Anu’s Sweet Memory Notes

Anu’s Sweet Memory Notes

Share

01/05/2026

26/04/26

“මං කඳුලු බිංදුවක්

සීතලට දැනෙන හිත රිදවන කඳුළු බිංදුවක්”

මේ ලිපි පෙළ ලියන්නට පටන් ගෙන දැනට පුරා මාස දහයක් ගත වී හමාරය. තැන තැන කොළ කෑලි වල ලියා තිබූ මේ සටහන් පිලිවෙලක් කර පළ කරන්න යැයි යෝජනාව ඔහුගේය. එහෙත් මා මුහුණු පොතේ නොසිටි අතර එවැන්නක් ඇරඹීමේ ප්‍රියතාවයක්ද නොවීය. ඉතින් එයට විසඳුමක් ලබා දෙමින් පුතා පැවසුවේ FB page එකක් විවෘත කර ඒ හරහා මෙම ලිපි පල කරමු යන්නය. එය එසේම සිදුවිය. මා ලිපි ලියූ අතර අවැසි ඡායාරූප එකතු කිරීමත් පලකිරීමත් සිදුවූයේ ඔවුන් දෙදෙනා හරහාය. සමහර සතිවල නොලියා සිටින විට ලියන්න යයි සිහිපත් කරන්නේ ඔවුන් දෙදෙනාය. ඉතින් ඒ සහයෝගය මත කොටස් විසි නවයක් දක්වාම මේ සටහන් පෙළ ඇදි ගියේ බොහෝ අතීත මතක නැවත නැවතත් ආවර්ජනය කරමින් සහ විටින්විට හමුවූ සොඳුරු මිනිසුන් සෙනෙහසින් සිහිපත් කරමිනි.

මේ සටහන් පෙළ හරහා දන්නා හඳුනන බොහෝ අය ඒකරාශී වූ අතර කිසි දිනක නොහඳුනන පාඨක පිරිසක්ද විය. එවන් වූ සමහර අය දක්වන අදහස් මා කියවූයේ බෙහෙවින්ම ආශාවෙනි. මගේ ලිවීම හරහා සමහරුන්ට තමන්ගේ අතීත සිදුවීම පවා සිහිපත්ව තිබිණි. සමහරු එවන් වූ සිදුවීම් මා හා පෞද්ගලිකව බෙදා ගත් අතර තවත් සමහරු එවන් දේ ලිපි පෙළටම එකතු කරමින් ලිවීම තව තවත් රසවත් කර තිබිණි.

එහෙත් එක් ගැටළුවක් විය. මා අනිත් අය ලියන comment බැලූ අතර ඒවාට උත්තර ලිවීමේ හැකියාවක් මට තිබුණේ නැත. ඒ මා FB නොසිටි නිසාවෙනි. අනෙක් අතට මේ ලිපි පෙළ වෙනුවෙන් පමණක් ම මුහුණු පොතක් විවෘත කර ගැනීමද මට ඇවැසි වුයේ නැත. ඉතින් ඒ අතරේ සමහර වැරදි වැටහීම්ද තිබූ බව පසුකාලීනව මට පසක් විය. සමහරු ඔවුන්ගේ comment වලට පිළිතුරු බලාපොරොත්තුව සිට ඇති අතර එසේ නොකිරීම හේතුවෙන් මා හා අමනාපකම්ද ඇතිකර ගෙන තිබිණි.

විශේෂ අවශ්‍යතාවයකට මා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරා තිබූ පාසලේ නැගණියක පසුගිය සටහනක සුහද දෝෂාරෝපණයක් එක්කරමින් පවසා තිබුණේ එය මගේ ‘අහංකාරකම” යැයි සිතූ බවය. ඇගේ සිතිවිල්ල වැරදි බව සුහද හමුවේ මුණගැසීමෙන් පසු ඇය අනිවාර්යයෙන්ම පසක් කරගන්නට ඇත. ඒ වදන් පෙළට හීනියට හිත රිදී ගිය බව නම් නොකියාම බැරිය.

ඒ මගේ සිත ගැන නිවැරදිම තක්සේරුව ඇත්තේ මා ළඟවීමය.
මට ජීවත්වන්න අවශ්‍ය වන්නේ සරලවය. එය එදිනෙදා කටයුතු වලට බොහෝ පහසුවකි. හිතට නිදහසකි. මිත්‍ර සංගමයට මා බෙහෙවින් ප්‍රියය. යහළුවන්ට මා ගැන දැනෙන්නේ කෙසේදැයි මා දන්නේ නැත. එහෙත් මට ඔවුන්ව හොඳින්ම දැනේ. නිතර කතාබහේ නොයෙදුනත් සමහරු බෙහෙවින්ම හිතට සමීපය. සමහරු හිතාමතා කරන රිදවීම් දැනුනත් නොදැනුනාසේ අමතක කර දමන්නට මට හැකිය. එහෙයින් මට සීයලුම යහළුවන් යහළුවන්මය.

කෙසේ වුවත් වගකීම් දරන යුතුකම් අකුරට ඉටුකරන අපේ පරපුර ගැන මට ඇත්තේ සතුටකි. අපෙන් පසුව එන පරම්පරාවල එවන් වූ කටයුතු සාර්ථකව ඉටුවේදැයි සිතීම බෙහෙවින් ගැටලු සහගත යැයි මට විටින් විට සිතේ. රට හැර යාම, අධික කාර්යබහුල වීම ඉදිරියේ කවරාකාර වූ තත්ත්වයක් ඇතිවේදැයි සිතීම උගහටය. අප අදටද වගකීම් සහගත යුතුකම් ඉටුකරන කණ්ඩායමකි. අනුන්ගේ දුක අපේ දුකකි. සමීපතමයින් හා එක්ව සතුට බෙදා ගැනීම අපට බෙහෙවින්ම ප්‍රිය දෙයකි.

යුතුකම් ඉටු කිරීම අතරින් අපේ පරපුර සිටින්නේ පළමු තැනය. එහෙත් වර්තමාන පරපුරට ඇති පැවතුම් ඊට හාත්පසින්ම වෙනස්ය. ඔවුන්ගේ සිතුම් පැතුම් ආකල්ප බෙහෙවින්ම සංකීර්ණය. ඉතින් අප වියපත්ව යන විට සමාජය, පරිසරය කවරාකාරවේදැයි දැන් සිටම අනාවැකි පළ කරන්නට නොහැක.
එහෙත් එය බොහෝ සුන්දර වනු ඇතැයි සිතිය නොහැක.
එහෙයින් අද දවස හැකි උපරිම සතුටින් ගත කරන්නටත්, යාලු, හිත මිත්‍රාදීන් සමග සබඳතා පවත්වන්නටත්, හැකි පමණින් පිනක් දහමක් කරගන්නටත් යොදාගත යුතුමය. මක්නිසාදයත් මේ කිසිදු දෙයක් තමන්ට අවැසි පරිදි කිරීමට නොහැකි වෙන කලක් උදා වූ කල්හි මැරී යන්නට සිද්ධ වන්නේ සතුටින් සිටින අනික් මිනිසුන් හා වෛරයෙනි.

එවැන්නක් නොවන්නට නම් ජීවිතය සතුටින් විඳීම සිදු කළ යුතුමය.

සැමට සතුට පිරුණු හෙට දවසක් උදා වේවා !!!

Anusha Kapugama

Photos from Anu’s Sweet Memory Notes 's post 31/03/2026

විසි අට වන දිගහැරුම

01/04/26

වසර 45 ක් පිටුපසට කල —

කාලතරණය.

සදා අමතක නොවෙන පොඩි ඉස්කෝලේ ( දැන් එය මහා විද්‍යාලයකි) වාර්ෂික සුහද හමුවට සහභාගි වීමේ අවස්ථාව ප්‍රථම වතාවට මාහට උදාවන්නේ මේ වසරේය. පසුගිය වසරේ ජුනි මාසයේදී නන්දා ටීචර්ට පින් සිදුවන්නට පොඩි ඉස්කෝලේ ආදි ශිෂ්‍ය සංගමයට එකතු වීමට වරම් ලැබුණු අතර ඉන් ඔබ්බට අප්සරා නංගිගේ දැනුම්දීමෙන් එකම පන්තියේ එකට අකුරු කළ යහළුවන්ගේ what’s app සමූහයට එකතු වීමට මට හැකියාව ලැබුණි.

Live & Love නම් වූ ඒ සංසදය බෙහෙවින් සුහද වූ අතර දහසකුත් එකක් වැඩ රාජකාරි අතරේ එයට පැමිණෙන පණිවිඩ නොකඩවා බලන්නට තරම් ඒ බැඳීම් පහුගිය මාස කීපය ඇතුළත බෙහෙවින් තීව්‍ර විය.

මාර්තු 29 වැනිදාට පැවැත්වෙන සුහද හමුව පිළිබඳ සටහන එහි පළවන්නේ මෙයට මාසයකට දෙකකට පෙරය. මොන වැඩේ තිබ්බත් සියල්ලම අතහැර දමා මේ සඳහා නම් සහභාගි විය යුතුම යැයි තීරණය කරන්නේ අවුරුදු 45 කට පසු කුඩාම කල එකට ශිල්ප හැදෑරූ සොයුරු, සොයුරියන් දැක ගැනීමේ නොනිමි ආශාව නිසාමය.

ඉන් අනතුරුව what’s App එක පිරී යන්නේ මේ සුහද හමුව පිළිබඳ සාකච්ඡා වලිනි. මේ කටයුත්තට හොඳ අඩිතාලමක් දෙමින් ලකි පවසන්නේ පුළුවන් තරම් 88 කණ්ඩායමට යහළුවන් එකතු කරගන්නා ලෙසත් ඒ සියලු දෙනාගේම අනුග්‍රහය ඔහු දක්වන බවත්ය. ඒ භාරදූර වගකීම භාරගත් රෝහිත සියලු දෙනා ඒකරාශි කිරීමට අප්‍රමාණ වෙහෙසක් දරන්නේ තමාරා, රංජනී, ප්‍රියන්ති ඇතුළු අනිත් යහළුවන්ගේද සහයෝගය ඇතුවය.
ඒ අතරතුර ලකී පවසන්නේ එකම එක කතාවකි.

