Beyond the Crime Scene
31/08/2025
ලොව සුන්දරතම සියදිවි නසාගැනීම
ඇගේ අවසාන කැමැත්ත වූයේ කිසිවකු තම මෘත දේහය නොදැකීමයි. නමුත් දෙයිවයේ සරදමට මෙන් ඇගේ මරණයේ ඡායාරූපය දශක ගණනාවක් පුරා කතාබහට ලක් වුනේ එය "ලොව සුන්දරතම සියදිවි නසා ගැනීම" බවට පත් කරමිනි.
සාමකාමී ස්වරූපයක් ගත් ඇය නිදන ආකාරයෙන් වැතිර සිටියේ කිසිසේත්ම මරණයක ස්වරූපයක් නොගනිමිනි. දෙපා විලුඹ හරහා එකිනෙක හරස් කරමින් තිබුණු අතර අත්මේස් යෙදූ වම් අත පපුව මත තබා සිටියේ ගෙල පැලදි පබළු මාලය තදින් ස්පර්ශ කරමිනි.
එව්ලින් මැක්හේල් ගේ අවසාන ප්‍රාර්ථනය වූයේ කිසිවෙකු ඇයෙගේ මෘත දේහය නොදැකීමයි. එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ අසූහය වන තට්ටුවේ නිරීක්ෂණ මැදිරියේ සිට බිමට පැනීමට පෙර සිරුර තිබූ අයුරින්ම තම පවුලේ අයට මතකයේ රැදී තිබීමට ඇයට අවශ්‍ය විය.නමුත් කිසි දිනක ඇය එම ප්‍රාර්ථනය ලගා කරගත්තේ නැත. මිනිත්තු හතරකට පසු ඇගේ සිරුර ගොඩනැගිල්ල පාමුල අන්ගනයේ නවතා තිබූ ඇමෙරිකානු ලිමොසින් වර්ගයේ රථය මතට ඇද වැටුණි. එම අවස්ථාවේ ඡායාරූපය ශිල්පී ශිෂ්‍යයකු වූ රොබර්ට් විල්ස් එම ඡායාරූපය තම කැමරා කාචයට හසු කරගෙන තිබුණේ ඇයගේ මරණය අමරණීය කරමිනි. 1947 මැයි 1 එව්ලින්ගේ ඡායාරූපය ගත් දින සිට ඇමරිකාවේ ටයිම්ස් සගරාවෙන් "ලොව සුන්දරතම සියදිවි නසා ගැනීම "ලෙස හදුන්වා දෙන තුරු එය අප්‍රසිද්ධව පැවතියේය.
කවුරුන්ද මේ එව්ලින් මැක්හේල් ?
1927 දී ඇමරිකාවේ කැලිෆෝනියාහි බර්ක්ලිහි උපන් එව්ලින්ගේ මව හා පියා වූයේ හෙලන් සහ වින්සන්ට් මැක්හේල් ය. ඇයට සහෝදර සහෝදරියන් හත් දෙනෙකු සිටියහ. දෙමාපියන් දික්කසාද වූ පසු සියලු දරුවන් තම පියා සමග නිව්යෝර්ක් නගරයට ඔවුන්ගේ පදිංචිය වෙනස්කරගෙන තිබේ. උසස් පාසලේදී එව්ලින් කාන්තා හමුදා බලඇණියේ සාමාජිකාවක් ලෙස කටයුතු කර ඇති අතර ජෙෆර්සන්හි පැවති කාර්යාලක සේවය කර ඇත. පසුව නිව්යෝර්ක් හි බෝල්ඩ්වින් වල පදිංචි වී ඇති ඇය තම මරණය සිදු කරගන්නා තුරු එහි තම සහෝදර සහෝදරියන් සමග ජීවත් විය. මැන්හැටන් හි Kitab Engraving නම් වූ සමාගමක පොත් තබාගන්නකුලෙස රැකියාව සිදු කරමින් සිටින අවධියේදී එව්ලින් හට තම පෙම්වතා වන බැරී රොඩර් හමු වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කළ ඔහු සමග1947 ජූනී මසදී විවාහ වීමට නියමිතව සිට ඇත.නමුත් එය කිසිදු දිනක සිදු නොවීය.
