තියෙන පාට ඔයාට මතකද. ඉර ගින්දර වගේ පිච්චෙන කොට අහස රත්තරන් පාට වෙනව මගේ පුතේ.මං දන්නෙ නෑ ඔයාට කොයිතරම් දුරට ස්වභාවධර්මය විඳින්න පුරුදු වෙලා තියේවිද කියලා.
ලොකූ ආසම ඒ වගේම සොබාදහමේ අපූරු පාට දකින්න. මීදුමෙන් පිරුන ෆයිනස් වතු මැද්දෙන් වැටිච්ච අලු පාට දුඹුරු පාට පාරවල්, රෑට තරු පිරුණු අහස්, ඈත කඳු මුදුන්වල නිල් පාට, කටුවන කඳු පංතිවලට වැටෙන මහ වැස්සෙන් මඩ පාට වෙන කිරම ඔය, යාන්තම් ඔලුව උස්සන හොයම් පැල නිසා වෙල්වට් කොල පාටට පේන කුඹුරු යායවල්, අම්මම්මා වවපු මැජෙන්ටා පාට අඹ දාස් මල්, මැයි මල් ඇහැළ මල් රොබරෝසියා පිපෙන කාලෙට ඒ ගස් යට මල් පෙති වැටිලා හැදෙන රතු පාට කහ පාට වගේම ලා දම් පාට... ඒ හැම දෙයක් ඇතුලෙම ඔයා දකින්නේ ජීවිතේ. සොබා දහමේ තියෙන එක එක පාට අවස්ථා වගේම ඔයාට ජීවිතේ හම්බවෙන මිනිස්සුත් එක එක පාටයි. කාලෙත් එක්ක මගේ පුතා තේරුම්ගනීවි ඒ හැම පාටක්ම අපේ ජීවිතේ පාට කරන්න උදව් වෙන බව.
ඔයා මගේ පණ.
මං,
ඔයාගෙ ලොකූ
මගේ කුකී,
ඔයා තව අවුරුදු පහළොවකින් දාහසයකින් කියවද්දි මං මේ කියන දේවල් ඔයාට හරිම කම්මැලි හිතෙන දේවල් වෙන්නත් පුළුවන්.ඩෙල් ටොරෝ කියන කෙනා හදපු ෆ්‍රැන්කන්ස්ටයින් කියන ෆිල්ම් එක මං අද බැලුවා. එයා හදපු තව එකක් තමයි Shape of Water කියන්නෙත්.
1818 මේරි ෂෙලි කියන ලේඛිකාව තමයි ඉස්සෙල්ලම ෆ්‍රැන්කන්ස්ටයින් කියන චරිතය හදන්නේ. එයාගෙ පොත Frankenstein ;or the modern Prometheus.
ඔයා පොත් කියවන්න ආස ළමයෙක් වෙයි කියලා මං තුන් හිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒක එහෙම වුණොත් ඔයා සමහර විට ශෙලීගේ මේ කියන පොත කියවලත් තියේවි. මං මේ කතා කරන්නේ ඒ පොත ගැන නෙමෙයි ඒ පොත සම්බන්ධ කරගෙන හදපු ඩෙල් ටොරෝගේ ෆිල්ම් එක ගැන. මේ ලියුම ඔයාට ලියන වෙලාවේ ඔයාගේ ලොකු ඉන්නේ හදවත හිස් වෙලා. ඒ නිසාම ඒ චිත්‍රපටිය සමහරක් තැන්වලදී හරියට හිත රිද්දුව පුතේ. ආදරේ දැනෙනවනම් ගෑනියෙක් මෘගයෙක් ඉස්සරහ උනත් මෘදු වෙනවා කියලා ඔයා දවසක තේරුම් ගනීවි. සාහිත්‍ය කියවන්න කැමති දරුවෙක් වුණොත් ඔයාට සමහරවිට තේරේවි ඇයි හැමතිස්සෙම සාහිත්‍ය ඇතුලේ ගෑණු වැල් වලට සමාන වුනේ කියලා. ලෝකෙ හැදුවේ කවුරුු වුණත් එයා ගෑනු හදද්දි හයිය හිතක් වගේම දුර්වල හදවතකුත් දුන්න පුතේ. ඒ නිසාම ගෑණු බලන්නේ හැමතිස්සෙම ආදරේ තියෙන ගහක එතෙන්න.ඒකයි සාහිත්‍ය ඇතුලේ ගෑණු වැල් වගේ කියලා කියන්නේ. සමහර විට මං වැරදි ඇති. හැබැයි ඒක තමයි මෙච්චර කාලෙකට ජීවිතේ ඇතුළෙ මගේ කියවීම. ඔයා වයසින් වැඩෙනකොට තේරුම් ගනීවි දරුවෙක් වදන්න හයියක් තියෙන ගෑනියෙක් හරිම පුංචි වචනෙකින් හිත රිදෝගෙන කඳුළු පුරෝ ගන්නවා කියන එක. දවසක් මතකද ඔයාට මං කිව්වා අපි හැමෝම කැමතියි Storytellers ලට කියලා. ඒකට වෙන්නැති ගෑනුකම කියන්නේ පුතේ ගෑණු කියන්නෙම කනට ඇහෙන දේවල් වලින් බලාපොරොත්තු පොදි බඳින ජාතියක්.