“පුළුවන් තරම් යාළුවො එකතු කරගන්න. කීයක් හිටියත් මම sponsor කරනවා” යන සුන්දර වදන් පෙළම පමණකි.
බොහෝ දුර ගිය ඒ කර්තව්‍ය අන්තිමට නවතින්නේ 41 දෙනෙකු කණ්ඩායම සඳහා එකතු කර ගැනීමෙනි.
අපේ කණ්ඩායම පහසුවෙන් හඳුනා ගැනීමට සහ විශේෂත්වයක් පෙන්වීමට එකම පාටකින් ඇඳුම් අඳිමු යැයි යෝජනාව ගෙන එන්නේ මාය.

එහෙත් එහිද බර පැන දරන්නට ලකී ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන්නේ සියලු දෙනාටම T-shirt පිළියෙල කිරීමේ කටයුත්ත රෝහිතට භාර කරමිනි. එසේ සූදානම් කළ T-shirt රෝහිත බොහෝ අයගේ අතටම ලබා දී තිබුණේ ඔහුගේ වියදමිනි.
ඉතින් අනතුරුව අපට ඉතුරුව තිබුණේ සුන්දරව සැරසී අවස්ථාවට සහභාගී වීම පමණකි.

ලකීත්, රෝහිතත් එකතුව කළ මේ මහඟු කර්තව්‍ය ගැන ලියන්නට වචන නැත. අද කාලයේ හැටියට කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් මුදලක් සහ තම කාලය වැය කරන්නේ එයින් තමාට ප්‍රයෝජනයක් ඇත්නම් පමණි. ඒ අතින් ගත් කල ලකීලා ,රෝහිතලා බෙහෙවින් සොඳුරු, සුන්දර හදවත් ඇති පුද්ගලයින්ය. දයාබරම යහළුවන්ය. තමන් තනියම සතුටට පත්වනවාට වඩා සියලු දෙනා ඒකරාශී කොටගෙන සතුටට පත්වීම, තවත් කෙනෙකුට ප්‍රීතියක් ලබාදීම උතුම් කාර්යයකි. ඔවුන් සියලුම යහළුවන් වෙනුවෙන් ඒ කටයුත්ත සිදුකොට හමාරය.

එතනින් නොනැවතුන රෝහිත උත්සව අවස්ථාවේ පවා පෞද්ගලිකව අපගේ සුවපහසුව ගැන සොයා බැලූ අයුරුත්, අවශ්‍ය අයට ප්‍රවාහන පහසුකම් පවා සැපයූ අයුරුත් ඇත්තෙන්ම අපූරුය. එය වගකීම් සහගතවීමේ උපරිමයැයි කීවාට වරදක් නැත.

උත්සව අවස්ථාව ගැන නම් කියා වැඩක් නැත. එය එපමණටම සුන්දරය. 1981 දී හයේ පන්තියට ආනන්ද බාලිකාවට යන්නට පෙර මා වසර පහක්ම ඉගෙනුම ලැබුවේ එවකට නැගෙනහිර ඇරැව්වල ධර්මපාල කනිටු විදුහල නම් වූ අද නැගෙනහිර ඇරැව්වල ධර්මපාල මහා විද්‍යාලය ලෙස හැඳින්වෙන සොඳුරු යහළු යෙහෙළියන් සිටි මේ පාසලේය.

ඒ මෙයට වසර 45 කට පෙරය. එවකට අප සියලු දෙනාගේම වයස අවුරුදු දහයකි. අද මා ඔවුන් යලි දකින්නේ වසර හතළිස් පහකට පසුවය. එදා සිටි හුරතල් පොඩි එවුන් අද මහා මිනිසුන්ය. සමහර රූප හිතේ තිබුණත් සමහරුන් නම් හඳුනාගන්නටම බැරිය. නම කීවත් මතක් වෙන්නේ නැති තරම්ය. ඒත් ඒ හැමදෙනාම යාළුවෝය. කූඩාම අවධියේ එකට සෙල්ලම් කල, මේසයට, පුටුවට රණ්ඩු කළ යාළුවෝය. ඉතින් ඒ හමුවීමේ සුන්දරත්වය ගැන කියා නිම කරන්නට වචන මදිය. නැටුම්, ගැයුම් වලින් පිරුණු උත්සව අවස්ථාවේ උපරිම සතුට අප ලබා ගත්තේ තවත් වසරක්ම මේ වෙනුවෙන් බලා සිටින්නට වෙනවා නොවේදෝ යැයි සිතමිනි.

ඒ අවස්ථාවේ අපට මගහැරුණු තවත් එක් යහළුවෙකු විය. ඒ ඊශාය. ඔහුගේ අඩුවද කණ්ඩායමේ සැමට සිහිපත් වූ කරුණකි. ලබන වසරේ කෙසේ හෝ අප හා එකතු වන්නට ඔහුද පෙරුම් පුරනවා නියතය.

මේ උත්සව අවස්ථාවේ සංවිධාන කටයුතු මැනවින් සිදුවී තිබුණු අතර නිවේදන කටයුතු කළ මල්ලී ගේ වාග් විලාශය මනරම්ය. ගීත ගායනා කළ සැම (යමුනා සහ ඇයගේ පුතණුවන්ද ඇතුළුව) එහි දොසක් කියන්නට කිසිවෙකුටත් ඉඩ තබා තිබුණේ නැත. ලේකම් තනතුර දැරූ අප්සරා නංගී ඇතුළු සංවිධායක මඩුල්ල තම කාර්යභාරය උවමනාවටත් වඩා ඉටුකොට තිබිණි. ( මේ සඳහා වෙහෙසවූ අනිත් අයගේ නම්, ගම් ලියන්නට මා දන්නේ නැත. එබැවින් එසේ නොකිරීම ගැන අමනාප නොවන ලෙස ආදරයෙන් සිහිපත් කරමි).

එමෙන්ම අප කණ්ඩායමේ නිශා පෙරේරා සොයුරිය අනුග්‍රාහක දායකත්ව කීපයක්ම සිදු කොට තිබුණු බවත් දකින්නට තිබිණි. තවත් අනුග්‍රාහකයන් ද සිටින්නට ඇත. නම් ගම් නොදන්නා නිසා සිහිපත් නොකිරීම ගැන සමාව අයදිමි.

සමස්තයක් ලෙස ගත්කල ඒ සොඳුරු දිනය අප වෙනුවෙන් උදා කිරීමට වෙහෙස මහන්සි වූ සියලු දෙනාටම හදවතින්ම ස්තුතිවන්ත වන අතර ජීවිතයට විරාමයක් ලැබී නොතිබුණොත් නැවතත් ලබන වසරේ අපේ හමුවීම සිදුවිය යුතුම යැයි අපේක්ෂිතව සිටිමි.

ඉතින් මග බලා ඉමු
ආයෙමත් මුණ ගැහෙන්නට
එදා මෙන් සෙනෙහසින්
දයාබර හදවතින්….

“ආදරෙයි යාළුවනේ හැමදාමත්”

Anusha Kapugama

[email protected]

Photos from Anu’s Sweet Memory Notes 's post 21/03/2026

27 වන දිගහැරුම

21/03/26

“නීලා මරික්කාර්” නම් වූ ඇය

ඒ 2004 වසරේ ඔක්තෝබර් මාසයයි. මා ග්‍රාන්ට් ආයතනයට සම්බන්ධ වන්නේ ඔක්තෝබර් 18 වන දිනය. එවකට පරිපාලන කළමනාකරු වූ ඡයරත්න මහතා විසින් මෙහෙයවන ලද සම්මුඛ පරීක්ෂණ දෙකකට පසුව පරිපාලන අංශයේ සේවයට එකතු වුවද ආයතන ප්‍රධානිය වූ නීලා මරික්කාර් මහත්මිය මට මුණ ගැසෙන්නේ ඉන් දින කිහිපයකට පසුවය. සුහද සිනහවකින් මුව සරසාගෙන මා පිළිගත් ඇය කෙතරම් සුන්දර දැයි මට පසක් වෙන්නේ ප්‍රථම හමුවීමෙන්මය.

සිහින් උස සිරුර ඇගේ පෙනුමට අපූරු සුන්දරත්වයක් එක් කර තිබූ අතර සිත් ඇද ගන්නා සුළු කතා විලාශය මනස්කාන්ත විය. ඉන් අනතුරුව නිතර ඇය මුන නොගැසුනත් මගේ රාජකාරී කටයුතු ගැන ඇයගේ විශාල අවධානයක් ඇති බව බොහෝ අවස්ථාවන්හිදී මට පසක් විය.

සේවයට එකතු වී මාස කිහිපයකින්ම එවකට පරිපාලන කළමනාකරු වූ ජයරත්න මහතා වෙනත් අංශයක ප්‍රධානියා බවට පත්වූ අතර මා සහකාර කළමනාකාරීනි තනතුරට උසස් වන්නේ ඇයගේ අදහසට අනුවය. ඉන් ඔබ්බට ප්‍රධාන කළමනාකරුවෙකු නොවූ බැවින් ඇත්තෙන්ම මට වැඩ කරන්නට සිදුවූයේ ප්‍රධාන පරිපාලන කළමනාකාරීණි තනතුරේය.

එවකට ආයතනයට පැමිණ මාස කීපයක් පමණක් වූ බැවින් මට හැම අතින්ම උදව් සැපයූයේ පරිපාලන අංශයේ පරණම සාමාජිකයන් දෙදෙනෙකු වූ බොබී සහ කීර්තිය. සෑම මොහොතකම සිනහවෙන් සිටින ඔවුන් දෙදෙනා පුදුමාකාර විනෝදකාමී චරිත දෙකක් විය. ඒ නිසා කොතරම් වැඩ තිබුණත් පරිපාලන අංශය නිතරම සිනාවෙන් පිරුණු තැනක් විය.

