Menna System
15/04/2022
අන්තර්වාර රජයකට යෝජනා මෙන්න
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට 69 ලක්ෂයක් ඡන්දය දෙන විට පාර්ලිමේතුවේ 225 දෙනා තෝරා ගැනීම සඳහා ඡන්දය ලබා දී ඇති පිරිස ලක්ෂ 112ක්. මේ ඡන්දදායකයන් සැමටම පසුතැවීම් ඇති. නමුත් දැන් නැවත ඡන්දයකට යාම ප්‍රායෝගික නැහැ. විදුලි කප්පාදුව අතරේ ඡන්ද ගනින්නත් බැහැ. ඩීසල් නැතුව ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන්නත් බැහැ. මේ නිසා පත්වී ඇති 225 දෙනා තුලින්ම නව අන්තර්වාර රජයක්(Interim Government) අඩු තරමින් වසරක කාලයක් සඳහා පිහිටුවීම සුදුසුයි. පවතින නීතිය තුලම මෙය කරන්නේ කෙසේද? මේ එය ප්‍රායෝගිකව කිරීම සඳහා අප කරන යෝජනාවයි.
o සියලු මන්ත්‍රීවරු/වරියන් 15 දෙනා බැගින් කමිටු 15 කට බෙදිය යුතුයි. (15x15=225). මේ කමිටු 15 ට පැවරෙන විෂය පථයන් මේවායි. (ප්‍රධාන දෙපාර්තමේන්තු, සංස්ථා හා මණ්ඩල ඇතුලත්ව)
1. රාජ්‍ය ආරක්ෂක (ත්‍රිවිධ හමුදා, සිවිල් ආරක්ෂක, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ හා ආගමන විගමන දෙපාර්තමේන්තු ඇතුලත්ව)
2. මුදල් හා ජාතික සැලසුම් (සමෘද්ධි ව්‍යාපාරය, ජනසංඛ්යාලේඛන හා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තු ඇතුලත්ව)
3. අධ්‍යාපන (උසස් අධ්‍යාපන, වෘත්තීය හා නිපුණතා සංවර්ධන, විද්‍යා හා තාක්ෂණ සහ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ඇතුලත්ව)
4. විදේශ කටයුතු
5. අධිකරණ (නීතිපති, පොලිස් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තු ඇතුලත්ව)
6. සෞඛ්‍ය (දේශීය වෛද්‍ය ඇතුලත්ව)
7. බලශක්ති (විදුලි බලය හා ඛණිජ තෙල්, ගෑස් සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුලත්ව)
8. කෘෂිකර්ම (ධීවර, පශු සම්පත් හා තේ වැනි වැවිලි සහ අපනයන භෝග ඇතුලත්ව)
9. සන්නිවේදන සේවා (ජනමාධ්‍ය, තැපැල්, විදුලි සංදේශ සහ අන්තර්ජාලය පිලිබඳ)
10. ප්‍රවාහන (මහාමාර්ග, දුම්රිය, නාවික කටයුතු සහ සිවිල් ගුවන් සේවා ඇතුලත්ව)
11. රාජ්‍ය පරිපාලන (පළාත් සභා හා පළාත් පාලන ඇතුලත්ව)
12. කර්මාන්ත හා වාණිජ (පාරිභෝගික, ආනයන අපනයන, ස්වභාවික සම්පත්, කම්කරු සහ විදේශ රැකියා ඇතුලත්ව)
13. මානව සම්පත් සංවර්ධන (සංස්කෘතික හා ආගමික, ක්‍රීඩා හා තරුණ කටයුතු, කාන්තා හා ළමා සංවර්ධන සහ සමාජ සුබසාධන)
14. අභ්‍යන්තර කටයුතු (නිවාස හා ඉදිකිරීම්, නාගරික සංවර්ධන, ආපදා කළමනාකරණ සහ අනෙකුත් අමාත්‍යංශ වෙත නොපවැරෙන සියලු කටයුතු)
15. සංචාරක කටයුතු
o ලංකාව මෙන් 150 ගුණයක් විශාල ඉතාම බලවත් රාජ්‍යයක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේද ෆෙඩරල් පාලනය සිදුවන්නේ දෙපාර්තමේන්තු 15ක් හරහායි.(අමාත්‍යංශ ක්‍රමයක් එහි නැහැ). රුසියාවේ අමාත්‍යංශ ගණන 21ක්. එංගලන්තයේ 22ක්. ඉතින් කුඩා දිළිඳු රටක් වන ලංකාවේ අමාත්‍යංශ 15ක් තිබීම හොඳටම ප්‍රමාණවත්.