එව්ලින් සියදිවි නසා ගත්තේ ඇයි?
ඇගේ මරණයට පෙර දවසේ එව්ලින් තම පෙම්වතා හමුවීමට පෙන්සිල්වේනියාවට ගොස් ඇත. ඔහු කියා සිටියේ ඇය ඔහු හමුවී පිටත්ව යන විටත් ඉතාම හොඳින් සිටි බවයි. මරණය සිදු වූ දින උදෑසන එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල අසූ හයවන මහලේ පිහිටි නිරීක්ෂණ මැදිරියට ගොස් තම කබාය ගලවා පිළිවලින් නමා ගරාදි වැට මත තබයි. බිමට පැනීමට සුළු මොහොතක පෙර ඇය විසින් ලියන ලද කුඩා ලියවිල්ලක් කබායේ සාක්කුවේ තිබී සොයා ගැනීමට පරීක්ෂකයන්ට හැකිවී ඇත. එම ලිපිය ලිවීමෙන් පසු ඇය බිමට පැන ඇති අතර පහළ නවතා තිබූ කාරයක් වෙත සිරුර පතිත වී ඇත. පොලිසියේ තොරතුරු වලට අනුව ගොඩනැගිල්ලෙන් පනින විට ආරක්ෂක නිලධාරීන් ඇයට අඩි දහයක පමණ දුරින් සිට ඇති බවට පැවසේ. ඇය සියදිවි නසාගත්තේ මන්ද යන්න එම ලිපියෙන් පැහැදිලි විස්තරයක් අනාවරණය වී නැති නමුත් ඇගේ සිරුර ආදාහනය කරන ලෙස ඉන් ඉල්ලා තිබුණි.
ලිපියේ සදහන් වූයේ,
"මාගේ පවුලේ අය හෝ වෙනත් කිසිදු අයකු මාගේ දේහය දැකීම මට අවශ්‍ය නොවේ. මාගේ සිරුර ආදාහනය කරන ලෙසට මම ඔබෙන් ආයාචනය කරමි. මා වෙනුවෙන් කිසිදු සේවාවක් හෝ අනුස්මරණයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැත. මගේ පෙම්වතා ජූනි මස ඔහුව විවාහ කර ගන්නා ලෙස මගෙන් ඇසුවේය. නමුත් මම කිසිවෙකුට හොද බිරිඳක් වේ යැයි මා සිතන්නේ නැත.මම නොමැතිව ඔහු වඩාත් හොඳින් ජීවත් වේවි. මා ගොඩක්ම මගේ අම්මා වගේ යැයි මගේ තාත්තාට පවසන්න."
යනුවෙනි.
එව්ලින්ගේ අවසාන ප්‍රාර්ථනය පරිදි අවමන්ගල්‍ය උත්සවයකින් තොරව ආදාහන කටයුතු සිදු කර ඇත.නමුත් ඇගේ ඡායාරූපය වසර හැත්තෑවකටත් වඩා ජීවත් වන අතර අදටත් එය කැමරා කාචයකට හසු කරගන්නා ලද හොඳම ඡායාරූපය වලින් එකක් ලෙස සැලකේ.
ටයිම්ස් පුවත්පතේ පලවූ මෙම ඡායාරූපය සම්බන්ධයෙන් වූ විස්තරයේදී බෙන් කොස්ග්‍රොව් නමැත්තා දක්වා තිබුණේ තාක්ෂණික වශයෙන් පොහොසත් දෘශ්‍යමය වශයෙන් ශක්තිමත් අලන්කාර ඡායාරූපයක් ලෙසටය. ඇගේ සිරුර මරණයකට වඩා සුළු නින්දකට වැටී වෙහෙස නිවමින් තම පෙම්වතා පිළිබඳ සිහිනමවමින් සිටින ආකාරයක් ගන්නා බව ඔහු තවදුරටත් විස්තරය කර තිබේ.
Click here to claim your Sponsored Listing.