150 කට අධික කාර්ය මණ්ඩලයක පරිපාලන කටයුතු ලෙහෙසි පහසු නොවුනත් මගේ පෙර පිනකට මෙන් ඇය ඇතුළු ප්‍රධාන කළමනාකාරීත්වයේත් සහයෝගය නිරතුරුවම ලැබීම මා ලැබූ භාග්‍යයක්ම විය.

ඉන් අනතුරුව මට බොහෝ විට වැඩ කරන්න සිදු වූයේ මරික්කාර් මහත්මිය සමඟ වීම ඛෙහෙවින් භාරදූර කර්තව්‍යයක් විය. එය බෙහෙවින් සුන්දර විටෙක දුෂ්කර කර්තව්‍යක් බව වැටහෙන්නේ ටික දිනකිනි. ඇය මට පවරන යම් වගකීමක් නියමිත දිනට පෙර කළ යුතු වග මට පසක් වන්නේ ඇයගේ ඊළඟ ඇමතුමේදීය. කාර්ය අන්තිම තිතට සරිවිය යුතු බව දෙවනුව මා වටහා ගනියි. පැවරුණු කාර්යයක් නියමිත පරිදි ඉටු කරනු විනා නිදහසට කරුණු අවැසි නැති බව මට ම අවධාරණය වේ. මා නිවැරදි මග පෙන්වීමකට යොමු වී ඇති බවත් බලාපොරොත්තු වූවාටත් වඩා ලොකු වගකීම් දරන්නට පුහුණු වෙමින් පවතින බවත් මට වැටහෙන්නේ පැවරුණු සැණින් කෙසේ කරන්නේදැයි සිතූ යම් යම් දේ බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් ඉටුකරලීමට හැකියාවක් ලැබෙමින් පවතිද්දීය.

තවත් වසරක් හමාරක් ගත වන විට මා Administration Manager තනතුරට උසස් වෙද්දී එහි ලොකු විශේෂත්වයක් නොවූයේ මා ඒ වන විටත් සිටියේ එම තනතුරේම වැඩ කරමින් වීමෙනි.

මේ කාලවකවානුව ඇතුළත කාර්යාල පරිශ්‍රය ස්ථාන කීපයකට වෙනස් වූ අතර එවැනි වගකීම් සහගත කාර්යයන් ඉටු කරන අතරේ යම් වාද විවාද ඇති වුවත් ඒ නොහොඳ නෝක්කාඩු සිතේ පැවතියේ ඇයගේ ඊළඟ ඇමතුම පැමිණෙන තෙක් පමණි. සුපුරුදු දයාබරිත හඬින් මා අමතද්දී මා අතින් සිදුවී ඇති අතපසුවීම ගැන මට ඇතිවන්නේ පශ්චත්තාපයකි.

එහෙයින් ඉන් ඉදිරියට අතපසුවීම් නොකරන්නටත්, ඉක්මනින් ඉලක්ක කරා යන්නටත්, යම් කාර්යයක් නිමවූ සැණින් මට නැවත පවසන්නට පෙර එහි දෙවැනි පියවරට යන්නටත් මා උත්සුක වෙමි.

මේ ඉතිහාසයට දැනට වසර 22 කි. අද වන විට රැකියාවට අදාළ වූ ඕනෑම කර්තව්‍යයක් ඉතා කාර්යශූරව ඉටුකරලන්නටත්, ඇගේ අභිමතය පරිදි ඕනෑම වගකීමක් දරන්නටත් තරම් මා පන්නරය ලබා හමාරය. රැකියාවේ එන යම් යම් අභියෝග දරා ගැනීම කාන්තාවක ලෙස වුවත් සුළුපටු කරුණක්ව ඇත්තේ මා ඇය අනුගමනය කරමින් දිරිමත් කතක් බවට පරිවර්තනය වී ඇති බැවිනි.

මා ඇයට ගරු කරමි. හිස නමා ආචාර කරමි. පීඩනයට හසු වූ මැණිකක් දියමන්තියකට පරිවර්තනය වන්නාක් මෙන් රාජකාරියේදී ඇය මා හැඩ ගැසූ ආකාරය ප්‍රශංසනීය යැයි කිව යුතුමය. ආයතන ප්‍රධානියෙකු සතු විය යුතු කාර්යභාරය ඇය මා වෙනුවෙන් මේ වන විට මැනවින් ඉටුකොට හමාරය.

පසුගිය කාලයකදී අන්තර්ජාතික සමාගමක් බවට පත්ව Dentsu Grant ලෙස නාම පරිවර්තනයක් වූ සුපුරුදු ආයතනයේ 22 වෙන වසරටත් මා ඇය සෙවනේම සේවය කරන්නේ අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා මට ලබා දී ඇති නිදහස, මගේ ස්ථාවරය ගොඩනගා ගැනීම සඳහා මට දී ඇති අයිතිය, ඕනෑම කරුණක් ඇය හා සාකච්ඡා කොට විසඳාගැනීමට ඇති හැකියාව, යම් වැදගත් තීන්දු තීරණා සඳහා මගේ අදහසට වටිනාකමක් ලබාදීම වැනි දහසකුත් එකක් කරුණු කාරණා නිසාමය.
ඇගෙන් මා දකින විශේෂම ගුණාංගය නම්, ප්‍රීතිදායක අවස්ථාවකදීත්, සාමාන්‍ය අවස්ථාවේදීත් සහ බෙහෙවින් ගැටලු සාහගත අවස්ථාවකදීත් ඇගේ මුහුණේ ඇත්තේ එකම සුන්දර සිනා රැල්ලක් වීමය. ඒ අභියෝග දරා ගැනීමේ ශක්තිය යැයි මා සිතමි.

එහෙයින් මේ ප්‍රාර්ථනය කරන්නේ සියලු දෙනාම වෙනුවෙනි. ඒ සුන්දර සිනහව තව බොහෝ කාලයක් මේ ආයතනය තුළ රැඳෙන්නටත්, ඇයට නිදුක් නිරෝගී සුවයම ලැබෙන්නටත් හදවතින්ම ප්‍රාර්ථනය කරමි.

ආයතනය ගැන සඳහන් කිරීමේදී සෑම කටයුත්තකදීම සහයෝගය දක්වන ප්‍රධාන කළමනාකාරීත්වයේ සභාපතිනි ලයිලා ගුණසේකර මහත්මිය සහ මූල්‍ය අධ්‍යක්ෂ රොමේෂ් ප්‍රනාන්දු මහතා ගැන ද සිහිපත් කළ යුතුමය.

Anusha Kapugama

[email protected]

01/03/2026

විසිපස් වන දිගහැරුම

Grant නම් සොඳුරු නිවස…

01/03/2026

පුතුගේ උපතින් වසර එකහමාරකට පසු නැවතත් රැකියාවකට යා යුතු යැයි මට සිතෙන්නේ ඔහු අධ්‍යාපනය ලැබීමට පටන් ගැනීමේදී මා කරන්නේ කුමක්දැයි වැටහුණු බැවිනි. ඉල්ලුම් කළ ආයතන අතරින් මා බෙහෙවින් ප්‍රිය වූ ස්ථානයකින් සම්මුඛ පරීක්ෂණය සඳහා ඇරයුමක් ලැබෙන්නේ මේ අතරය. එය එකල Grant Maccann Erickson නමින් හැඳින්වූ අංක එකේ වෙළඳ ප්‍රචාරණ ආයතනයි. මේ ආයතනයට සම්බන්ධ වීමේ නොනිම් ආශාවක් මා තුළ පැවතියේ කලක සිටය.

එයට බොහෝ කලකට පෙර මා මෙම ආයතනයට සම්බන්ධ වීමට සම්මුඛ පරීක්ෂණයක් සඳහා සහභාගී වූ අතර එදා සිදුවූ යම් අපැහැදීමක් හේතුවෙන් ඒ අදහස අතහැර දමන්ට සිදුවූවත් ආයතනය ගැන තිබුණේ කැමැත්තකි.

එදවස මා එහි ගියේ මේ දැවැන්ත වෙළඳ ප්‍රචාරණ ආයතනයට පිටපත් රචිකාවියක් ලෙස සම්බන්ධ වීමටය. ඒ අවස්ථාවේ මා සම්මුඛ පරීක්ෂණයට ලක්කල ප්‍රවීණයා සිටියේ සිගරට්ටුවක් දල්වා ගෙනය.

දුම් වළලු පිට කරමින් ( එවකට අද මෙන් තහනමක් තිබී නැත)ඔහු මගෙන් ප්‍රශ්න ඇසූ ආකාරයත්, මා එවකට උපයමින් සිටි වැටුපට වඩා තුන් ගුණයක් පමණ වැටුපක් යෝජනා කිරීමත්, ඊළඟ සතියේ සිට සේවයට වාර්තා කරන ලෙස පැවසීමත් මට රිසිවූයේ නැත. එම නිසා ඉන් අනතුරුව මා එහි පැත්ත පළාතේවත් ගියේ නැත.

එයට තවත් අවුරුදු දහයකට පමණ පසු මා එම ආයතනයේ දකින්නේ පරිපාලන දෙපාර්තමේන්තුවේ රැකියාවකි. ඒ සඳහාද අවශ්‍ය සුදුසුකම් සපුරා තිබූ බැවින් මා ඒ සඳහා අයදුම් කළේ දෙසිතක් නොසිතාමය. පරීක්‍ෂණ වට කීපයකින් අනතුරුව මට එහි රැකියාව ලැබෙන්නේ පරිපාලන අංශයේ විධායක නිලධාරීනි තනතුරකටය. ලියන්නට කැමති මා පරිපාලනයට පිවිසෙන්නේ එතැන් සිටය. දෛවය එලෙසය. අනෙක් අය අතින් ලියවෙන හැඩවෙන දේවල් දෙස බලමින් මා කරන්නේ සියලු දෙනාම පරිපාලනය කිරීමය.