o කමිටු වලට මන්ත්‍රීවරු/වරියන් තේරිය යුත්තේ අදාළ විෂය ගැන ඔවුනට ඇති අවබෝධය සලකා බලමින්. මේ පිරිස අතර කිසිදු නිපුණතාවක් නැති අයද සිටිනවා. ඔවුන්ව කුසපත් ක්‍රමයකට බෙදා හැරියත් ගැටලුවක් නැහැ. මේ තේරීම කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාට එක්වී කරන්න පුළුවන්.
o කමිටු රැස්වී තම කමිටුවට නායකයෙක් එකඟතාවෙන් හෝ ඡන්දයෙන් පත් කර ගත යුතුයි. එසේ පත්වන නායකයින් 15 දෙනාට අදාළ විෂය බාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දිය හැකියි. මේ ක්‍රමයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු/වරියන් අන්තර්වාර කැබිනට් මණ්ඩලයට තේරී පත්වනවා.
o මේ අයට අමාත්‍ය වැටුප, වරප්‍රසාද හෝ වරදාන ලැබෙන්නේ නැහැ. නමුත් තම අමාත්‍යංශයේ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමට ඔවුනට බලය පැවරෙනවා. විශාල වපසරියක් ඇති අමාත්‍යංශ සඳහා එම කමිටුවෙන්ම නියෝජ්‍ය/රාජ්‍ය ඇමතිවරු එක් කෙනෙක් හෝ දෙදෙනෙක් පත් කරගත හැකියි. නමුත් ඔවුන් කැබිනට්ටුවට අයත් වන්නේ නැහැ.
o මේ ක්‍රමය කැබිනට් අමාත්‍ය ක්‍රමය ඇති කිරීමට කලින් ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව තුල තිබු ක්‍රමයට සමානයි. අමාත්‍යංශ වල කටයුතු සිදු විය යුත්තේ මේ කමිටු වල අධීක්ෂණය හරහායි. එවිට සියලු පක්ෂ වලට රාජ්‍ය පාලනය පිලිබඳ ජනතාවට වගවීමට(Accountable) සිදුවනවා.
o කැබිනට් මණ්ඩලය සතිපතා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී කැබිනට් පත්‍රිකා අනුමත කර රට ඉදිරියට ගෙන යා යුතුයි. කැබිනට් මණ්ඩලයේ මුඛ්‍ය අරමුණ විය යුත්තේ රටේ හදිසි ප්‍රශ්න කඩිනමින් විසඳීමයි. ව්‍යවස්ථා සංශෝධන වැනි විවාදශීලි කරුණු ප්‍රමුඛතා නොවෙයි. දැනටත් නාම මාත්‍රික තනතුරක් වන අගමැති ධූරය හෝ, සරල බහුතරය හෙවත් 113 නමැති අංකයද මේ ක්‍රමයේදී වැදගත් නැහැ. ඒ රජය යනු එක පාර්ශවයක් පමණක් නොවන නිසායි.
o ජනාධිපති ධුරය හිස් වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නව ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් විට, හිස්වූ එම මන්ත්‍රීවරයාගේ අසුන සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊළඟට වැඩිම මනාප ගත් අපේක්ෂකයා පත් කෙරෙනවා. මේ තැනැත්තා අදාළ කමිටුවට පත් වනවා.
o මේ අන්තර්වාර පාලනය පවතින්නේ උපරිම වසරක කාලයක් සඳහා පමණයි. මැතිවරණයකට යාමට සුදුසු කාලය එළඹ ඇතැයි කැබිනට් මණ්ඩලය තීරණය කල වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතුයි.
