Randika Amarasuriya

Randika Amarasuriya

Share

RAKITHA - WARAMALEKA Ft Samodhya Thathsarani [Official Audio] 2021 02/09/2025

"අක්ක වරා මල් දැකල තියෙනව නේද? මලක් කිව්වට අනිත් මල් වගේ පැණි තියෙන මලක් නෙවෙයි.ජීවිත කාලයක් බලං හිටියත් වරාමලෙකින් පැණි ටිකක් බොන්න හම්බ වෙන්නෙ නෑ බමරෙක්ට. ලොකුකමකට හංගන් ඉන්නව කියල නෙවෙයි. මලේ පැණි නැත්තන්, හැදෙන්නෙත් නැත්තන් කොහොම දෙන්නද?"

"මං දන්නව අක්කල මේ සේරම කරන්නෙ මට ආදරේට කියල. ඒත් අක්කෙ වෙන කාටවත් දෙන්න ආදරයක් ආයි කිසිම දවසක මේ හිතේ ඉපදෙන එකක් නෑ. මුළු ජීවිතේම හදවත මියැදෙච්චි මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න වෙනව කියන දේ කිසිම කෙනෙකුට නොවියයුතු දෙයක් අක්කේ..."

"ඒත් නංගි මේ වගේ කෙනෙක් මගහැරෙන එක හරිම අපර්"

"අක්කෙ"

"හරි නංගි. සොරි ඔයාගෙ පරණ මතක ආයි ඇවිස්සුවනම්.එහමයි කියල ඒ මත්තෙම නැහෙන්න ඔනි නෑනෙ කියල අයියයි මායිත් කතා වුණේ ඉතින්. කමක් නෑ මම එයාලට කියන්නම්කො ඔයාට තව කල් ඕනි කියල"

"අක්ක තේරුම් අරන් නෑනෙ ඉතිං මං කිව්ව එක. කෑලි කෑලි වලට කැඩිච්ච වීදුරු භාජනයක් මොනාහරි කරල අලවල කරල, කඩතොළු පිටින් හරි පාවිච්චියට ගත්තත් බිඳුනු හිත් එක්ක ඒක කරන්න බෑ අක්කෙ. විශ්වාසය, ආදරය වගේ හැඟීම් එක්ක කොහොමටත් බෑ. කවුරු කොහොම කිව්වත් අපි මුළු හිතෙන් කෙනෙක්ට ආදරේ දෙන්නෙ ජීවිතේටම එක පාරයි. ආදරේ කියල කිව්වට ඒ දෙන්නෙ අපේ ජීවිතේම. අපෙ ආත්මෙම. ඒ හැමදේම ඇස් ඉස්සරහම කැඩිල බිඳිල ගියාට පස්සෙ අපි නිකන් ඔහේ එහෙට මෙහෙට පාවෙන මළ කඳන් වගෙ. දවස ගානෙ මැරි මැරි ඉපදෙනව වුණාට, කාලෙත් එක්ක අපි මැරිල ඉපදෙන්නෙ නෑනෙ ඒ හැමදෙයක්ම අමතක වෙල යන්න"

"අනේ නංගි. මට නම් මාර කේන්තියි ඔය මනුස්සය ගැන ඇත්තටම. මොනවද ඔයා ඔය මිනිහ වෙනුවෙන් නොකලෙ කියන්නකො. තව ඔයාගෙ පස්සෙනුත් ආව නේද ඔය සේරම සිද්ධ වුණාට පස්සෙත් ජීවිතේ ආයි අලුතෙන් පටන් ගමු කියාගෙන? මේ මිනිහට අනේ ඇත්තටම"

"මගෙ ජීවිතේ මන් වින්ද හැම හැඟීමක්ම උපරිමෙන් වින්දෙ එයා නිසා. මුල් දවස් වල ඒ ආදරේ, උණුනුම, ආරක්ෂාව. පස්සෙ කිසිදෙයක් හිතාගන්න බැරි ව්‍යාකූල හැඟීමක්. හිත් බිඳීම්, අසීමාන්තික දුකක් එක්ක ආපු කලකිරීම්, මහා රැවටීමකට ලක්වුනු පරාජිත හැඟීම් එක්ක ජීවිතෙ ගැන හරිම නිස්සාර හැඟීමක් ඊටත් පස්සෙ.විකුම් ගැන මගෙ හිතේ තරහක් වත් පළිගන්න අදහසක්වත් නම් නෑ අක්කෙ. ඒත් හැම දෙයක්ම එක පාරට හිස් වෙල ගිහින් වගෙ මුළු ලෝකෙම හිස් ගතියක් විතමයි ඉතිරි වෙල තියෙන්නෙ මේ වෙද්දි"

"මට තේරෙන්නෙ නෑ ඔය විදියට සමාව දීල පැත්තකට වෙල ඉන්න ඔයා හිත හදාගත්තෙ වත් කොහොමද කියල නංගි. අපෝ ඔය මිනිහට නම් හොඳක්.."

" හොඳක් වෙන්න එපා කියල ශාප කරන්නවත් හිතෙන්නැති ගානට මගෙ හිත වේලිල ගිහින් අක්කෙ. හැමදාම වතුර උනන උල්පතක් වගේ ආදරේ දෝරගලන හිතක් මට තිබුණෙ. විකුම් විතරක් නෙවෙයි මාවත් ජීවත් කලේම ඒ ආදරේ, ඒ හීන, ඒ බලාපොරොත්තු. තාවකාලික සතුටක් වෙනුවෙන් එයා මරල දැම්මෙ එයා වෙනුවෙන්ම කැපවෙච්චි ආදරණීයම හිතක් කියන වැරදිකාර ඇත්ත එක්ක ජීවිත කාලයක් ඉන්න වෙන එක කොහොමත් ලේසි වෙන එකක් නැහැ එයාටත්. ඒ නැතත් අවංක කෙල්ලෙක්ගෙ අහිංසක බොළඳ හිතක් කීතු කීතු වලට ඉරල දානව කියන එක කොයි තමම් පවක්ද? ඒව විපාක දෙද්දි බේරගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් ඉඳියි කියල මට හිතෙන්නෙ නෑ අක්කෙ. ඉතින් ඒ හිස් වෙච්ච පව්කාර ආත්මෙ දිහා බලල අනුකම්පා කරනව ඇරෙන්න වෛර කරන්නවත් ශාපා කරන්නවත් ඕනිකමක් නෑ මට තවත්"

* * * * * * * * *
විකුම් සහ සඳාත්මි ! මේ දෙන්නගෙ දුක හිතෙන කතාව ගීයකින් අහල එයාලගෙ ජීවිත කතාවෙ පුංචි වෙලාවකට ජීවත් වෙල, හිතට දැනුන කොටසක් - දෙබසක්, කෙටි කතාවක් විදියට ලියාගෙන යමුද? වෙනම පෝස්ට් එකක් විදියට හරි?

RAKITHA - WARAMALEKA Ft Samodhya Thathsarani [Official Audio] 2021

Telephone