කලකදි ආයතනයේ නම Grant Advertising ලෙස වෙනස් වූ අතර මගේ පෞද්ගලික කැමැත්ත Grant House යන නම යෙදී තිබුණා නම්ය. ඇත්තෙන්ම නිවසට සමාන නිදහසක් ඇති සිනහව පිරුණු සුන්දර මිනිසුන් සිටින මෙහි ගොඩ වූවෙකු එයින් ඉවත්ව යන්නේ බොහෝ කලාතුරකිනි. ( අලුත් පරම්පරාව හැර) වෙළඳ ප්‍රචාරණ ආයතන යනු වෙනමම කලාවකි වෙනමම රටාවකි.
Grant හි මුල් හිමිකරු රෙජී කන්දප්පා මහතාය. රටක් හඳුනන ඔහු දැන්වීම් ප්‍රචාරණ කලාවේ ප්‍රමුඛයා ලෙස හඳුන්වනු ලබයි. ආයතනයේ පැරණි සේවකයින් පවසන පරිදි ඔහු මනුෂ්‍ය ගුණාංග පිරුණු අපූරු පුද්ගලයෙකි.

සේවකයින්ට සැලකීම, ඉතා විහිළුවෙන්, විනෝදයෙන් වැඩ කටයුතු වල යෙදීම සහ ඒ කාලය තුළ සිදුවූ රසවත් සිදුවීම් බොහෝමයක් බව ඔවුන් පවසයි. එහෙත් මගේ අවාසනාවට මට ඔහු මුණ ගැසුනේ නැත. මා මෙහි පැමිණීමට වසරකට පමණ පෙර කන්දප්පා මහතා මෙලොව හැර ගොස් තිබුනේ ආයතනයට මෙන්ම රටටද එවන් වූ ප්‍රවීණයෙක් අහිමිවීමේ ලොකු හිඩසක් තබමිනි.

2004 වසරේ මා මෙහි පැමිණෙන විට ආයතනයේ ප්‍රධානීත්වය දරමින් සිටියේ ඔහුගේ දියණිය වන නීලා මරික්කාර් මහත්මියයි. තවත් අපූරු සුන්දර චරිතයක් වූ ඇය ගැන මෙසේ සටහන් කරන්නට නොහැකිය. ඒ සඳහා අලුත් පරිච්ඡේදයකට යා යුතුමය.

එහෙයින් ලබන සතියේ ඒ සටහන ලියා තබන්නට විරාමයක් තබා යන්නෙ නැවත පැමිණීමේ බලාපොරොත්තුව ඇතුවය.

Anusha Kapugama

[email protected]

15/02/2026

15/02/26

සම්මා සම්බුදු අම්මාවරුනේ…..

මේ ලෝකයේ කිසිවෙකට සම කළ නොහැකි අකුරු තුනකින් සැදී වචනයකි. ඒ අකුරු තුනේ ගැබ්ව ඇති වචනයේ නියම අරුත හරි හැටි වැටහෙන්නේ කවදා හෝ දිනක ඔබ ඒ පදවිලාභය ලැබූ දිනකය.

ඒ සුන්දර වූ වචනය “අම්මා” වන අතර මා මුලින්ම ඒ පදවියට පත්වන්නේ හරියටම අදට විසිතුන් වසරකට පෙර ය. ඒ 2003 පෙබරවාරි 15 වෙනදා පුතුගේ සම්ප්‍රාප්තියත් සමඟය.
ඒ පදවී නාමයේ බර කොතෙක්දැයි දැනෙන්නට පටන් ගත්තේ එතැන් සිටය.

නිදිමතයි කියා සිතුණු සැනින් ඇඳේ පෙරළී නිදාගන්නට, හදිසියේ ඇඳුමක් දමාගෙන ඔහු සමග රවුමක් යන්නට, බඩ පැලෙන්න කඩචෝරු කන්නට, ප්‍රීති සාදවල වරු ගණන් ගත කරන්නට වාරණ දමා ගනිමින් පුතු වෙනුවෙන්ම කාලය ගත කරන්න වුණු දරුවා කුඩා අවධිය අම්මා කෙනෙකු යනු මොන තරම් කැප කිරීම් කළ යුතු කෙනෙකු දැයි වටහා ගැනීමේ මුල් අදියර විය.

ප්‍රසූත නිවාඩුව හමාරවි නැවත රැකියාවට යන්නට හිත හදා ගන්නට අසීරු අවධියක දෙහිතක් නොහිතාම ඉතා ආශාවෙන් ඉටුකළ රැකියාව අතහැර දමන්නට තරම් ඒ බැඳීම ශක්තිමත් වෙද්දී වසර එක හමාරක්ම ඔහු වෙනුවෙන්ම කැපවී සිටින්නට තීරණය වන්නේ එය එම අවස්ථාවේ කළ යුතු සුදුසුම දේ වූ බැවිනි.

මා කසාද බඳින අවධිය වන විට ඉහුම් පිහුම් ගැන ලොකු දැනුමක් තිබුණේ නැත. කිරිල්ලියක ලෙස ගතවුන ජීවිතයේ මෙවන් වූ බැරෑරුම් අවස්ථාවන්ට මුහුණ දෙන්නට වෙන වග කලින් සිහිපත් නොවූයේ අධ්‍යාපන කඩඉම් කරා යන්නටත්, රැකියා දියුණුව ලැබීමටත් පූර්ණ කාලීනව කාලය ගත වූ නිසාවෙනි. අත්උදව්කාරිය නොපැමිණි දිනයක අත් හදා බැලූ සමහර කෑමවල යම් වරදක් ඇති බව දැනුනත් වැරැද්ද කුමක්දැයි යන්න පවා පැහැදිලි නොවූ අවස්ථාද විය. අමාරුවෙන් හෝ කා දැමුවා විනා එහි ගුණ දොස් විචාරා ඔහු කෙදිනකවත් මා සිත රිදවූයේ නැති හෙයින් මේවා මහා බරපතළ ගැටලු වූයේ ද නැත. අද මේවා සොඳුරු සිහිවටන වන්නේ ඒ අවස්ථා පසු කරමින් බොහෝ දුර දැනට පැමිණ ඇති බැවිනි.

සොයුරු, සොයුරියන්ගේ ගැහැණු දරුවන් සිව් දෙනෙකුට පසු පුතාගේ පැමිණීම අතිශයින්ම සතුටුදායක පුවතක් වූ අතර ඔහු කුඩා කල සිටම සැමගේම ආදරේට ලක්විය. කුඩා කාලයේ අතිශයින් දඟකාරයෙකූ වූ ඔහුගේ නඩු විසඳන්නට වරක් දෙවරක් පාසලටද යන්න සිදුවූ බව මතකය. වයසින් වැඩෙත්ම ඒ දඟකාරකම් ඔහුගෙන් ගිලිහී ගිය අතර නිවුණු තැන්පත් ගති පෙන්වමින් කටයුතු කරන්නට විය. ඉගෙන ගැනීමේ අති දක්ෂතා තිබුණද මුලින් ඒ ගැන වැඩි උනන්දුවක් නොපෙන්වූ ඔහු ඒ මාවතට තල්ලු කර දමන්නට රෑ කෑම මේසයේ තාත්තාගේ උපදෙස් බොහෝ ප්‍රයෝජනයට පත්වන්නට ඇත. උසස් පෙළ හොඳින් සමත් නොවුනොත් කවර හේතුවක් මත හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු නොකරන බවත් රජයේ විශ්වවිද්‍යාලයකට යෑමට අවශ්‍ය ලකුණු සපුරාලිය යුතු බවත් ඔහුට හොඳින් ධාරණය කර තිබිණි. ඒ ඔවදන අකුරටම පිළිපදිමින් 2023 දී ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරී පත්වන්නේ A — 3 ක විශේෂ සාමාර්ථය සමගිනි. ඒ ඇරඹූ ගමන් මඟ තවත් තීව්‍ර කර ගනිමින් අමතර ඉගැන්වීම් ද කර ගනිමින් ඔහු යන ගමන් මග දෙමාපියන් ලෙස අප බලා සිටින්නේ හද පිරි සන්තෝෂයෙනි.

අද දින 23 වන උපන්දිනය සමරන පුතූට සැමගේ ආශිර්වාදය ලැබේවායි! පතන්නේ ජීවන මග තව ඛොහෝ දුර ගමනක් ඔහුට යෑමට ඇති බැවිනි.

අපේ ලෝකය තවත් සුන්දර කරමින් දියණිය පැමිණෙන්නේ 2008 වසරේය. තරමක් ශබ්ද තිබූ නිවස බොහෝ සෙයින් හඬ පාලනයෙන් තොර වන්නටත් අයියාගේ දඟය දෙගුණ, තෙගුණ වන්නටත් ඇයගේ පැමිණීම අනිවාර්යයෙන්ම හේතුවක් වූවා නිසැකය. කාර්යාලයට යාමට අවශ්‍ය බඩු සොයාගන්නට උදේ පාන්දර නිවස පුරා දුවන්නටත්, එක මේස් එකක් දමාගත් තාත්තා අනිත් මේස් එක ලබාගැනීමට ඇය පසුපස පන්නා යෑමටත් සිදු වූ බවත් නම් මතකය. ඒ හුරතලය වසර දහසයක් ගතවී ගොස් ඇතත් අදටත් එහෙමය.