13/04/2022
විදුලි කප්පාදුව අවම කරන්නේ කෙසේද?
අපේ රටේ විදුලි අර්බුදය සතියකින්, මාසයකින් හෝ අවුරුද්දකින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි. මේ සඳහා දීර්ඝ කාලීන සැලසුම් අවශ්‍යයි. නිසි ප්‍රතිපත්ති අවශ්‍යයි. මේ සැලසුම් අතීතයේ සිටම ලංකා විදුලි බල මණ්ඩලය සතුව තිබුණා. නමුත් පක්ෂ මාරු වීමත් සමග රාජ්‍ය ප්‍රතිපත්ති මාරු වන නිසා මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න අනුමැතිය හා මුදල් ලැබුණේ නැහැ. අපි මේ කතා කරන්න යන්නේ මේ දිගු කාලීන සැලසුම් ගැන නොවේ(ඒ ගැන වෙනම මාතෘකාවකින් කතා කරමු). විදුලි බලය ඉතිරි කරමින් දැන් තිබෙන කප්පාදුව අවම කරන්න බලධාරීන් ක්‍රියා කර තිබෙනවාද? කප්පාදුවෙන් ඇත්තටම ලොකු ඉතිරියක් වී නැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයාම පිළිගත්තා. විදුලිය ලැබෙන වෙලාවට ජනතාව විදුලිය පරිහරණය කරමින් තම කාර්යයන් කරගන්නවා. ජල පොම්ප, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි ස්තිරික්ක වැනි දේ විදුලිය ඇති වේලාවට මිනිසුන් භාවිත කරන්නේ නැද්ද? මීට පෙර, දිනයේ වැඩිම විදුලි ඉල්ලුම තිබුණේ සන්ධ්‍යා කාලයේයි. දැන් වෙනස ඇත්තේ එම ඉල්ලුම දවස පුරාවට බෙදී ගොස් තිබීමයි. ඉල්ලුම කළමනාකරණය කළා නම් අඩු තරමින් මේ කප්පාදුව තවත් කෙටි කරන්න තිබුණා. වැස්ස, ඉන්ධන සහ ගල් අඟුරු හිඟ වුනොත්, විදුලිය කැපීම හැර වෙන කරන්න දෙයක් නැහැ. නමුත් ඇත්තටම ක්ෂණිකව කල යුතුව තිබූ ඉල්ලුම් කළමනාකරණ පියවර මොනවාද? මේවා දැන්වත් ක්‍රියාත්මක කරමුද?
o සියලුම වීථි ලාම්පු නැවත දැනුම්දෙන තුරු නිවා තැබීමට සහ රාජ්‍ය ආයතන වල විදුලිය පිරිමැසීම සඳහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්යංශය හරහා නිකුත් කර ඇති අංක 04/2022 චක්‍රලේඛය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම. (https://pubad.gov.lk/web/images/circulars/2022/S/1646802592-04-2022-s.pdf)
o වෙළඳසැල් වල නාම පුවරු ආලෝකමත් කිරීම, LED දර්ශක තිර සහ ප්‍රදර්ශනාගාර වල ඇතුලත අත්‍යවශ්‍ය නොවන විදුලි බුබුළු දැල්වීම අත්හිටුවීම.
o ගොඩනැගිලි පිටත අලංකරණය සඳහා ආලෝකකරණය අත්හිටුවීම.
o අත්‍යවශ්‍යම නම් පමණක් වායු සමීකරන භාවිතය පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා සීමා කිරීම.