ගෑනු හිතක් එක්ක ගණු දෙනු කරනකොට පරිස්සම් වෙන්න තරම් මගේ පුතා පරිණත පිරිමියෙක් වෙයි කියලා මං දවසක ආසාවෙන් බලාගෙන ඉන්නවා.ඔයාගේ ජීවිතේ අහම්බෙන ගෑණු චරිත ඇතුලෙ ඔයාගේ අම්මිවයි,ලොකූයි, අම්මම්මවයි දකින්න තරම් ඔයා වැඩුණු මිනිහෙක් වෙයි කියලා මං හිතනවා මගේ පුතේ. මට හැමදාමත් ඕනේ ඔයා ගහට කොළට සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් ආදරේ කරන හරිම සරල , සංවේදී කෙනෙක් වෙනවා දකින්න. සංවේදී හිතක් දරා ගන්න එක ලේසි නෑ මගේ පුතේ මං හිතනවා ඔයාට ඒක කරන්න තරම් හයියක් තියේවි කියල. ඔයා ලොකූගේ කුකි බෝල්ස් නේද ? ඔයා මගේ පණ නේ. ඉතිං ඔයාට පුළුවන් ඒක කරන්න. සමහරක් තැන්වලදී මට හිතිලා තියෙනවා සංවේදී හදවතක් තියෙන එක මහා සාපයක් කියලා පුතේ. හැබැයි අවුරුදු හතලිහකට පස්සේ මට දැන් හිතෙනවා සංවේදී හදවතක් කියන්නේ හරිම unique feature එකක්. හැමෝටම එහෙම හදවත් නෑ. තව කෙනෙක්ගෙ දුකක් වේදනාවක් වෙනුවෙන් කඳුළක් හෙළන්න හැමෝටම බෑ.ඉතින් මගේ පුතාට ලැබිලා තියෙන්නේ එහෙම හදවතක් කියල දැනගත්තොත් ඒ ගැන දුක් වෙන්න එපා සාප කරන්න එපා. සතුටු වෙන්න. ඔයා හරිම විශේෂ කෙනෙක් ඒකයි එහෙම හදවතක් ඔයාට ලැබිලා තියෙන්නේ.
මුළු ලෝකෙටම ආදරය කරන්න පුළුවන් මිනිහෙක් වෙන්න මගේ පුතේ. මං එතකම් බලාගෙන ඉන්නවා.
ඔයා මගේ පණ.
මං ඔයාගේ ලොකු
මගේ ආදර කුකී,
කාලෙන් කාලෙට අපේ ජීවිත වල කැමැතිම දේ වෙනස් වෙනවා. මගෙ පුතාට උනත් එහෙමයි. දැන් අවුරුද්දක් තිස්සෙ මං ආසම දේ මොකක්ද කියලා මගෙ පුතා දන්නවද? මං ආසම ලංකාවෙ එයාපෝට් එකේ arrival hall එකට අඩිය තියනකොටම ඔයා ඈත ඉඳන් "ලොකූ...im here" කියලා කෑ ගහන එකට. අම්මා කෙනෙක් වෙන එකේ ආසන්නම අත්දැකීම මට දෙන්නෙ මගේ මැණිකෙ ඔයා.
ගිය අප්‍රේල් ආවම මං ඔයාට මාත් එක්ක යමු කිව්වා මතකද. දවසක අපි කතා වුනා වගේම ප්ලේන් එකක කොහෙ හරි යමු. මං බලන් ඉන්නවා ඔයා තව චූටිත්තක් ලොකු වෙනකල්...
ඔයා මගේ පණ.
මං,
ඔයාගෙ ලොකූ
Tharangã Weerasinghe Pathirana
06/11/2025
Tharangã Weerasinghe Pathirana
06/11/2025
Click here to claim your Sponsored Listing.