මෙලෙස ගත වූ අවුරුදු විසි තුනක් තුළ අම්මාගේ භූමිකාව මා ඉතාමත් හොඳින් රඟපා ඇති බව පසක් වන විට සිතට දැනෙන්නේ සතුටකි. පවුලේ කටයුතු, කළ යුතු යුතුකම්, නෑදෑයන්, විශේෂ උත්සව අවස්ථා, සමීපතමයන් අහිමි වීමේ අවස්ථා බොහෝ පසුකර, රැකියාවේ වගකීම් අකුරටම ඉටු කරමින් පැමිණ ඇත්තේ බොහෝ දුරු ගමනක් යැයි සිතෙන්නේ මඳක් නතරව පිටුපස හැරී බැලූ පසුව ය. එහෙත් තවමත් නවතින්නට විරාමයක් නැත.

ජීවිතයට විරාමයක් ලැබෙනතුරු අම්මා කෙනෙකුගේ ගමනේ නැවතීමක් නැත. එය මට පමණක් නොව ඕනෑම යහපත් අම්මා කෙනෙකුට පොදුය. අම්මාට පවුලේ සියලු දෙනා ගැන හිතන්නට වෙලාවක් තිබුණත් තමන් ගැන හිතන්නට වෙලාවක් නැත. ඒ ඇය හැම මොහොතේම තමාගේ පවුල වෙනුවෙන් ඇප කැපවී වැඩ කරන්නට සැදී පැහැදී සිටින බැවිනි.

ඉතින් මේ ගමන් මග සැනසීමෙන් ඉදිරියට යන්නට සහය දැක්වූ සැමට සහ ආදරණීය අම්මාවරුන්ට මේ සටහන උපහාරයක්ම වේවා! යි ප්‍රාර්ථනය කරමින් අදට විරාමය තබා යන්නෙමි.

Anusha Kapugama
[email protected]

01/02/2026

විසිතුන්වන දිගහැරුම

01/02/26

“අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ…
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නෑ …..”

ඛැදීම් යනු හරි පුදුමාකාර දෙයකි. අත් හරින්නට අවැසි වුවත් අප යළි යළිත් බැදෙන්නේ අපේ ආදරණීයන් වෙතමය. දෙමව්පියන්ට අත්හරින්නට අපහසුම දේ දරුවන් යැයි මා අසා ඇත. ඒ දෙමව්පියන්ගෙ හැටිය. එහෙත් දරුවන්ටත් එය ඒ ආකාරම වේවිද?

මෑත කාලයේ ඇතිවූ යම් ප්‍රවණතාවයන් මත අප රටේ බොහෝ දරුවන් දැනට ඉන්නේ විදේශ ගතවය. රටක් වශයෙන් යම් යම් සුභ පල මේ හරහා අත්වුවත් පෞද්ගලිකව සමහර දෙමව්පියන්ට මෙය ඛේදවාචකයක් වී ඇති බව නොරහසකි.

මෑතකදී පුවත්පතක මා අපූරු ලිපියක් දුටුවෙමි. එහි සටහන්ව තිබුණේ කොලඹ ඇති අති සුඛෝපභෝගී මහල් නිවාසයක් අසල Uber, pick me යතුරුපැදිකරුවන් පිරී ඇති බවය. හේතුව ඒ සුඛෝපභෝගි මහල් නිවාස වල වැඩිපුරම රැඳී සිටින්නේ දරුවන් පිටරට සිටින දෙමව්පියන් වීමත් උයා පියා ගත නොහැකි ඔවුන් හට ආහාර සැපයීම මේ ආකාරයෙන් සිදුවන බවත්ය. මෙහි තවත් බොහෝ පැතිකඩයන් ඇති අතර දරුවන්ගේ පැත්තෙන් උසස් අධ්‍යාපන කටයුතු සඳහාත් උසස් රැකියාවන් සඳහාත් රට හැර යාමේ තීන්දු තීරණ ගැනීමට ඔවුනට සිදුවනු ඇත.
මෙය මගේ පවුලට බලපා ඇති ආකාරයේද යම් ශෝක ජනක හැඟීමක් ඇති යැයි දැන් දැන් මට සිතේ. අක්කාත්, අයියලා දෙදෙනාත් එකතුව මගේ පවුලේ දරුවන් හතරක් වන අතර අප හතර දෙනාගේ දරුවන්ගේ එකතුව ගැහැණු දරුවන් පහක් සහ එක පිරිමි දරුවෙකි.

මගේ තරුණ කාලය බොහෝ විට ගත වූයේ අක්කා සහ අයියලා ගේ දියණියන් ඇසුරේය. අවුරුදු ගණනාවක් ගත වී ඇතත් ඔවුන්ගේ දඟකාරකම්, පැවසූ සමහර සුරතල් වදන් මට අදටත් අමතක නැත. ඒ මා ඔවුන්ගේ ආදරණීය චූටි නැන්දා, චූටි පුංචි වූ නිසාය.

මේ මතකයන් ඔවුන් විටින් විට මහ ගෙදර රැඳී සිටි අවස්ථාවල සිදුවූ දේවල්ය. ලොකු අයියාගේ ලොකු දූව කුඩා කාලයේදී බෙහෙවින් විසේකාරියකි. ඇය එදවස බොහෝවිට අනුගමනය කළේ මාවය. මා රැකියාවට ගිය පසු මගේ පරණ අත් බෑගයක් ගෙන, ඇවිද ගන්නට අපහසු අඩි උස පාවහන් යුගලයක් පැලද ගෙන නිවස පුරාම ඇවිදීම ඇය සිරිතක් කොටගෙන තිබුණි. අම්මා කර තිබුණේ මේ අත් ඛෑගය තුළට කුඩා කෑම පාර්සලයක් දමා දීමය. බොහෝ වේලාවක් ඇවිදීමෙන් අනතුරුව මේසයකට වාඩිවී ඇය ඒ කෑම පාර්සලය අනුභව කොට තිබුණේ ඇය සිටින්නේ කාර්යාලයක කියා සිතමින් විය යුතුය.

ඈ බොහෝ දඟකාරකම් කරන විටක මා කරන්නේ ඇයට ඇඟිල්ලෙන් ඇනීමෙන්
“ බබාට පණුවෝ ද දඟලන්නේ”යැයි ඇසිමය
මෙයට පිළිතුර මට ලැබුණේ අනපේක්ෂිත මොහොතකය.
එදා අප නිවසට නෑදෑ කණ්ඩායමක් පැමිණ සිටි දවසකි. මා බෙහෙවින් යුහුසුලුව අම්මා සමගින් සංග්‍රහ කටයුතුවල යෙදී සිටියෙමි.

නෑදෑයන්ට සංග්‍රහ කරමින් සිටි මට කොහේදෝ සිට පැමිණි ඈ ඇඟිල්ලෙන් ඇන ඇසුවේ
“ නැන්දිට පණුවෝ ද යන්නය. සියළු දෙනා සිනහා නගද්දී මට සිතුනේ පොලව පලාගෙන යන්නටය.

තවත් දිනක අක්කා ( නෑනා) විසින් ඇගේ කොන්ඩය කොටටම කපා ගෙනවිත් තිබිණි. ඇය දුටු සැණින් මා ඇයට “තට්ට බබා” යයි පැවසුවේ ඇය අවුස්සන්නටය. එයින් දින කිහිපයකට පසු නෑනාගේ මහ ගෙදර දානයක් යෙදී තිබිණි. ස්වාමීන් වහන්සේලා අසුන් ගෙන සිටි තැනට කොහේදෝ සිට දුවගෙන පැමිණි ඈ හොඳ හැටි වටපිට බලා “තට්ට බබාලා” යනුවෙන් පැවසුවේ අපට කට උත්තර නැතිවන්නටය.

අක්කාගේ දුව කලේ මා චිත්‍රයට නැගීමය.
චිත්‍රයේ මාතෘකාව “ චූටි පුංචි office යනවා” යන්නය. මෑතකදී පරණ දිනපොතක රැදී තිඛුන එවන් චිත්‍රයක් මට හමුවුයේ අහම්බෙනි. එක් චිත්‍රයක මූණ පුරාම තිත් තබා චූටි පුංචි ක්‍රිම් ගාන හැටි යනුවෙන් ලියා තිබිණි.

පොඩි අයියාගේ දුව මට ආමන්ත්‍රණය කළේ “දිදී” යනුවෙනි. මේ කාලය වන විට මගුල් යෝජනාව ස්ථිර වී නිවාඩු දිනවල ඔහු මා බලන්නට එන අවධියයි. මේ පැමිණීමට මුලින් ඇය කැමති වූයේ නැත. ඉතින් ඇය කරන්නේ ඔහු පැමිණෙන දිනට අඳින්න යැයි මා සූදානම් කර තබන ඇඳුම පොඩි කර විසිකර දැමීමයි.
පසු කලෙක ඔවුන් දෙදෙනා හොඳ යහළුවන් බවට පත් වූයේ ඇයට චොක්ලට් ගෙනවිත් දීමෙන් සහ චිත්‍ර පාට කරන්නට හවුල් වීමෙන්ය.

ලොකු අයියාගේ දෙවන දියණිය වැඩිපුර කතා බහ නොකලත් අයියාගේ හමුදා රියදුරන්ට ඒ දිනවල පැවති ප්‍රසිද්ධ වෙළඳ දැන්වීමකට අනුව රඟපෑමට නියම කර තිබිණි.
ඒ දිනවල පැවති Lemon Puff දැන්වීමට අනුව
කොහොමද ඉඳුම් කිටුම් (ඇය පැවසුවේ එසේය) ඇසූ විට “අති විශිෂ්ටයි සර්” යනුවෙන් පවසා ආචාර කිරීම ඔවුන්ට අනිවාර්ය විය.

ඉතින් ඔවුන් හා සබැඳි ඒ මතකයන් කෙතරම් සුන්දරදැයි ඔබටද හැඟෙනු ඇත. එහෙත් කාලය සමඟින් අප බොහෝ සේ දුරස්ථර වී ඇත.