o විදුලි ස්තිරික්ක, ශීතකරණ වැනි විදුලි උපකරණ අවම නාස්තියක් සහිතව පරිහරණය කරන අයුරු පිළිබඳව ජනමාධ්‍ය හරහා ජනතාව දැනුම්වත් කිරීම. විදුලි බලය හැකි තරම් ඉතිරි කිරීමට මහජනතාවට නැවත නැවත සිහිකැඳවීම. ජංගම දුරකථන සහ ලැප්ටොප් වැනි දේහි ආරෝපක(charger) වලින් ආරෝපණය නොකරන වේලාවටත්, විදුලි කෙවෙනියට(plug) සම්බන්ධ කර තිබුනොත් කුඩා විදුලියක් වැයවන බවත්, සූදානම් ආකාරයෙන්(Standby Mode) තිබෙන ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ(Video Players, Hi-Fi setup) භාවිතයට නොගන්නා අවස්ථාවේ විදුලියෙන් විසන්ධි කර තැබීමෙන් සිදුවන ඉතිරිය ආදී දැනුම්වත් කිරීම් සිදුකිරීම.
o පාසල් වයසේ කුඩා දරුවන් හට තම නිවසේ විදුලිය ඉතිරි කිරීමට මග පෙන්වා ඔවුන් වීරයන් ලෙස ඇගයීමක් ප්‍රචලිත කිරීම. (පාසල් හරහා චිත්‍ර, රචනා තරග සංවිධානය වැනි දේ)
o විදුලිය ඉතිරි කරන LED බුබුළු සඳහා රජය අනුග්‍රහයෙන් මිල සහනයක් ලබා දීම.
o 1996 වසරේ විදුලි අර්බුදය අවස්ථාවේ ඔරලෝසු වේලාව පැයකින් ඉදිරියට ගෙනයාමක් සිදුවුණා. අරමුණ වූයේ සන්ධ්‍යා කාලයේ වැඩි වෙලාවක් හිරුඑලිය ලබා ගැනීමයි(එවිට හිරු බැස යන්නේ පැයක් ප්‍රමාදවයි). මේ ක්‍රමය මගින් විදුලි ඉතිරියක් ලැබුණා. මෙය වෙනස්කම් සහිතව 2005 වසර දක්වාම ක්‍රියාත්මක වුණා. විදුලි ඉතිරියටම නොවුනත් සමහර විදෙස් රටවල දිවාඑලිය සුරැකීමේ වෙලාව(Daylight Saving Time) ලෙස සෑම වසරකම මෙවැන්නක් ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රමය පිළිබඳව ලංකාවේ ජනතාවගෙන් එකල පැමිණිලි ලැබී තිබුනත්, රටේ අවශ්‍යතාව මුල් වන මේ මොහොතේ මේ ගැනද සිතා බැලිය යුතුයි.
o වැඩ නිම කර ඇති, එහෙත් තවමත් ජාතික විදුලිබල ජාලයට සම්බන්ධ කර නැති, වහල මත සූර්ය පැනල පද්ධති ඇති නිවෙස් 5000 කට වඩා ඇති බව වාර්තා වනවා. ලංවිමෙහි ප්‍රමාදය මීට හේතුවයි. මෙම සම්බන්ධ කිරීම කඩිනම් ව්‍යාපෘතියක් ලෙස නිම කල යුතුයි.
o තවත් මෙවන් කල හැකි දේ ඔනෑ තරම් ඇති. කුඩා පියවර කිහිපයක් වුනත් රටක් වශයෙන් හැම දෙනාම මේවා ගැන උනන්දු කල හැකි නම් විශාල විදුලි ඉතිරියක් කල හැකියි. අවශ්‍ය වන්නේ දැක්ම, වුවමනාව, මාර්ගෝපදේශනය සහ නියාමනයයි.
11/04/2022
විදේශ සංචිත හිඟයට පිළියම් මෙන්න
කොවිඩ් වසංගතය අපේ රටට ඩොලර් ලැබෙන ප්‍රධාන ක්‍රම වූ සංචාරක ව්‍යාපාරය සහ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේරණ(Remittance) වෙත ඍජු බලපෑමක් එල්ල කල බව සැබෑවක්. නමුත් දැනට ඇති වී තිබෙන ඩොලර් ප්‍රශ්නයට හේතුව එයම නොවන බව අනෙකුත් රටවල් හා අපේ රට සැසඳීමේදී අපට පෙනී යනවා. පැවති සියලු රජයයන් විසින් ආර්ථිකය අවකලමනාකරණය කිරීමත්, සහනදායී නොවන වාණිජ පොලී අනුපාත වලට අධික ලෙස විදේශ ණය ලබා ගැනීමත්, එම ණය ප්‍රතිලාභ නොදෙන සුදු අලි ව්‍යාපෘති වල යෙදවීමත් මෙහි එක් අන්තයක්. දේශපාලනඥයින්ගේ මේ අමනොඥ ක්‍රියා වල ප්‍රතිවිපාක අප දැන් අත් විඳිමින් සිටිනවා. ණය ගෙවීමට අප සතුව ඇත්තේ ඩොලර් ස්වල්පයයි. මේ ටිකද ණය ගෙවීමට තබා ගත් විට අත්‍යවශ්‍ය ආනයන භාණ්ඩ (ගෑස්, ඉන්ධන, කිරිපිටි හා ඖෂධ වැනි දේ) ගෙන්වීමට ඩොලර් නැහැ. දැන් ගෙවුම් ශේෂ(Balance Of Payment) අර්බුදයක් ඇතිවෙලා. මේක එහෙන් මෙහෙන් තවත් සොච්චමක් ණයට අරගෙන විසඳන්න පුළුවන් ප්‍රශ්ණයක් නෙවෙයි. මෙය විසඳීම සඳහා අකමැත්තෙන් වුවත් අපට යාමට සිදුවන කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් මොනවාද?
o පුහු උඩඟුකම පසෙක ලා වහාම විදේශ ආධාර සමුළුවක් පැවැත්වීම : 2002 වසරේ මෙවන් සමුළුවක් තිබුණා (2001 වසරේ ලංකා ආර්ථිකය නිදහසින් පසු පළමු වරට ඍණ වර්ධනයන් පෙන්වීම ඊට හේතුවයි). ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ ජපානය සමග තවත් මිත්‍ර රටවල් සමුළුවට සම්බන්ධ වුණා. රට ගොඩනගන වැඩපිළිවෙලක් ලෙස Regaining Sri Lanka (මේ වැඩපිළිවෙල ලංකාව තුල ප්‍රබල විවේචනයකට ලක් වුණා) ඉදිරිපත් කර තිබුණා. නමුත් මේ සමුළුව හරහා ණය නොවන ආධාර විශාල ප්‍රමාණයක් ලැබුණා. මෙවන් සමුළුවක් සඳහා රට ගොඩ නගන ප්‍රතිපත්ති පිලිබඳ දල සැලැස්මක් හෝ ඉක්මනින් ඉදිරිපත් කල යුතුයි. එය ක්‍රියාවට යෙදවීමේ සාර්ථකත්වය එම රටවල් වලින්ම සලකා බලා මුදල් වාරික වශයෙන් පමණක් ලබා දිය යුතුයි.