එසේ සුරතල් වු ඔවුන් අද විවාහකය. අයියාගේ ලොකු දියණිය හැර අනිත් දියණියන් තිදෙනාම සැලකිය යුතු කාලයක සිට සිටින්නේ විදේශගතවය. උපන්දිනය දවසට එවන සුබ පැතුමට හැර අප හා දොඩමළු වන්නට ඔවුනට විවේකයක් නැත. පසුගිය කාලවකවානුව තුළ පවුල් කවය තුළ සිදු වූ බොහෝ දේවලට සහභාගි වීමේ හැකියාවක් ඔවුන්ට තිබුණේද නැත. ඔවුන් අපෙන් බොහෝ දුර ඈත කැදලි ගොඩනඟා ගෙන ඇති බැවින් අපට ඔවුන් ගැන මතකය කෙසේ වෙතත් ඔවුන්ට අප ගැන මතකය දුරස්ථව යන බව නම් පැහැදිලිය. එය දරුවන්ගේ වරදක් නොව විදෙස් රටවල උසස් රැකියාවල නියුතු ඔවුන් තරගකාරී ලොවේ හැල්මේ දුවනවා හැරෙන්නට ආපසු හැරෙන්නට කාටවත් හැකියාවක් නොමැතිවීමය.

අප අදටත් හැකි විටෙක අපේ වැඩිහිටි පරම්පරාව බලන්නට යන්නෙමු. අප දුටු විට ඒ වියපත් මුහුණුවල ඇදෙන සිනහව, සෙනෙහසින් අපව බදා ගන්නා අයුරු, අතීතයේ අපේ කෙළිකවට කම් ගැන පවසමින් සතුටු වන අයුරු ඒ සිත් වලට අස්වැසිල්ලකි. එහෙත් අප එතරම් පින් කර නැත. සමීපතමයන් ඈත්ව සිටිද්දී, පිටස්තරයන් හා අවසන් ගමන් නික්මෙන්නට අප පරපුරේ බොහෝ දෙනෙකුට සිදුවන බව නම් නොඅනුමානය.

දයාබර ලොකු දියණියනි, මගේ දරුවනි අනාගතයේදී විදෙස් ගතවීමේ සිත් නුඹලාට පහළ නොවේවායි යන්න ප්‍රාර්ථනයක් පමණි අයිතිය නුඹ සතුය.

ලොකු අයියාගේ බාල දියණිය ස්ථීර පදිංචිය සඳහාම විදෙස්ගත වූයේ මෙයට සති දෙකකට පෙරය. මේ කවි දෙපදය ලියවුනේ අපගේ අවසන් හමුවීමෙන් පසුවය.

“ කුරුලු පවුලක සතුට
හිත පුරා වපුරාම
ඉගිලිලා යන්න යයි
නුඹත් අප හැර දාම
දුර ඈත ආකාසේ
හද තිබෙන හැම රෑම
නුඹට අප සිහිවෙයන්
ආදරෙයි හැමදාම.”

Anusha Kapugama

25/01/2026

විසි දෙවන දිග හැරුම

“ඔබ මගේ පැතුම ජීවිතේ….”

රැකියා තුනක් පසුකර ඊළඟ පියවර මා තබන්නේ තවත් එක් තේ අපනයන සමාගමක් වෙතය. එහි ප්‍රධානියා වන්නේ බගවන්තලාව වැවිලි සමාගමේ ප්‍රධාන කළමනාකරු වු ගාමිණී ජයවීර මහතාමය.

බගවන්තලාවෙන් ඉවත් වී සිටි ඔහු අලුත් ආයතනයට සම්බන්ධ වී සිටි අතර ඔහුගේ ආරාධනයෙන් මා ද එම ආයතනයට සම්බන්ධ විය. මෙම ආයතනය හිමිකාරීත්වය දැරුවේ ලංකාවේ ප්‍රකට ආනයනකරුවෙකු වූ නිහාල් සෙනෙවිරත්න මහතාය. බෙහෙවින් නිවුණු තැන්පත් පෙනුමැති සෙනෙවිරත්න මහතා සැබැවින්ම සිත් ගත් චරිතයක් විය.

මෙම රැකියාවේ කටයුතු තරමක් නිස්කලංක වූ බැවින් මා තවත් උසස් අධ්‍යාපන කටයුත්තකට යොමුවී සිටියෙමි. මේ කාලය වන විට අපි නිවසේ කතාවෙමින් පැවතුණු තවත් මාතෘකාවක් විය. ඒ මාගේ විවාහයයි.

පවුලේ බාලයා වූ මට විවාහය ගැන හදිසියක් නොවුවත් ඒ සඳහා දැන් කාලය හරි යැයි නිවසේ තීරණය විය. එහෙන් මෙහෙන් පැමිණි යෝජනා කීපයක්ම මගහැර දැමීමට හැකි වුවත් අවසානයේ මනමාලයෙකු නිවසට පැමිණෙන දිනයක් උදාවී තිබිණි.

මා සතියක නිවාඩුවක් ලබාගෙන තිබුණේ විභාග කටයුතු සඳහා වූ අතර ඒ සමගම මගුල් යෝජනාවක් බැලීමටත් යොදා ගැනීම අම්මාට අවශ්‍ය විය. අවසානයේ විභාගයට පෙර ඒ දවස උදාවිය.

එදවස තෝරා ගත් බෙහෙවින් චාම් සාරියෙන් මා හැඩගැන්වූයේ අක්කා විසිනි. අක්කා සහ අයියලාගේ දරුවන් පැමිණ තිබූ බැවින් මට අවශ්‍ය වූයේ ඔවුන් සමඟ සෙල්ලම් කිරීමටය. නිවසට පැමිණෙන අමුත්තන් කෙසේදැයි කාමරයක ජනේලයෙන් හොරෙන් බැලූ මාත් දරුවනුත් ඊළඟට කරේ සෙල්ලමට බැසීමය. ඒ දිනවල කුමක් හෝ භාණ්ඩයක් මිලදී ගත් විශාල කාඩ්බෝඩ් පෙට්ටියක් අප නිවසේ විය. දරුවන් එයට බැස සෙල්ලම් කරමින් සිටි අතර මට ද පෙට්ටිය තුලට බහින්න යැයි දරුවන් හඬ ගැසුවේ ඔවුන්ගේ දඟකාර වැඩවලට. මා ද බොහෝ විට සම්බන්ධ වන බැවිනි. අවස්ථාව කුමක්දැයි පවා අමතක කර මා ද පෙට්ටිය තුළ දරුවන් සමග සෙල්ලම් කරමින් සිටින අතර අම්මා කාමරයට කඩා වැදුණේ මට දොස් පවරමිනි.

“ මොනවා කරනවද මේක ඇතුළේ ඛැහැගෙන. අර මිනිස්සුන්ට කේක් අල්ලන්න එන්න”
ඇගේ විධානයට දරුවන්ගේ සිනා හඬ මැද දනි පනි ගා පෙට්ටියෙන් එළියට පනිද්දි සාරිය නොකැඩී බේරුනේ අනූ නවයෙන්ය.

“ඒ එවකට තිබූ මගේ දඟකාරකමය”.
අම්මා විසින් මා අතට දෙන ලද බන්දේසිය බෙහෙවින් බර යැයි මට හැඟුනේ එය රැගෙන අඩියක් දෙකක් ඉදිරියට තබන විටය. සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීම මෙයට වඩා කෙතරම් පහසු දැයි මට හැඟුණේ ඒ මොහොතේදීය. කෙසේ හෝ හිතට ධෛර්යය ගෙන මුලින් වාඩිවී සිටි වැඩිහිටි පාර්ශවයට සිනහමුසුව බන්දේසිය පිළිගැන්වු අතර අවසානයට අසුන්ගෙන සිටියේ ඔහුය.

ඒ අවස්ථාවේදී පැවති හෘද ස්පන්දනය සුසන්තිකා මීටර් 100 නිමකළ පසු දැනෙන හෘද ස්පන්දනයට වඩා වැඩි වුවා මිස අඩු නොවූ බව නම් සහතිකය.

මා ඔහුට බන්දේසිය පිළිගැන්වූ විට ඉන් යමක් ගත් බව දැනුනු හෙයින් වහාම ඉදිරි පියවර තැබුවේ ලැජ්ජාව නිසා ඉක්මනින් එතනින් පැන ගැනීමට ය. එහෙත් එසේ කිරීමට නොහැකි වූයේ ඔහු බන්දේසිය අල්ලාගෙන සිටින බව වැටහුණු පසුවය. මේ අලකලංචිය සියලු දෙනාටම සිනා නංවන්නක් විය.

(පසු කලෙක මේ ගැන විමසීමේදී දැනගන්නට ලැබුණේ එය මා මොහොතක් රඳවා තබා ගැනීමට යෙදූ සරල උපක්‍රමයක් බවය)
කෙසේ හෝ වේවා අති සාර්ථක වූ මේ හමුවීම තවත් වසරක ඇවෑමෙන් විවාහයක් දක්වාම යොමු වූයේ දෙපාර්ශ්වයේම සිත් සතුටට පත් කරමිනි.

එසේ ගොඩ නැගුණ සුන්දර කුල නිවසට දැනට වසර 25 ක් ගෙවී හමාරය. ආදරණීය දරුවන් දෙදෙනෙක් ගෙන් යුත් සොඳුරු නිවහනේ සතුට, සෙනෙහස, සැනසීම දෝර ගලා යන්නේ පෙර පින් මහිමය නිසාම විය යුතුය.

ගත වූ වසර 25 තුල ඔහුගේ සෙවනේ ලැබුණු රැකවරණය, සෙනෙහස, සනිටුහන් කරන්නට වදන් පෙළ ගස්වන්නේ කෙසේද යන්න ගැටලුවක් වන්නේ එදා සිට අද දක්වාම අංශු මාත්‍රිකව හෝ එම දයාබරත්වයේ අඩුවක් වී නොමැති බැවිනි.