o සහනදායී කොන්දේසි යටතේ ආධාර ලබා ගත හැකි ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලබා ගැනීම හා චීනයට සම්බන්ධ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (Asian Infrastructure Investment Bank - AIIB) සමග සාකච්ඡා ආරම්භ කිරීම කෙටි කාලීනව කල හැකි දේය. හැකි පමණ ණය නොවන ආධාර ලබා ගැනීමට වෑයම් කල යුතුයි. කෙසේ වුවද අලුතින් ණය ලබා ගත හොත්, රාජ්‍ය මූල්‍ය වගකීම්(Liabilities) ප්‍රමාණය තවත් ඉහල යන නිසා, අය වැය හිඟය පියවීමට රජයකට ලබාගත හැකි ණය ප්‍රමාණය පිලිබඳ සීමා පනවා ඇති, 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සංශෝධනය කර තවත් ශක්තිමත් කල යුතුයි.(https://publicfinance.lk/sin/topics/non-compliance-with-the-fiscal-management-responsibility-act-has-been-a-demonstration-of-irresponsibility-1624966502)
o ණය ප්‍රතිව්‍යුහගත කිරීම: අත්‍යවශ්‍යයෙන් කල යුත්තකි. අපට සංවර්ධන ව්‍යපෘති සඳහා ණය ලබා දී ඇති රටවල් සමග සාකච්ඡා කර ගෙවීම් කාලය දීර්ඝ කරගැනීම(Rescheduling) හෝ පොලී අනුපාත අඩු කර ගැනීම හෝ, ණය සම්පුර්ණයෙන් කපා දැමීමට ඔවුනට ඇති හැකියාව සොයා බැලීම. මේ සාකච්ඡා සඳහා ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන බේරුම්කාර(Arbitration) ආයතනයක විශේෂඥ සහය ලබා ගත හැකියි. අපේ මිතුරු රටකට අප වෙනුවෙන් ඇප වීමේ හැකියාවද තිබෙනවා. (බොහෝ හේතු නිසා ජපානය මීට ඉතාම සුදුසු රටයි. නමුත් මෑත කාලීනව ජපානයට ලංකාවෙන් යම් සිත් රිදවීම් සිදුවුණා.) රටේ ඉඩම් හෝ ජාතික සම්පත් ඇපයට තැබීම කිසිසේත්ම නොකළ යුතුයි. මෙය මධ්‍ය කාලීන උපාය මාර්ගයක්.
o අඩු තරමින් අවුරුදු 10ක කාලයක් දක්වා ක්‍රියාත්මක කිරීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (International Monetary Fund - IMF) සමග සහයෝගයෙන්, සාර්ව ආර්ථික මූල්‍ය ඒකාග්‍ර ප්‍රතිපත්ති(Macroeconomic Fiscal Consolidation Policy) රාමුවක් සකස් කිරීම. එම රාමුව මහජන අදහස් සඳහා විවෘත කර (ජනමාධ්‍ය සහ දිස්ත්‍රික්බද සම්මන්ත්‍රණ හරහා) ඉන්පසු පාර්ලිමේතුවේ විවාද කොට සංශෝධන සහිතව (ඒකමතිකව හෝ අඩුතරමින් 2/3 බහුතර ඡන්දයෙන්) පනතක් ලෙස සම්මත කිරීම. යම් රජයකට මෙම රාමුගත ප්‍රතිපත්ති වෙනස් කිරීමට අවශ්‍ය නම් එය නැවත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතු වීම. මෙම ආර්ථික රාමුව ප්‍රමුඛතා වැඩසටහනක් ලෙස විකාශණය කර ඉදිරියට ගෙනයාමට නිශ්චිත ආයතන (ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, විගණකාධිපති, වෙනත්…) හා ඉලක්ක පාර්ලිමේන්තුව විසින් නම් කිරීම හා පැනවීම. එම ආයතන ප්‍රධානීන් අදාළ කර්තව්‍ය සඳහා වගවන(Accountable) බව සහතික කිරීමට නව නීති සම්පාදනය. එම නිලධාරීන් IMF තාක්ෂණික මාර්ගෝපදේශ අනුව ක්‍රියා කල යුතු වීම. IMF වෙතින් වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය ලබාගැනීම. එහි සාර්ථකත්වය මැන බැලීම සඳහා කාර්ය සාධන දර්ශක (Key Performance Indicators - KPI) පාර්ලිමේන්තුව විසින් වරින් වර ඇගැයීම. මෙම තොරතුරු ජනමාධ්‍ය හරහා පුළුල් ලෙස ජනගත කිරීම හා ජනතා ප්‍රතිචාර ලබා ගැනීම සිදු කල යුතුයි. මේ දිගු කාලීන විසඳුම් පෙලකි. (ජාතික ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම ගැන වෙනම කතා කරමු)
o අත්තනෝමතික ලෙස රුපියල් අච්චු ගැසීම පාලනය, ප්‍රතිපත්තිමය පොලී අනුපාත පාලනය වැනි සංවේදී සහ සංකීර්ණ කරුණු ගැන තීරණ ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පිළිගත් විශේෂඥයන් ගෙන් පිරවිය යුතුයි. මේ පිරිස නම් කිරීම විශ්ව විද්‍යාල වල ස්වාධීන ආචාර්ය මහාචාර්ය එකමුතුවකට කල හැකියි. මහ බැංකුව මුදල් අමාත්‍යංශයේ පාලනයෙන් බැහැර කොට එය පාර්ලිමේන්තුවට පමණක් වගකියන ස්වාධීන ආයතනයක් බවට පත් කල යුතුයි. එසේ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය අනුව ජනරජයේ මුදල් පිලිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුවට පැවරෙන නිසා මිස, පාර්ලිමේන්තුවේ 'උදවියට' ඒ ගැන මහ බැංකු නිලධාරීන්ට වඩා දැනුමක් ඇති නිසා නොවෙයි.
o ආර්ථික සුබසිද්ධිය මහජනතාවගේ මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කල යුතුයි.
o අනෙකුත් දීර්ඝ කාලීන විසඳුම් විය යුත්තේ මෙලෙස ලබා ගන්නා තාවකාලික ස්ථාවරත්වය තුලින් අපනයන වර්ධනය කර ගැනීම, විදේශ ප්‍රේරණ සහ ආයෝජන වැඩි කර ගැනීම, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, රජය සතු ව්‍යාපාර (State Owned Enterprises) ප්‍රතිසංස්කරණය, නවෝත්පාදන ආර්ථික මූලෝපායන් වෙත ප්‍රවිෂ්ඨ වීම වැනි සුපැහැදිලි මාවත් ඔස්සේ රට ස්ථිරසාර සංවර්ධනයකට ගෙන යාමයි.(මේ මාතෘකා වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.)
o සතිපතා කුඩා ඩොලර් ප්‍රමාණයක් හෝ ලංකාවට එවන මෙන් විදේශ වල ජීවත් වන ලාංකිකයන්ගෙන් විවෘත ඉල්ලීමක් ද කල හැකියි. මෙය ප්‍රශ්නයට සුළු හෝ සහනයක් ගෙන දේවි. නමුත් මේ සඳහා යම් කොන්දේසි ඉටුවිය යුතු බව විදේශගත එවන් පිරිස් සමහරකගේ අදහසයි.
o මේ සියල්ල සිදුකිරීමේදී නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකම්, දූෂණය පිටු දැකීම සහ යහපාලනය (යහපත් රාජ්‍ය පාලනය මිස 'යහපාලන' ආණ්ඩුව නොවේ) ස්ථාපිත කිරීමද එකට බැඳී තිබෙන බව නොකිවමනායි. මේ දේවල් වැඩි දියුණු කිරීමට වෙනමම ක්‍රමෝපායන් සකසා ලෝකය තුල ලංකාව පිලිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැංවීමට කටයුතු කල යුතුයි. (ඒ ගැන වෙනම කතා කරමු)
o අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර (International Sovereign Bonds - ISB) ලෙස ලබා ගෙන ඇති ණය සඳහා ගෙවීම් කාලය දිගු කිරීමේ හැකියාවක් නැහැ. ඒවා නිශ්චිත දිනයේ අනිවාර්යයෙන්ම නොගෙව්වොත්, ලංකාව 'බුන්බත් භාවය'(බංකොලොත් වී ඇති බව) පිළිගැනීමක් බවට එය පත්වනවා(මැයි මාසයේ ඩොලර් බිලියන 1ක ISB 1ක් ගෙවීමට තිබෙනවා). මේ සඳහා විසඳුම් දිය හැකිද? නැතිනම් බුන්බත් බව ප්‍රකාශ කරනවාද යන්න දේශීය විදේශීය විශේෂඥයන්ගෙන් සැදුම්ලත් ඉහල පෙලේ ස්වාධීන කමිටුවකින් ඉක්මන් නිර්දේශ ඉදිරිපත් කල යුතුයි. එම නිර්දේශ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මක කල යුතුයි. මෙය ලංකාවේ අනාගතය පිලිබඳ තීරණාත්මක ප්‍රශ්නයක්.
Click here to claim your Sponsored Listing.