මටත් වඩා මගේ හිත හඳුනා ගන්නටත්, හිත රිදූණු සැනින් සනසාලන්නටත්, ඉවසීම ප්‍රගුණ කරගන්නටත්, ඔහුගෙන් ලැබුණු සහයෝගය සදාකල්හිම ප්‍රශංසනීය යැයි කිව යුතුමය.
ජීවිතය සුන්දරව ගලා ගියද කවදා හෝ අප අවසානයක් කරා ළගා විය යුතුමය. ඉතින් ඒ අවසානය කෙසේ වේදැයි පවසන්නට කිසිවෙකුට හැකියාවක් නැත. එහෙයින් මගේ අවසාන ප්‍රාර්ථනය මෙලෙසින් ලියා තබන්නේ එය එසේම විය යුතු යැයි මා ප්‍රාර්ථනා කරන බැවිනි.

“මේ සසරේ හමු වීමත්
අහම්බයකි අප දෙන්නට
මතු සසරේ එකම පැතුම
ආයෙත් නුඹ මුණගැසෙන්ට
තවත් එකම දෙයකි ඇත්තේ
ඔය හිත ලඟ මට කියන්ට
මිය යන දවසකට ඉතින්
හැකිවෙද මට කලින් යන්ට”

Anusha Kapugama

10/01/2026

විසි එක්වන දිගහැරුම

10/01/2026

නත්තලේ අසිරිය විඳිමු සැමදා…

නත්තල යනු බෙහෙවින් සුන්දර උත්සව අවස්ථාවකි. දෙසැම්බර් මාසය පුරාම හමන සිහින් සුළං රැල්ලත්, සීතලත් ගතට දැනෙන්නේ අමුතුම මිහිරියාවකි. නව වසර උදා වෙන්නට පෙර දැනෙන ඒ වෙනස අපූරු සුන්දරත්වයක් සැමට ලබා දෙන බව නිසැකය.

මා නත්තලට බෙහෙවින් ප්‍රිය වූයේ නත්තල් සීයාගේ පැමිණීමට බෙහෙවින් ආශාවූ බැව්ණි. එහෙත් අප බෞද්ධ වූ බැවින් නත්තල් සීයා අපේ නිවසට ගොඩවූයේ නැත. ඒ මගේ කුඩා මනසට ඇතිවූ සිතිවිල්ලයි. ක්‍රිස්තියානි ආගමේ දරුවන් සොයා තෑගි දීමට එම නිවෙස් වලට යද්දී අනිත් දරුවන් ගැන ඔහුට දුක නොසිතුනේ මන්දැයි මා කුඩා කල බොහෝ විට කල්පනා කර ඇත. අප නිවසේද දුම් කවුළුවක් තිබූ බැවින් වැරදීමකින් හෝ ඔහු ඉන් බිමට බැස ඇතිදැයි නත්තල් දින අලුයම සැමට හොරෙන් සොයා බැලුවත් එවන් වූ සලකුණක්වත් නොමැතිවීම මට ගෙන ආවේ සැබැවින්ම දුකකි. වයසින් වියපත් වන විට ඒ සිතුවිල්ල මගෙන් ඈත් වූ අතර නැවතත් මා නත්තල් සීයා ගැන සිතන්නට පටන් ගත්තේ මගේ දරුවන් කුඩා අවදියේය.

ඒ තෑගි ලැබීමට දරුවන් කෙතරම් ප්‍රියකරනේද යන්න වැටීමෙනි.
මගේ පුතා පළමුවන නත්තල සමරන දිනයේ ඔහුගේ කොට්ටය අසලින් මා සෙල්ලම් බඩුවක් තැබුවෙමි. උදෑසන අවදි වූ ඔහු ඒ සෙල්ලම් බඩුව දැක ඉතාම ප්‍රීතියට පත් වූ අතර මුළු දවස පුරාම ඔහු අලුත් සෙල්ලම් බඩුව සමග සෙල්ලම් කල ඛව මතකය. ඉන් ටික කලක් යද්දි නිවසට නත්තල් ගසක් එකතු වූ අතර ඉන් පසු තෑගි තැබුවේ නත්තල් ගස ළඟය.

මේ නත්තල් ගස කාලයකදී තවත් වැඩි දියුණුවට පත්විය. ඒ දුවගේ පැමිණීමත් සමඟය. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාම එකතුව සාදන ලද නත්තල් ගස බෙහෙවින් විචිත්‍රවත් විය. දෙසැම්බර් මාසයේ මැදක සිට නිවස පුරා විසිරෙන සයිප්‍රස් ගස් සුවඳ සිතට සතුටක් රැගෙන එන්නක් විය.

දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අවසාන වාර විභාගවල හොඳින් ලකුණු ගන්නා දරුවන්ට නත්තල් සීයා තෑගි දෙන බවට අදහසක් වූ බැවින් හොඳින් අධ්‍යාපන කටයුතු වල නිරත වන්නට නත්තල් ගස බෙහෙවින් උපකාරී විය. එමෙන්ම දෙසැම්බර් මාසය තුළ දඟකාරකම් අඩුකර යහපත්ව සිටීමද කළ යුතු බව දිනක දියණිය පවසනු ඇසීම මට සතුටක් වූයේ දරුවන් කුඩා කාලයේ ඔවුන් බලා ගැනීම දෙසැම්බර් මාසයට පහසු වූ බැවිනි. එහෙයින් නත්තල් ගස අපූරු සේවයක් කර ඇති බව නොරහසකි.

දැන් මේ නත්තල් ගසට වයස අවුරුදු විසි ගණනකි. අධ්‍යාපන කටයුතු හොඳින් පසුකරමින් සිටින වැඩිහිටි දරුවන් දෙදෙනෙකු ඇති අප නිවසේ අදටද නත්තල් ගස ඉදිවේ. බොළඳ විය පසුකර ඇති බැවින් ඔවුන්ට තෑගි තබන්නේ නත්තල් සීයා නොවන බව දරුවන් දන්නා නමුත් එය මට පෙන්වන්නට ඔවුන් කැමති නැත.
එහෙයින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය යම් යම් දේ නත්තල් සීයාට පවසන ආකාරයෙන් මට ඇසෙන්නට පැවසීම ඔවුන්ගේ සිරිතය. තෑගි දුන්නාට පාඩු නැති අධ්‍යාපන ඉලක්ක කරා යමින් සිටින දරුවන් දෙදෙනාගේ සිත් සතුටු කිරීම සහ නව වසරට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම තෑගි ආකාරයෙන් ලබා දීමට අප දෙදෙනාම උනන්දුවක් දක්වන්නේ එබැවිනි.

සැබැවින්ම නත්තල් දින උදෑසන අප නිවස අසිරිමත්ය. දරුවන් ඔවුන්ගේ තෑගි බලමින් සතුටු වන අතර ඉඳහිට මට මෙන්ම ඔහුටද නත්තල් තෑගි තිබෙන්නේ එකිනෙකා හොර රහසින් නත්තල් සීයාගේ චරිතය රඟපා ඇති විටකය.

එහෙත් අනාගතයේ යම් දිනක් ගැන මට කණගාටුවක් දැනෙයි. ඒ නත්තල් ගස අප නිවසේ ඉදි නොවන දිනයක් උදාවෙන බව මා හොඳින්ම දන්නා බැවිනි. දරුවන් ඔවුන්ගේ කූඩු තනාගත් පසු අනාගතයේ ඔවුන්ගේ කාර්යබහුලත්වය මත මෙවන් වූ සුන්දරත්වයක් විදින්නට විවේකයක් නැතිවෙන බව මට නොයෙක් වර සිතී ඇත.

එදවස වියපත්වී වෙවුලන ඇඟිලි තුඩු වලින් කෙසේ හෝ නත්තල් ගසක් සාදා තබන්නට අපට හැකි වුවහොත් කොහේ සිට හෝ අපව බලන්න පැමිණෙන්නට ඔවුන්ට අමතක නොවනු ඇතැයි සිතේ. ඒ මගේ සිතුවිලිය. එහෙත් අනාගතය කෙබඳු වන්නේදැයි කිසිවෙකුටත් පැවසිය නොහැක.

දරුවන් ළග සිටියදී ඔවුන් හා සතුටින් සිටිය හැකිනම් ඒ මතක කවදා හෝ ඔවුන්ටද ඔබටද සදාතනික වනු ඇත.

Anusha Kapugama

20/12/2025

විසිවන දිගහැරුම

13/12/25

මේ ජීවන මග..…අප යනවා…

දිට්වා සුලි කුණාටුව අපට කළ විපත් බොහොමය. ඇසිල්ලකින් රට තුළට කඩාවැදී මිනිස් ජීවිත ගණනාවක්ම පණ පිටින් මිහිදන් කර දමන්නටත්, වටිනා කියන බොහෝ දේ විනාශ කර දමන්නටත් ගත වූයේ ඉතාමත් කෙටි නිමේෂයකි. දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන වුන් මිනිසුන් ඇසිල්ලකින් වනසා දමන්නට තරම් සොබා දහම කුරිරු වීම සත්තකින්ම සාපයක් මෙන් විය.
සුලි කුණාටුව අපට පසක් කළ දේ බොහෝය. ජීවිතය අනියත බවත්, වසර ගණනාවක් රැස් කළ දේ එක් මොහොතකින් නැතිවී යාහැකි බවත් අපට යළි යළිත් සිහිපත් කරන්නට තරම් හැමූ චන්ඩ මාරුතය දරුණු විය.

මෙහිදී දුම්රිය මාර්ග ගණනාවක්ම විනාශයට පත් වූ බැවින් බෙහෙවින් ආශා කළ සුන්දර ගමනාන්තයන් කරා යෑමේ හැකියාව පවා අද අපට අහිමිව ඇත.

දුම්රිය ගැන සිහිපත් වූ බැවින් දුම්රිය සම්බන්ධ මේ මතකය දිග හැරෙන්නේ අපේ ජීවන ගමන් මඟද දුම්රියේ යන මගීන්ට සමාන යැයි හැඟෙන බැවිනි.

මේ කාලය වන විට මා සිටියේ පාසල් යමින්ය. එවකට අප කුඩා දරුවන් වූ බැවින් පාසල් නිවාඩුව අල්ලා විනෝද චාරිකාවක් සංවිධානය කිරීම මගේ බාප්පා වන කුමාර අංකල්ගේ සිරිතය. කුමාර අංකල් සිටින්නේ රත්නපුරයේය. මේ චාරිකාව යෑමට පෙර දිනයක යම් ව්‍යාපාර කටයුත්තක් සඳහා කොළඹ පැමිණෙන ඔහු මාවත්, අජිත් අයියාවත් රත්නපුරයට රැගෙන යන්නේ චාරිකාවට සහභාගී කරවා ගැනීමටය. අපගේ සහභාගිත්වය අනිවාර්යයෙන්ම සිදුවන්නේ නංගී සහ මල්ලිද අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බැවිනි.

ගමන යෑමට පටන් ගැනීමට පෙර අපේ අතට pocket money ලබාදීම ඔහු සිදු කරන්නේ අතරමගදී අප ප්‍රිය කරන යමක් දුටුවොත් මිලදී ගැනීමට හැකිවන පරිදිය.

මේ චාරිකා ඉතාම සුඛෝපභෝගී වූ අතර අප නවාතැන් ගන්නේ ඔහු විසින් තෝරා ගත් අපූරු හෝටල් වලය. කතාවේ ලස්සනම කොටස වන්නේ චාරිකාව නිමවී රත්නපුර නිවසට පැමිණීමෙන් පසු ආපසු නිවෙස් වලට හැරලවන්නේද අපට නැවතත් pocket money ලබාදීමෙන් අනතුරුවය. අතේ වැඩිපුර මුදල් නොගැවසුණු පාසල් කාලයේ එහි වටිනාකම කියා නිම කරන්නට වචන තිබුණේ නැත.

එක්වරක් ඔහු විසින් සංවිධානය කර තිබූ සංචාරයක අතර මග නවාතැන ලෙස තලවකැලේ විජය අයියාගේ නිල නිවස තෝරාගෙන තිබුණි. විජය අයියා මගේ ලොකු නැන්දාගේ පුතාය. ඔහු එවකට තලවකැලේ දුම්රිය ස්ථානාධිපති ලෙස කටයුතු කළ අතර ඔහුට විශාල නිල නිවසක් තිබිණි.

එදා මධ්‍යානයේ අප ඔහුගේ නිල නිවසට ළඟාවූ අතර දිවා ආහාරයෙන් පසු මට හදිසියේම යමක් සිහිපත් විය. ඒ කොළඹ කොටුවෙන් 5.55 ට බදුල්ල බලා පිටත්වන “පොඩි මැණිකේ” දුම්රිය තලවකැලේ දුම්රිය ස්ථානයට ළඟා වීමට ආසන්න බවය. එයට පෙර මෙම දුම්රියෙන් බදුල්ල බලා ගමන් කර තිබූ බැවින් මට එවන් මතකයක් විය. වහා දුම්රිය ස්ථානයට දුවගොස් කොළඹින් පැමිණෙන දුම්රිය බලමු යැයි යෝජනාව ගෙනාවේ මාය. එදා නංගිට අමතරව තවත් ඥාති සොයුරියක් ද අප සමග වූ අතර අප තිදෙනාම නිල නිවාසයෙන් දුම්රිය ස්ථානයට ලඟා වීමට ඇති කෙටි පාරෙන් වහ වහා දුම්රිය වේදිකාවට ගොඩවීමූ.

මගේ වෙලාව දැක්වීම හරියටම සනාථ කරමින් විනාඩි දහයකට පමණ අනතුරුව “ පොඩි මැණිකේ දුම්රිය” වේදිකාවට ආසන්න විය. කොළඹ සිට පැමිණි දුම්රියේ බොහෝ සෙනඟක් වූ අතර තලවකැලෙන්ද සෑහෙන පිරිසක් ඛහින බව පෙනී ගියේ ඔවුන් ගෙන් වේදිකාව අතුරු සිදුරු නැතුව පිරී ගිය හෙයිනි.

අප තිදෙනා එන යන මගීන් ගේ වග තුග බලමින් එහි තිබූ බංකුවක අසුන් ගෙන සිටීයෙමු. දුම්රිය නැවත පිටත්ව ගිය හෙයින් අප නැගී සිටියේ නැවතත් නිල නිවාසයට යෑමටය. එහෙත් සිදු වූයේ කිසිවෙක්ට හෝ සිතාගන්නට බැරි දෙයකි.
දුඹුරු පැහැති නිල ඇදුම් හැඳ සිටි තිදෙනෙකු වහා දිව විත් අපව වට කර ගත්තේ අපේ ප්‍රවේශ පත්‍ර ඉදිරිපත් කරන ලෙස පවසමිනි. ප්‍රවේශ පත්‍ර නොමැති බව දැන්වූ විට ඔවුන් අපට චෝදනා කළේ කොළඹ සිට පැමිණි දුම්රියෙන් අප ප්‍රවේශ පත්‍ර නොමැතිව පැමිණි බවත් වටපිට බලමින් සිටින්නේ හොරෙන් දුම්රිය ස්ථානයෙන් පිටතට පැන ගැනීමට බවත්ය. එය එසේ නොවන වග පවසන්නට අප තිදෙනාටම ශක්තියක් නොවූයේ ඒ වන විට බොහෝ පිරිසක් අපව වට කොට ගෙන සිටි බැවිනි. දුම්රිය පැමිණියේ කොළඹ සිට බැවින් මට එකවරම සිහිවූයේ දන්නා හඳුනන කවුරුන් හෝ සිටිය හැකි බවත් මේ පුවත ආරංච් වුවහොත් නැවත පාසල් යන්නේ කෙසේද යන්නත්ය. තලවකැලේ සීතල පෙදෙසක් වුවත් ඒ වන විට ඉහින් කනින් දාඩිය වැගිරෙමින් තිබූණි.

ඔවුන් ඊළඟට පැවසුවේ කතාවක් අවශ්‍ය නැති බවත් කෙලින්ම ස්ථානාධිපතිතුමා ලඟට අපව රැගෙන යන බවත්ය. වාසනාවකට මෙන් අප තිදෙනාගෙන් එක් ඥාති සොයුරියකගේ ලොක් වී තිබූ කටට පණ ලැබිණි.

“ඕනි නම් අරගෙන යන්න එතන ඉන්නේ අපේ අයියා” යැයි පවසන විට ඔවුන් ගල් ගැසී බලා සිටි අතර තවත් සේවකයෙකු දුවගෙන විත් ඔවුනට දෝෂාරෝපණය කළේ අප ස්ථානාධිපතිතුමාගේ නිල නිවසේ සිට පැමිණි බව දන්වමිනි.

සිදුවූ අවමානය විඳ දරාගෙන අප නැවත නිල නිවසට පැමිණ සිටියේ කිසිවක් නොවූ ආකාරයටය. ඒ අපට සිදුවූ දේ පැවසුවා නම් මුළු ගමන පුරාම අපව හාස්‍යයට ලක්වන බැවිනි. පසුදින අහම්බයකින් මෙන් ඉන් එක් සේවකයෙකු ලිපියක් රැගෙන නිල නිවාසයට පැමිණියේ අයියට දෙන්නටය. ඔහු නැවත පිටත්ව යන විට අප ඔහුව වටකොට දෝෂාරෝපණය කළ අයුරු සහ අපේ බැනුම් අසමින් සිනහා වෙමින් ඔහු
පිටත්ව ගිය අයුරු ද අදටත් මතකයේ ඇත.

පසු කලෙක අක්කාගේ විවාහයෙන් පසු මේ සංචාර වලට අතුල අයියාද එකතු විය. ඔහු යම් තරමක ආඥාදායකයෙක් වූ අතර ඔහුගෙන් තිබූ ලොකුම වදය උදෑසන නියමිත වේලාවකට නැගිටීමට සිදුවීමයි. “මොන වදයක්දැයි” පවසමින් ඔහු කෑ ගසන විට අප නැගිටින මුත් ඒ මගින් සංචාරය සඳහා බොහෝ වෙලාවක් ලැබෙන බව අපට වැටහුණේ පසුවය.

එවන් වූ සංචාර සෑහෙන ගණනක් සිදු කළ අතර මෑතකදී එවන්නක් සිදු නොවිම කණගාටුවට කරුණකි.
අප සියලු දෙනාම දුම්රිය මගින් බවත් දිගින් දිගටම යන ගමනේ අතරමගදී සමහරුන් බැස යන අතර තවත් අලුත් අය දුම්රියට ගොඩවන බවත් කොහේදෝ සටහන්ව තිබි කියවූ බව මතකය. එය සම්පූර්ණ සත්‍යයක් යැයි පසක් වන්නේ අදය.
පසුගිය 11 වැනිදා කිසිවෙකුට නොදන්වාම අතුල අයියා අතරමග දුම්රිය ස්ථානයකින් බැස ගොස් තිබිණි. එසේ බැස යන බව කිසිවෙකු නොදැන සිටි අතර එය ඔහුගේ දෛවය අනුව සිදුවන්නට ඇත.

එලෙසම ඊට සති තුනකට පෙර ඔහුගේ මිනිබිරිය ජීවන දුම්රියට ගොඩ වී තිබූණි. එහෙත් දෛවයේ සරදමකට මෙන් ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ නොගැසුනි.

පෙබරවාරි මාසයේ ඇය බලන්නට කැනඩාවට යන්නට පෙර ඔහුගේ
දුම්රිය ගමන නිමා වූයේ යම්කිසි දිනෙක ඇයට තම මුත්තනුවන් ගැන සොඳුරු සේයාරූ මතකයක් පමණක් ඉතුරු කරමිනි.

Anusha Kapugama

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Colombo